19 ට පෙර පැවති විධායක ජනාධිපතිධූරය ඒකාධිපති තනතුරක් ද?

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වාදුන් විධායක ජනාධිපතිධූරය ඒකාධිපති තනතුරක් යැයි මත පළ වී ඇත. මේ වන විට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනිම විවේචනය. එයට හේතුව වන්නේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වන සංශෝධනය මගින් සිදුකළ බොහෝ වෙනස්කම් අවලංගු කර යලිත් 19 ට පෙර පැවති තත්ත්වයට ආසන්න තත්ත්වයකට ආණ්ඩුක්‍රමය පත් කිරීමයි.

19 වන සංශෝධනය මගින් සිදුකළ යෝජිත 20 වන සංශෝධනයේ ද ඉතිරි වී ඇති විධිවිධාන කිහිපයකි. එනම්,
1. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 දක්වා අඩු කිරීම.
2. ජනාධිපතිවරයෙකු ලෙස පත් විය හැකි වාර ගණන 2 දක්වා සීමා කිරීම.
3. තොරතුරු දැනගැනීමේ පනත.

ජනාධිපතිධූරය ඒකාධිපති තනතුරක් ද?
“ඒකාධිපති” යන වචනයේ අර්ථය වන්නේ ‘රටක සියලුම බලය සහ පාලනය තමා යටතේ පවතින’ යන අර්ථයයි. ඒකාධිපති යන්නට උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවලද මධ්‍යතන යුගයේ පැවති රාජාණ්ඩු ක්‍රමය දැක්විය හැකිය. රටක සම්පූර්ණ පාලනය, යුක්තිය පසිඳලීම, නීති සෑදීමේ තනි බලය රජු සතු විය.

1978 ව්‍යවස්ථාව යටතේ පත්වූ ‘සහවාස’ ආණ්ඩු
ජනාධිපතිධූරය ඒකාධිපති දැයි බැලීමට 1978 ට පසු පත්වූ සෑම ආණ්ඩුවකම තීරණ ගැනීමේ තනි බලය ජනාධිපතිට තිබුණේදැයි සොයා බැලිය යුතුය. විශේෂයෙන්ම ජනාධිපතිගේ පක්ෂය මහමැතිවරණයකින් පරාජය වූ අවස්ථා වලදී ඇතිවූ තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මෙවැනි අවස්ථා 2 ක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ දැකගන්නට ලැබේ.

1. 1994 ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා යටතේ පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව
* 1993 මැයි 1 වන දා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි නිලකාලය සඳහා එවකට අග්‍රාමාත්‍යවරයා වූ ඩී.බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් 1993 මැයි 7 වන දින ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්නා ලදි. 1994 අගෝස්තු මස පැවති මහමැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ ජයගන්නා ලද අතර එ.ජා.ප. නායකයා වූ ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැතිවරිය ලෙස පත් කරන ලදි.

එසේ පත් කිරීමෙන් පසුව අගමැතිවරියගේ උපදෙස් මත ඇය විසින් යෝජනා කළ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ලෙස ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අතර 1994 නොවැම්බර් මස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරිය ලෙස පත්වන තුරුම මෙම ‘සහවාස’ රජය පැවති අතර එම කාලය තුළදී ජනාධිපතිවරයා නිරීක්ෂකයකුගේ කාර්යභාරය සිදු කරමින් අගමැතිවරිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට රටේ පාලනය ගෙන යාමට ඉඩප්‍රස්ථාව ලබා දෙන ලදි.

2. 2001 චන්ද්‍රිකා ජනාධිපතිවරිය යටතේ පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව
* 2001 දෙසැම්බර් මාසයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජයගත්තේ පොදුජන එක්සත් පෙරමුණේ නායක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ලෙස සිටිද්දීය. ඒ අවස්ථාවේදී ඇය විසින් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ අතර ඔහුගේ උපදෙස් මත ඔහුට අවශ්‍ය කැබිනට් අමාත්‍යවරුන් සහ අනෙක් අමාත්‍යවරුන් පත් කරන ලදි. එම ආණ්ඩුව විසින් ඇතිකරගන්නා ලද සටන් විරාම ගිවිසුම මගින් එල්ටීටීඊ සංවිධානය ශක්තිමත් වීම හේතුවෙන් හා මිලේනියම් සිටි වැනි කරුණු හේතුවෙන් ආණ්ඩුවට එල්ලවූ ජනතා විරෝධය මත ජනාධිපතිවරිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 2004 අප්‍රේල් මස පැවති මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගන්නා තුරුම එම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවතිණි.

ඉහත අවස්ථා දෙකෙහිදීම මහමැතිවරණයෙන් ජයගත් පක්ෂයට අගමැතිධුරය සහ ආණ්ඩු බලය ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ ජනතා මතයට ගරු කිරීමක් ලෙස වන අතර ඒ අවස්ථා වලදී සියලු බලයන්ට වඩා ජනමතය ප්‍රබල බව තහවුරු විය. වෙනත් දේශපාලන පක්ෂයක් ආණ්ඩුව ලෙස පත් කිරීමට ජනාධිපතිට සිදු විය. මේ අවස්ථා වලදී ජනාධිපති නිරීක්ෂක කාර්යභාරයක් සිදුකල අතර නාමිකව ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ නායක ලෙස සිටියත් ආණ්ඩුවේ සැබෑ නායකයා වූයේ අගමැතිවරයායි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙවැනි ‘සහවාස’ ආණ්ඩු බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.

ජනාධිපතිවරයා සතුවූ විධායක බලය
මෙසේ ජනාධිපතිවරයා විසින් මහමැතිවරණයෙන් ජයගත් පක්ෂයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දුන්නද පාර්ලිමේන්තුව පත්වී වසර 1 ක කාලයක් ඉකුත් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවාරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතු විය. 2004 දී චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසුරුවා හැරියේ එම බලය උපයෝගී කරගනිමිනි. ඒ සම්බන්ධයෙන් බොහෝ මත තිබුණද සටන් විරාම ගිවිසුම පළිහක් ලෙස යොදා ගනිමින් සිය නාවික හා ගුවන් ශක්තියද සමස්ථ යුධ ශක්තියද වර්ධනය කරගත් එල්ටීටීඊ සංවිධානය වසර 5 ක් තුළ මුලිනුපුටා දැමීමේ පළමු පියවර එය විය.

විධායක ජනාධිපතිධුරය රටේ 26 අවුරුදු යුද්ධය නිමා කිරීමට හේතුවූ ආකාරය යමක් තේරෙන වයසේ සිටි සියලු දෙනා දන්නා කාරණයකි.

19 වන සංශෝධනයෙන් සිදුකළ වෙනස්කම්
2015 දී පත්වූ යහපාලන රජය එතෙක් පැවති සියලු රජයන්ට වඩා වෙනස් රජයකි. 2015 දී ඒකාබද්ධ විපක්ෂය විසින් යෝජනාකළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වූ අතර එකඟතාවයකට අනුව එවකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 40 ගණනක් සිටි රනිල් වික්‍රමසිංහ මහතා තුන් වෙනි වරට අගමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කරන ලදි. ඉන්පසුව ජනාධිපතිවරයා එවකට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වූ අතර ජනාධිපතිගේ මතය අනුව ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු කොටසක්ද, අගමැතිගේ උපදෙස් මත එජාප ප්‍රමුඛ යහපාලන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක්ද අමාත්‍යවරු ලෙස ජනාධිපති විසින් පත් කරන ලදි.

2015 දී ආණ්ඩු පෙරළියේ එක් අරමුණක් ලෙස විධායක ජනාධිපති සතු අත්තනෝමතික බලතල අඩු කිරීම තිබුණු අතර 19 වන සංශෝධනය යෝජනා උනේ ඒ සඳහාය.

ජනාධිපතිවරයා සතු වූ 18 වන සංශෝධනයෙන් සිදුකළ ජනාධිපති ලෙස පත්විය හැකි වාර ගණන අසීමිත කිරීම වැනි අත්තනෝමතික බලතල පමණක් ඉවත් කිරීම එහි අරමුණ වුවද 19 වන සංශෝධනයේ නිර්මාතෘවරුන් විසින් විධායක ජනාධිපති සතු බලතල විශාල වශයෙන් කප්පාදු කොට එම බලතල අගමැතිවරයාට ලබා දීම සිදුකරන ලද අතර ජනාධිපති අදේශපාලනික, නිර්වින්දිත තනතුරක් බවට පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල අඩු කොට විධායක ජනාධිපතිධූරය තවදුරටත් පවත්වාගැනීම මගින් ජනාධිපති හා අගමැති ලෙස බල කේන්ද්‍ර 2 ක් ඇති වී රට අස්ථාවර අර්බුදකාරී අරාජික තත්ත්වයකට පත් විය.

ජනාධිපති හා අගමැති අතර නොනවතින මතගැටුම් හා අරගලයේ ප්‍රථිපලයක් ලෙස 2018 ඔක්තෝබර් මස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද එකී තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු හරවන ලදි.

19 වන සංශෝධනය යටතේ ආණ්ඩුවක් අයවැය පරාජය වුවද, ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවද, ආණ්ඩුවට බහුතරයක් නැති වුවද පාර්ලිමේන්තුව පත් වී වසර 4, ½ යන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට නොහැකිය.

අර්ධ-ජනාධිපති ක්‍රමය
1978 ව්‍යවස්ථාව මගින් ගෙන ආවේ සියලු බලය කේන්ද්‍රවුණු සර්ව බලධාරී ජනාධිපති ක්‍රමයක් නොව අර්ධ ජනාධිපති ක්‍රමයකි. විධායකය සමන්විත වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙනි. එහි විවේචකයන් කියන ආකාරයේ ජනාධිපතිගේ තනි ආණ්ඩු මේ ක්‍රමය යටතේ සොයාගත නොහැක.

විධායකයේ කොටසක් වන කැබිනට් මණ්ඩලය පත් වන්නේ පාර්ලිමේන්තුවෙනි. එනම් ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් දිනා ගන්නා පක්ෂයෙන් කැබිනට් මණ්ඩලය සමන්විත වන අතර කැබිනට් මණ්ඩලයෙන් තොරව විධායකය අසම්පූර්ණ වේ. මේ අනුව වත්මන් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ මුරකරුවන්’ විසින් පරමාදර්ශී යැයි සලකන ‘සංවරණ හා තුලන ක්‍රමය’ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අන්තර්ගත වී ඇත. කලින් සඳහන් කරන ලද 1994 දී සහ 2001 දී ඇතිවූ සහවාස ආණ්ඩු වලට හේතුව මේ අර්ධ-ජනාධිපති ක්‍රමයයි.

නමුත් 19 වන සංශෝධනයට පෙර ජනාධිපති සහ ආණ්ඩුව අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයක් කැඳවා තීරක බලය ජනතාවට ලබා දීමට ජනාධිපතිට හැකි විය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වන අතර ජනතා පරමාධිපත්‍යය පිළිගැනීමකි. නමුත් 19 වන සංශෝධනයෙන් සිදුවූයේ ජනාධිපතිගේ මේ තීරක බලය නැති කිරීම වන අතර එමගින් රටේ විධායකය අකර්මන්‍ය වූ අතර, රට දේශපාලන අස්ථාවරත්වයට හා අරාජිකත්වයට පත් විය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති යනු රටේ සමස්ත ජනතාවගේ චන්දයෙන් පත්වන පුද්ගලයකු වන අතර 19 වන සංශෝධනයෙන් සිදුකලේ එක් දිස්ත්‍රික්කයක චන්දයෙන් පත්වන අගමැතිගේ අණසකට රටේ සමස්ථ ජනතාවගේ චන්දයෙන් පත්වන ජනාධිපතිවරයා යටත් කිරීමයි.

ජනාධිපතිගේ මුක්තිය
1978 ව්‍යවස්ථාවට අනුව සිය නිල කාලය තුල නිල තත්ත්වයෙන් හෝ නිලනොවන තත්වයෙන් කරන ලද හෝ නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපතිට විරුද්ධව නඩු පැවරීමට නොහැකිය. මෙම තත්ත්වය ලෝකයේ බොහෝ විධායකයන් සම්බන්ධයෙන් දැකගත හැකි තත්ත්වයකි.

බ්‍රිතාන්‍ය රැජිනට එරෙහිව තමා රැජින ලෙස ජීවත් වන තුරුම කිසිදු නඩුවක් පැවරිය නොහැකි වේ. ලෝකයේ වෙනත් රටවල නායකයන් සම්බන්ධයෙන්ද මේ තත්ත්වය දැකගත හැකි අතර බලපෑම් වලින් තොරව රට වෙනුවෙන් තීරණ ගැනීමේ හැකියාව ලබා දීම මෙහි අරමුණයි.

ලංකාවේ ජනාධිපති යනු රටේ සමස්ත ජනතාවගේ චන්දයෙන් පත්වන පුද්ගලයකු වන අතර ඔහු ලංකාවේ ඒකීයභාවයේ හා භෞමික අඛණ්ඩතාවයේ ප්‍රතිමූර්තියක් වන අතර ලක් ජනතාවගේ පරමාධිපති බලයේ භාරකරුවා වේ.

සාරාංශය
ඉහත කරුණු අනුව ලංකාවේ ජනාධිපති ඒකාධිපති තනතුරක් දැයි තීරණය කිරීම පාඨකයාට භාර වන අතර අවසානයේ දී කිව යුතු වන්නේ රටේ ආණ්ඩුක්‍රමයේ වෙනස්කම් සිදු විය යුත්තේ රටේ සමස්ථ ජනතාවගේ කැමැත්ත මත ජනතා පරමාධිපත්‍යට අනුව බවයි.