ශ්‍රී ලංකානු කොටියා, දිවියා සහ ව්‍යාඝ්‍රයා හඳුනා ගනිමු

බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර ශ්‍රී ලංකානු කොටියා, දිවියා සහ ව්‍යාඝ්‍රයා වෙන් කර හඳුනා ගැනීම සම්බන්ධයෙන් මතභේද පවතී.

ශ්‍රී ලංකානු කොටියා (Sri Lankan Leopard) ශ්‍රී ලංකාවට ආවේණික කොටි විශේෂයක් වන අතර ඔහුගේ විද්‍යාත්මක නාමය ‘Panthera Pardus Kotiya’ නම් වේ. ලෝකයේ සිටින කොටි විශේෂ 9 න් ශ්‍රී ලංකානු කොටියා එක් කොටි විශේෂයකි.

ව්‍යාඝ්‍රයා (Tiger) ශ්‍රී ලංකාවේ වාසය නොකරන අතර ඉන්දියාවේ වාසය කරන බෙංගාල ව්‍යාඝ්‍රයා (Bengal Tiger) එක් ව්‍යාඝ්‍ර විශේෂයකි.

කොටියා සහ ව්‍යාඝ්‍රයා අතර ප්‍රධාන වෙනස වන්නේ ව්‍යාඝ්‍රයාගේ සමෙහි කළු පැහැති රේඛා තිබීමත් කොටියාගේ සමෙහි කළු පැහැති පුල්ලි දැකගත හැකි වීමත්ය.

දිවියන් ලෙස හඳුන්වනු ලබන්නේ කොටියාට අමතරව ශ්‍රී ලංකාවේ වාසය කරන බිළාල පවුලේ සාමාජිකයන් තිදෙනා වන හඳුන් (අඳුන්) දිවියා (Fishing Cat), කැළෑ බළලා හෙවත් බළල් දිවියා (Jungle Cat) සහ ලොව කුඩාම වල් බළලා වන කොළ දිවියා (Rusty Spotted Cat) ය.

‘Leopard’ යන්නෙහි සිංහල පරිවර්තනය ‘දිවියා’ බවත් ‘Tiger’ යනු ‘කොටියා’ බවටත් වැරදි වැටහීමක් පවතී. මෙම වැරදි වැටහීමට හේතු වී ඇත්තේ වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, Tiger ලෙස පළ කර තිබීමයි. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ Tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල ‘කොටි’ වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන “කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ” යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි. එමෙන්ම “කොටි වලිගය අල්ලා ගත්තා වාගෙයි” යන ප්‍රස්ථාව පිරුළ මගින් ගැමි ව්‍යවහාරයේ ‘කොටියා’ යන වචනය පවතින බවත් කොටියා යනු ස්වදේශික සතෙකු බවත් තහවුරු කරයි.

මෑත කාලීනව මෙම වැරදි වැටහීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ LTTE (Liberation Tigers of Tamil Eelam) සිංහලයට පරිවර්තනය කිරීමේදී දෙමළ ඊලාම් විමුක්ති ‘කොටි’ සංවිධානය ලෙස වැරදි ලෙස පරිවර්තනය කිරීමයි. ව්‍යාඝ්‍ර සංවිධානය යැයි කීම අපහසු නිසා දෝ කොටි සංවිධානය ලෙස හැඳින්වුවද LTTE ලාංඡනයේද සිටින්නේ ව්‍යාඝ්‍රයකු (Tiger) මිස කොටියකු (Leopard) නොවේ.

Panthera Pardus යනු ලෝකයේ වෙසෙන සියලු කොටි විශේෂ හඳුන්වන පොදු විද්‍යාත්මක නාමයයි. Panthera Pardus Kotiya ලෙස ශ්‍රී ලංකානු කොටියා මුල් වරට නම් කර හඳුන්වා දෙන ලද්දේ 1956 දී ශ්‍රී ලාංකික සත්ත්ව හා පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වූ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. Panthera Pardus Kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි “කොටියා” සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තවද Panthera Pardus Diviya ලෙස හදුන්වන සත්ත්වයෙක් ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි.

නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු ‘ව්‍යාඝ්‍රයා’ වන අතර leopard යනු ‘කොටියා’ වේ. දිවියන් ලෙස හඳුන්වනු ලබන්නේ කොටියාට අමතරව ශ්‍රී ලංකාවේ වාසය කරන බිළාල පවුලේ සාමාජිකයන් තිදෙනා වන හඳුන් (අඳුන්) දිවියා (Fishing Cat), කැළෑ බළලා හෙවත් බළල් දිවියා (Jungle Cat) සහ ලොව කුඩාම වල් බළලා වන කොළ දිවියා (Rusty Spotted Cat) ය.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.cinnamonnaturetrails.com
* ඡායාරූපය 02 : www.greenlivingaz.com
* ඡායාරූපය 03 : www.wonderopolis.com