ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුතුද?

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සමග ජාතික රූපවාහිනිය කළ සංවාදයක් ඇසුරිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කෙසේද?

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනු ව්‍යවස්ථාවට අනුව යම් පාර්ලිමේන්තුවක් පත් කරගත් මැතිවරණය පැවැත්වූ දින සිට අවුරුදු 4, 1/2 ක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට එකී පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකියි.

මහමැතිවරණය පැවැත්වෙන දිනය හා අභිනව පාර්ලිමේන්තුව රැස්කරන දිනය තීරණය වන්නේ කෙසේද?

70(5) (අ) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ප්‍රකාශනයේ අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්කර ගන්නා මහමැතිවරණය පැවැත්වෙන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල්වරට රැස්වන දිනයත් දැක්විය යුතුය.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව කැඳවන්න දිනයක් තියනවද?

70(5) (ආ) අනු ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ප්‍රකාශය නිකුත්කළ දින සිට මාස 3 ක් ගත වෙන්න පෙර දිනයක අභිනව පාර්ලිමේන්තුව ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුතුයි.

විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවක් නැවත කැඳවිය හැකිද? හැකිනම් ඒ කාටද?

70 (7) අනු ව්‍යවස්ථාවට අනුව විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අවශ්‍ය හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමට පත්වුවහොත් ජනාධිපතිවරයාට ප්‍රකාශනයක් මගින් කැඳවිය හැකිය.

මැතිවරණ කොමිසමට මහමැතිවරණය කල් දැමිය හැකිද?

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වන වගන්තියට අනුවයම් හදිසි තත්ත්වයක් හෝ බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවීම හේතුවෙන් මැතිවරණය නියම කර ඇති දින පැවැත්විය නොහැකි නම් මැතිවරණ කොමසාරිස්වරයාට ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියමකළ හැකිය.

පාර්ලිමේන්තුව විසුරුවාහැරි දිනයේ සිට මාස 3ක් ගත වීමට පෙර අභිනව පාර්ලිමේන්තුව රැස් නොවුවහොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කළ ප්‍රකාශනය අහෝසි වී යන්නේද?

නැත. ඒ සඳහා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තිය සලකා බලමු.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාට අනුව 70(5) (අ) ව්‍යවස්ථාව අනුව 2020 මාර්තු 2 වන දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කරන ලද ප්‍රකාශනයේ අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගන්නා මැතිවරණය පැවැත්වෙන දිනයත් අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයත් දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කරන ලද එකී ප්‍රකාශනයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස මැයි 14 වන දිනය දක්වා ඇති බැවින් එය මාස 3 කාලසීමාව තුළ දිනයක් බැවින් එකී ප්‍රකාශනය නීත්‍යානුකූල ප්‍රකාශනයක් වේ.

මැතිවරණය කල් දැමුවේ මැතිවරණ කොමිසම විසිනි. ඒ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වන වගන්තිය අනුව හදිසි තත්ත්වයකදී මැතිවරණ කොමිසම සතු බලතල අනුවය.

අපි එම වගන්තිය සලකා බලමු.

මැතිවරණ කොමිසම විසින් කොරෝනා තත්ත්වය හේතුවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මැතිවරණය කල්දැමූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කරන ලද නීත්‍යානුකූල ප්‍රකාශනය අහෝසිවී යන්නේ නැත.

ජනාධිපති නීතිඥවරයාට අනුව 70(5) ව්‍යවස්ථාවේ ඇත්තේ අභිනව පාර්ලිමේන්තුවක් පිළිබඳවයි. ජනාධිපති නීතිඥවරයාගේ මතය අනුව අභිනව පාර්ලිමේන්තුවක් බිහි වන්නේ මැතිවරණය පැවැත්වූ විටය. මැතිවරණය හදිසි තත්ත්වයක් නිසා මැතිවරණ කොමිසම විසින් කල් දමා ඇති අවස්ථාවක අභිනව පාර්ලිමේන්තුවක් කැඳවිය නොහැකිය. කැඳවීමට අභිනව පාර්ලිමේන්තුවක් බිහිවී නැත.

එවැනි අවස්ථාවකදී අභිනව පාර්ලිමේන්තුව මාස 3ක් ගත වීමට පෙර කැඳවීමට නොහැකිවීම මත ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය බලශුන්‍ය වී පැරණි පාර්ලිමේන්තුව ස්වයංක්‍රීයව බලාත්මක වන්නේ නැත.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

පාර්ලිමේන්තුවකින් අනුමත නොවී රජයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලින් මුදල් යෙදවිය නොහැකිද?

150 (3) වන ව්‍යවස්ථාව අනුව අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලින් රජයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය වන මුදල් ලබා ගත හැකියි. මෙතනදිත් වැදගත් වචනය ‘අභිනව’ යන්නයි.

අපි 150(3) ව්‍යවස්ථාව සලකා බලමු.

අභිනව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් පත්කර ගන්නා මැතිවරණය හදිසි තත්ත්වයක් නිසා කල්දමා ඇති අවස්ථාවක එකී මැතිවරණය පවත්වන්නේ යම් දවසකද ඉන් පසු අභිනව පාර්ලිමේන්තුව රැස්වන දින සිට මාස 3ක් ගත වන තෙක් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලින් රජයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය වන මුදල් ලබා ගත හැකිය.

ජනාධිපතිවරයා විසුරුවාහැරි පාර්ලිමේන්තුව කැඳවිය යුතුද?

කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරයාට විසුරුවාහැරි පාර්ලිමේන්තුවක් කැඳවීම සම්බන්ධයෙන් තියෙන්නේ අභිමතානුසාරී බලයක්. කැඳවිය හැක්කේ කැඳවීමට අවශ්‍ය යැයි ජනාධිපති සිතනවා නම් පමණයි.

2019 නොවැම්බර් 16 වනදා ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනතාවගෙන් ජනවරමක් ලබා ගත්තේ පැරණි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතියට විරුද්ධවයි.

විසුරුවාහැරි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ විපක්ෂයටයි. UNP, JVP, TNA එක්වූ විට ඔවුන්ට මන්ත්‍රීවරු 129ක් ඉන්නවා. ආණ්ඩුවට ඉන්නේ 95 යි. එතකොට එම පාර්ලිමේන්තුව කැඳවූවොත් ඒ විපක්ෂයට අවශ්‍ය ඕනෑම නීතියක් ගෙන ආ හැකියි.

විසුරුවාහැරි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න නීතිමය පදනමක්වත් තාර්කික පදනමක්වත් සදාචාරාත්මක පදනමක්වත් නැහැ.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සමග 2020.04.25 වන දින ජාතික රූපවාහිනිය කළ සංවාදයක් ඇසුරිනි.