ජපන් රටට ගිය වලස් පැටව්

මේ කියන්න යන්නෙ එක්දහස් නවසිය බර ගණන්වල අපේ රටේ සිද්ධ වුණු කතාවක්. මේ කතාවේ කතා නායකයා තමයි සයිමන් වික්‍රමආරච්චි කියන්නෙ. සයිමන් වික්‍රමආරච්චි මහත්මයාගේ බාප්පට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් තිබුණා. මේක හැදින්නුවේ Don Charles And Sons කියලා. මේ ව්‍යාපාරයෙන් කෙරුනෙ උත්සව භාණ්ඩ කුලියට දෙන එක සහ ලී වෙළදාම.

සයිමන් වික්‍රමආරච්චි මහත්මයාගේ බාප්පට දරුවො හිටියෙ නැති නිසා, එයා තීරණය කරනවා කාගෙත් කැමැත්ත මත මේ ව්‍යාපාරය අන්තිමේදි සයිමන් මහත්මයට භාර දෙන්න. මේ කාලය වෙනකොට සයිමන් මහත්මයගෙ මල්ලිලා දෙන්නම ඉස්කෝලෙ යන වයසෙ. කොහොමින් කොහොම හරි 40 දශකයේදී පුටු 50ක් සහ කරත්තයක් එක්ක භාරගත්ත මේ ව්‍යාපාරය, සයිමන් මහතා ටිකෙන් ටික, දියුණු තත්වයකට අරගෙන එනවා. ඊට පස්සෙ මේස, පුටු, ටෙන්ට් වගේ උත්සව භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහ ව්‍යාපාරයේ වැඩ වලට ලොරි පහකුත් මිළදී ගන්නවා.

එක දවසක් සයිමන් මහත්මයාට අපේ රටේ දුෂ්කර කැළෑ ආශ්‍රිත පළාතකට රාජාකාරි ගමනක් ගිහින් එන ගමන්, අහම්බෙන් වගේ කැළෑවේ අතරමන් වෙලා හිටපු වලස් පැටව් දෙන්නෙක්ව මුණ ගැහෙනවා. අසරණ වෙලා, අතරමං වෙලා ඉන්න වලස් පැටව් දෙන්නා දැකලා හිත උණු කර ගත්ත සයිමන් මහත්තයා හුගාක් වෙලා බලාගෙන ඉදලා, බැරිම තැන අන්තිමේදි වලස් පැටව් දෙන්නවත් වාහනේට දාගෙන කොළඹ යනවා. සයිමන් මහත්තයගෙ ව්‍යාපාරික ස්ථානය පිහිටලා තිබ්බෙ වැල්ලවත්ත ප්‍රදේශයේ (වර්තමානයේ ඩෙල්මන් ඉස්පිරිතාලය පිහිටලා තියෙන ඉඩමේ). ඉතින් මේ වලස් පැටව් දෙන්නා හැදුනෙ වැඩුනෙත් මේ ව්‍යාපාරික ස්ථානය ඇතුළෙ.

සයිමන් මහත්තයාගෙ ගම් පළාත වුණේ කැළණියයි. මේ කාලයේ සයිමන් මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයෙක් වෙලා හිටියා. සයිමන් මහත්තයා වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නෙ රිචඩ් ගෝඨාබය සේනානායක නොහොත් ආර්.ජී.සේනානායක මන්ත්‍රීතුමාට. 1956 අවුරුද්දෙ පැවැත්වුණු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයක් වාර්තා කරනවා. SWRD බණ්ඩාරනායක මැතිතුමා රටේ අගමැතිවරයා වෙද්දි, රිචඩ් ගෝඨාබය සේනානායක මැතිතුමා වෙළද හා වාණිජ කටයුතු පිළිබද ඇමතිවරයා වෙනවා.

මේ අවුරුද්දෙම ජපානයේ ෂෝවා අධිරාජ්‍යයා නොහොත් දෙවන ලෝක යුද්ධයේදී ඇඩොල්ෆ් හිට්ලර් එක්ක එකතු වෙලා විශාල පෙරලියක් කරපු හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සහෝදරයා වුණු මිකාසා කුමාරයා, ඔහුගේ බිරිඳ වන යුරිකෝ කුමරියත් එක්ක බුද්ධ ජයන්ති සැමරුමට සහභාගී වෙන්න ලංකාවට එනවා.

රාජකීය පවුල පිළිගන්න අපේ රටේ අය ලහි ලහියේ ලක ලෑස්ති වෙද්දි, “රාජකීය පවුලට තෑග්ගක් දෙන්න ඕන” කියලා අභිනවයෙන් කැබිනට් අමාත්‍යාංශයේ වැඩ භාර ගත්ත රිචඩ් ඇමතිතුමාට හිතෙනවා. ඉතින් රිචඩ් ඇමතිතුමා සයිමන් මහත්තයාට මේ ගැන කියලා, ජපන් රාජකීය යුවලට තිළිණ කරන්න හොදවෑයින් තෑග්ගක් ඉල්ලනවා.

“මට නම් දෙන්න දෙයක් නෑ. ඕන නම් මගේ ගාව ඉන්න වලස් පැටව් දෙන්නව දෙන්නම්” ඒ, සයිමන් මහත්තයා රිචඩ් ඇමතිතුමාට දීපු උත්තරේ. ඊට පස්සෙ හැමෝගෙම කැමැත්තෙන් මේ වලස් පැටව් දෙන්නව, මිකාසා කුමාරයට සහ යුරිකෝ කුමරියට තෑගි කරන්න තීරණය කළා. වලස් පැටව් දෙන්නව තිළිණ කිරීමේ උත්සවය තිබිලා තියෙන්නෙ අරලියගහ මන්දිරයේ. පහළින් තියෙන්නෙ ඒ සුවිශේෂී අවස්ථාවේදී ගත්තු ඓතිහාසික ඡායාරූපය. ඡායාරූපය අරගෙන තියෙන්නෙ Times එකෙන්.

පින්තූරෙ වම් පැත්තෙන්ම ඉන්නෙ සයිමන් වික්‍රමආරච්චි මහත්තයා. ඊට දකුණෙන් අනිත් වලස් පැටියා වඩාගෙන ඉන්නෙ සයිමන් මහත්තයාගෙ බාල සහෝදරයා වුණු පියදාස වික්‍රමආරච්චි මහත්තයා. ඊටත් එහා පැත්තෙන් ඉන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ? SWRD බණ්ඩාරනායක අගමැතිතුමා. ඊටත් එහා පැත්තෙන් ඉන්නෙ උත්සවයේ ගෞරවණීය අමුත්තන් වුණු රාජකීය යුවල. ඊටත් පස්සෙ පින්තූරයේ දකුණු පැත්තෙ කොනේම ඉන්නෙ රිචඩ් ගෝඨාබය සේනානායක ඇමතිතුමා.

මේ හැමෝටම ඉස්සරහා තියෙන පෙට්ටියේ ගහලා තියෙන්නෙ Presented By Don Charles And Sons කියලා. ඒ පෙට්ටියෙන් තමයි වලස් පැටව් දෙන්නා ලංකාවෙ ඉදලා ජපන් රටට ගියේ. ලංකාවෙන් තමන්ට ලැබුණු මේ අමතක නොවෙන තෑග්ග නිසා ගොඩාක් සතුටු වුණු රාජකීය යුවල, පස්සෙ කාලයක ඒ වෙනුවෙන් ලංකාවට ජපන් වලස් පැටව් දෙන්නෙක්ව පරිත්‍යාග කරනවා. ඊට පස්සෙ ලංකා රජයෙන් මේ ජපන් වලස් පැටව් දෙන්නව, දෙහිවල සත්තු වත්තට භාර දෙනවා.

ඊට පස්සෙ කාලයෙත් Don Charles And Sons ව්‍යාපාරය පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව දියුණු කරන සයිමන් මහත්තයා, පස්සෙ කාලයක ව්‍යාපාරය බාල සහෝදරයාට පවරනවා. බාල සහෝදරයාගෙන් පස්සෙ අද වෙනකොට (2020.11.20) මේ ව්‍යාපාරයේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්නෙ, බාල සහෝදරයාගේ එකම පුත්‍රයා. ව්‍යාපාර ආයතනය වර්තමානයේ වැල්ලවත්තේ ඩෙල්මන් රෝහල පිහිටලා තියෙන ඉඩමට ටිකක් එහායින් තියෙන මූවර් පාර අසලට ගෙනිහින් තියෙනවා.

1932 අවුරුද්දෙ ඉදලා 1945 දෙවන ලෝක යුද්ධය නිමාවෙනකන් ජපන් යුධ හමුදාවේ සේවය කරපු මිකාසා කුමාරයා, 1954 අවුරුද්දෙ ඉදලා මිය යන තුරුම මැදපෙරදිග අධ්‍යයන සඳහා වූ ජපන් සංගමය මෙහෙයවලා තිබෙනවා. ඒ වගේම ජපන් පෙරදිග විද්‍යා සංගමයේ ගෞරවනීය සභාපතිවරයෙක් විදිහටත් කටයුතු කරන ගමන් ජපානයේ සහ රටවල් කිහිපයකම විශ්ව විද්‍යාල වල පුරාවිද්‍යාව සහ මැදපෙරදිග අධ්‍යනය යන විෂයන් වලට අදාළව භාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත් සේවය කරනවා. ඊටත් අමතරව සංස්කෘතික විෂයන් සම්බන්ධ ජපානයේ ගොඩක් රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් සඳහා දායකත්වය ලබා දෙනවා.

මිකාසා කුමාරයා මිය යන්නෙ, කාලයත් එක්ක වර්ධනය වුණු නියුමෝනියා තත්වයක් නිසයි. ඒ 2016 ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා. මිය යන කොට කුමාරයාට වයස අවුරුදු 100ක් වෙලා තිබුණා කියලා තමයි වාර්තා වෙන්නෙ.

මිකාසා කුමාරයාගේ බිරිඳ වුණු යුරිකෝ කුමරියට, මේ වෙනකොට (2020.11.20) වයස අවුරුදු 97ක් වෙනවා. ඇය තවමත් ජීවත් වෙනවා.


Photo Credits – www.parismatch.com

1956 අවුරුද්දෙ මිකාසා කුමාරයා අපේ රටට පැමිණි කතාව හුග දෙනෙක් දැනගෙන හිටියත්, මේ කියපු සිදුවීම අපේ රටේ දැන් ජීවත් වෙලා ඉන්න කවුරුත්ම දන්නෙ නැති කතාවක්. ඔන්න eLearning.lk අපි ඔයාලගෙ දැනුම වෙනුවෙන්, ඒ අවස්ථාවේම සිද්ධ වුණු අප්‍රකට කතාවක් හෙළි කළා.

ඒ වගේම ඒ ඓතිහාසික අවස්ථාවේදී ගත්ත මේ විරල පින්තූරයත්, ඔන්න අපි ලෝකයේ පළවෙනි වතාවට eLearning.lk බ්ලොග් අඩවිය තුළින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කළා.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.