දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය

දේශපාලනය යනු කුමක්ද?
දේශපාලනය නොහොත් Politics වනාහි හුදු රටක් පාලනය කිරීම නොවේ. එමෙන්ම දේශපාලනය කරන්නේ දේශපාලඥයන් පමණක් නොවේ.දේශපාලනය වනාහි ඍජුවම බලය හා අධිකාරියයි. ජීවිතයේ කිනම් හෝ අවස්තාවක අප සියලු දෙනා කවරෙකු හෝ මත හෝ බලය හා අධිකාරිය ව්‍යාප්ත කර ඇත.

අනුන්ට බණ කියනා මුත් තමන්ට බලය හා අධිකාරිය ලැබුණු අවස්ථා වලදී එම බලය සාධාරණ ලෙස හා කාරුණික මෙන්ම යුක්තිසහගත ලෙස භාවිතා කිරීමේ ස්වයං විනය බොහෝ දෙනා තුල ඇත්තේ නැත. එහෙයින් ලොව බිහිවූ අත්තනෝමතික ඒකාධිපති පාලනයන්ගෙන් ඇතැම් ඒවා රටට ඉතා යහපත් වුවද(මහතීර් මොහොමඩ්: මැලේසියාව , ලී ක්වාන් යූ: සිංගප්පූරුව ) සමස්තයක් ලෙස ඒවායින් අත් වන්නේ බොහෝවිට අයහපතක් යයි මානව අත්දැකීමෙන් තේරුම් ගැනීමෙන්, “ප්‍රජාතන්ත්‍රවාදය” ගොඩ නැගුණි.

රටවල් පාලනය කළ රජවරු තමන්ට තිබූ බලය ස්වයන් පාලනයෙන් යුතුව මහජන යහපත උදෙසා භාරයක් (Trust) ලෙස භාවිතා කළා නම් ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නැත. එනමුත් ඇක්ටන් සාමි කියූ ලෙසම බලය දූෂණය වීමට නැඹුරුතාවක් දක්වන අතර අත්‍යන්ත බලය අනිවාර්යයෙන්ම දූෂණය වේ. (Power tends to corrupt and the absolute power corrupts absolutely.)

වින්ස්ටන් චර්චිල් “ප්‍රජාතන්ත්‍රවාදය” ගැන පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් දක්වා ඇත. (House of Commons, 11 November 1947)

“Many forms of Government have been tried, and will be tried in this world of sin and woe. No one pretends that democracy is perfect or all-wise. Indeed it has been said that democracy is the worst form of Government except for all those other forms that have been tried from time to time.”

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එනම් පුද්ගල නිදහස ගරු කරන නූතන ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය ග්‍රීසියේ සම්භවය ලබා බටහිර (විශේෂයෙන් එංගලන්තයේ) වර්ධනය වූවකි. පුරාතන ඉන්දියාවේද ලිච්ඡවීන් අතර බුදුන් වදාළ සප්ත අපරිහානීය ධර්මයන් මත ක්‍රියාත්මක කළ සමූහාණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයක් පැවතුණි. (අජාසත්ත ලිච්චවීන් අතර උපක්‍රමශීලීව අසමගිය වපුරා සිදු කළ ආක්‍රමණයෙන් එය විනාශ විය.)

ගෙටිස්බ්ර්ග්හි කළ කතාවකදී ප්‍රජාතන්ත්‍රවාදය එබ්රාහම් ලින්කන් විසින් අර්ථ දැක්වී ඇත්තේ “මිනිසුන් විසින්, මිනිසුන් උදෙසා,සිදු කරන මහජන ආණ්ඩුක්‍රමය ලෙසය. ” (“Government of the people, by the people, for the people, shall not perish from the earth.”)

සර්වජන ඡන්දය බුද්ධිමත්ව භාවිතා කොට උගත්, යහපත් ජනතා නියෝජිතයන් පත් කර ගැනීමට ජනතාව විශේෂයෙන් බුද්ධිමත් විය යුතුය. නැතිනම් සිදු වන්නේ නරින්ට කුකුල්ලු භාර දීමකි.

“Democracy cannot succeed unless those who express their choice are prepared to choose wisely. The real safeguard of democracy, therefore, is education.?”
-Franklin D. Roosevelt

ප්‍රජාතන්ත්‍රවාදය වනාහි හුදු දේශපාලන ක්‍රමයක් පමණක් නොවේ. එය මනාව ක්‍රියාත්මක කිරීමට නම් එය සංස්කෘතියක්(culture) බවට පත් විය යුතුය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටේ මිනිසුන් ඊට අනුකූල චින්තන හා හැසිරීම් රටාවක් ගොඩ නගා ගත යුතුය. එසේ සංස්කෘතියක් බවට පත් කළ හැක්කේ එහි වටිනාකම්(Values) හඳුනා ගැනීමෙනි.

ප්‍රජාතත්‍රවාදය මනාව ක්‍රියාත්මක කිරීමට නම් මුලින්ම රටේ පුරවැසියන් අනෙකාගේ පුද්ගල නිදහසට ගරු කළ යුතුය. (එනමුත් අනෙකාගේ හැසිරීම් මගින් සමාජයට විශාල හානියක් වන අවස්ථාවලදී පුද්ගල නිදහසට ගරු කළ යුතු නැත. ) එනම් අනෙකාට තමන් කැමති පරිදී ජීවත් වීමට ඇති අයිතියට හැකිතාක් දුරට ගරු කළ යුතුය.නවද අනෙකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කළ යුතුය. “I disapprove of what you say, but I will defend to the death your right to say it.” කියමනින් එය අර්ථවත් වේ. එහි තේරුම “මම ඔබ පවසන අදහසට විරුද්ධ වෙමි. එනමුත් ඔබට ඔබේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරමි.”

මෙය ප්‍රංශ දාර්ශනික වොල්ටයර් කිව්වා යයි ප්‍රසිද්ධ මුත් Evelyn Beatrice Hall විසින් වොල්ටෙයර්ගේ දර්ශනය විග්‍රහ කරමින් ලියූවකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අන්‍ය මත තමන්ට අප්‍රසන්න හෝ අසා සිටීමට අපහසු වුවද, ඉවසීමෙන් එය අසා සිට, එහි යම් සත්‍යතාවක්,දාර්ශනික වැදගත්කමක් හෝ උපයෝගීතාවක්(utility) ඇත්දැයි මධ්‍යස්තව සිතා බලන පුරවැසියන් සිටිය යුතුය.

බුදු දහම ජෛන ආගමෙන් පැවතෙන්නේය වැනි මත පළකිරීම් වලට විරුද්ධව පවා ICCPR පනත යටතේ පැමිණිලි කිරීමට කටයුතු සිදු කිරීම් වර්තමාන ලංකාවේ දක්නට ලැබේ. මේවා ප්රජාතාන්ත්ර විරෝධී මෙන්ම අන් මත ඉවසීමේ බෞද්ධ පිලිවෙතටද විරුද්ධ ක්‍රියාවන්ය.

අනෙක් අතින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” හෝ වෙනත් ඕනෑම නිදහසක් එන අන්‍යයන්ට විශාල හිරිහැරයක් නොවන පරිදී, අනුන්ගේ සිත් අසීමිතව නොරිදෙන පරිදී , අනුන්ට හා ආගම් ආදියට නරක ලෙස අපහාස නොවන පරිදී ,වගකීමෙන් යුතුව භාවිතා කිරීමට ස්වයං විනය ඇති කර ගත යුතුය. විශේෂයෙන් ලංකාවේ ඇතැම් නිරාගමික බක පණ්ඩිතයන්ට මේ විනය නැත.

එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පූර්ණ ලෙස සාර්ථක වන්නේ ජනතාව උගත් හා විනයවත් සමෘද්ධිමත් රාජ්‍යයන්හිදීය.

ප්‍රශ්න සහ උත්තර

මේ මහා මැතිවරණයේ දි ජනතාව ගත යුතු පියවර කුමක්ද ඔබ හිතන විදියට?
ජනතාව තම වාසිය,කුලය,හිතවත්කම ආදීපටු අදහස් පසෙක තබා තම දරුවන්ගේ හෙට දවස සංවර්ධිත එමෙන්ම ධාර්මික රටක් බිහි කරගැනීම වැදගත් යයි මුලින් සිතිය යුතුයි. එසේ සිතා ඉන් පසු එම සිතුවිල්ල යථාර්ථයක්කල හැකි දේශපාලන නායකත්වය ඇත්තේ කාට දැයි කල්පනා කල යුතුයි. එසේ දේශපාලන නායකත්වය දිය හැකි යයි හදවතට එකඟව ඔවුන්ට හිතෙන දේශපාලන පක්ෂයට හෝ අපේක්ෂකයෙකුට ඔවුන් සහයෝගයදිය යුතු අතර ඡන්දය දිය යුතුයි.

සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය නිසා අපේ රටට යහපතක් වී ඇත්ද? එසේ නැත්නම් විකල්ප ක්‍රමයක් තිබේද?
පක්ෂ ක්‍රමයක් වනාහී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියක, මහජන මතය සංවිධානය කොට ක්‍රියාත්මක වීම උදෙසා භාවිතා වන ක්‍රමවේදයකි. සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය නිසා රටට යහපත් දේ මෙන්ම අයහපත් දේත් සිදුවී ඇත. එනමුත් ඒකාධිපති පාලනයකට වඩා එය සාපේක්ෂව හොඳය (බොහෝවිට) විකල්ප ක්‍රමයක් ඇත, එනම් රටට ආදරය කරන හොඳ ඒකාධිපතියෙකුය. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ,මලයාසියාවේ මහාතීර්මොහොමඩ් උදාහරණ ලෙස ගත හැක. එබඳු උතුම් නායකයෙකු ලබන්නට අප පින් කර නැති හැඩය. ධනපති ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව මාක්ස්වාදී සමාජවාදය විකල්පයක් යයි සමහරුන් සිතනා මුත් මාක්ස් පැවසූ පරිදි අප වැනිකුඩා පරිදියේ රටක තනිවූ කොමිනියුස්ට් ක්‍රමයක් ධනපති ලෝක ක්‍රමයකට පවත්වා ගැනීම අසීරුයි. ජාතික හරිත සමාජවාදී ශක්තිමත් පක්ෂයක් ගොඩනැගිය හැකි නම් හොඳ විකල්පයකි.

ඔබ කියන ආකාරයේ නායකයන් මේ දේශපාලන ක්‍රමය ඇතුලේ වහලුන් බවට පත්වෙලා කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකට දේශපාලනයේ නොදැනුවත්භාවය සහ බල ලෝභය කියන කාරණා හේතුවෙලා තිබෙනවා නේද?
දේශපාලන ක්‍රමයේ වහලුන් බවට පත්ව ඇත්තේ නායකයන්ට වඩා ජනතාවයි. නායකයන් වනාහී ඔවුන් විසින්ම ඡන්දය දී තේරී පත්වූවන්ය. නයි රෙද්ද අස්සේ දමාගෙන කනවෝ.. කනවෝ යයි කෑගැසීමෙන් පලක් නැත. නරක මිනිසුන්ට බලය ලබාදී ඔවුන් හානි සිදු කරන විට ඊට බැනීමෙන් පලක් නැත. දේශපාලකයන් කොහොමත් බල ලෝභීන්, නැත්නම් ඔවුන් දේශපාලනය කරන්නෙත් නෑ. ජනතාවට ගැලපෙන දේශපාලනය කරන්න ඔවුන් දැනුවත්. විසඳුම වන්නේ ජනතාව දේශපාලනිකව දැනුවත්වී සාපේක්ෂව හොඳ, උගත් දේශපාලනඥයින්ට ඡන්දය දීමයි.

අපේ රටේ නව තරුණ පරපුර දේශපාලන භාවිතාව ගැන ඔබේ අදහස මොකක්ද?
රටේ නව තරුණ පරපුරේ තරුණ තරුණියන් සුපර් ස්ටාර් වැනි විවිධ තරු රැලි පසුපස යනවා හෝ තම ස්වාර්ථකාමී වැඩ කටයුතු වලින් මග්නව සිටිනවා මිසක පරාර්ථකාමී දේශපාලනයක් උදෙසා කැපවීමෙන් පෙරට එනවා බොහොම අඩුයි. එමෙන්ම අතීතයේ මෙන් නොව ෆේස්බුක් ආදියට ඇබ්බැහි වී සිටින තරුණ පෙළ හොඳ පොත්පත් කියවනවා අඩුයි. ඔවුන්ගේ චින්තනය දියුණු නෑ. එනමුත් අපි අධෛර්යමත් විය යුතුනෑ. සෑම කල්හිම තරුණ පෙළ නම් තරු පොකුරු අතරේ සරා සඳවල් උදාවෙයි. “එක පුන් සඳෙන් දුරුවෙයි ලොව ඝන අඳුරු – නෙක තරු රැසින් එලෙසින් නොම වේය දුරු“….. එබඳු සරා සඳවල් අනාගතයේදීද උදාවනු ඇත.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.arcgis.com
* ඡායාරූපය 02 : www.historic-uk.com
* ඡායාරූපය 03 : www.newsfirst.lk
* ඡායාරූපය 04 : www.vox.com
* ඡායාරූපය 05 : www.schoolsweek.co.uk

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.