සිංහලේ ඒක ඡත්‍ර කළ වසභ මහා රජතුමා (රාජ්‍ය සමය වර්ෂ 67–111)

ක්‍රි.ව 44 දී ඉලනාග රජතුමා පරලෝ සැපත් වූ පසුව ඔහුගේ පුත් චන්දමුඛ සිව රජකමට පත්විය. මොහුගේ මෙහෙසිය වූයේ දෙමළ කුමාරිකාවකි. අට අවුරුද්දක ඇවෑමෙන් මොහුගේ මල්ලි වූ යසලාලක තිස්ස නම් කුමරු, හේ මරා රජ වූයේය. (ක්‍රි.ව 52)

මහා වංශයෙහි සඳහන් පරිද්දෙන් යසලාලක තිස්ස හා ඔහුගේ දොරටුපාලයා ස්වරූපයෙන් ඔවුනොවුන්ට බෙහෙවින් සමාන වූහ. විහිළුවට කැමති රජතුමා දොරටුපාලයාට රජ ඇඳුම් අන්දවා සිහසුනෙහි තබා, තෙමේ දොරටුපාල ඇඳුමෙන් සැරසී සිටීමට විටින් විට පුරුදුව සිටියේය. රජුගේ ඇමතිවරු දොරටුපාලයා “නියම රජු” යැයි සිතා ඔහුට ගරු සත්කාර දක්වනු බලා සිටීම රජුගේ සතුටට කාරණයක් විය.

එක දිනක් මෙසේ ඇමතිවරුන් පැමිණ රජ වෙසින් සිටින දොරටුපාලයාට ආචාර පවත්වනු බලා සිටි රජ තෙමේ සිනාසෙන්නට පටන් ගත්තේය. සිහසුනෙහි සිටි දොරටුපාල තෙමේ, රජු ඉදිරියෙහි නොසුදුසු අන්දමින් හැසිරුණු දොරටුපාලයා (එනම් යසලාලක තිස්ස රජු) මරා දමන මෙන් නියෝග දුන්නේය. එම අණ වහා ක්‍රියාවට නැංවුණි. මෙයින් යසලාලක තිස්ස පමණක් නොව දේවානම්පියතිස්ස රජුගෙන් ආරම්භ වී සියවස් තුනකට ආසන්න කාලයක් පැවතගෙන ආ රාජ පරම්පරාවද කෙළෙවර විය.

දොරටුපාලයා ඉන්පසුව යසලාලක තිස්ස රජු ලෙස දිගටම පෙනී සිටීමට උත්සාහ කළද ඔහුගේ සැබෑ අනන්‍යතාව වැඩිකල් නොගොස් හෙළි විය. මේ දොරටුපාලයාද සිංහල ක්ෂත්‍රීය වංශයට අයත් වූවෙකු වූවද, එදා ලක්දිව විසූ වංශවතුන් මොහු තම රජ ලෙස පිළිගැනීමට අකැමැති වූ බවට සැකයක් නැත. කෙසේ හෝ හය වසරක් රජකම් කිරීමට හේ සමත් වූයේය.

බලහත්කාරයෙන් සිහසුන ලබාගත් දොරටුපාලයාගේ නම සුභ යනුවෙන් මහාවංශයෙහි සඳහන්ය. එහෙත් පසුකාලීනව සොයාගත් සෙල්ලිපි වල ඔහුගේ නම සඳහන් වනුයේ “සභ” යනුවෙනි. සෙල්ලිපි වලින් හෙළිදරව් වනුයේ මොහු භික්ෂු සංඝයා උදෙසා කළ පූජාවන්ය.

ජනප්‍රවාදයේ කියවෙන පරිදී වසභ නම් තැනැත්තෙක් විසින් තම රාජ්‍යය අත්පත් කරගන්නා බව අනාවැකි කියන්නෙකු විසින් සුභ රජුට දැනුම් දෙන ලදුව ඒ නම ඇති හැම කෙනෙකුම නසා දමන මෙන් හේ නියෝග කළේය. මේ නියෝගය ක්‍රියාත්මක කිරීම භාර ගත් මහා සෙනෙවි වසභ නම් සිය බෑණනුවන් පවා මරා දැමීමට කල්පනා කළේය. එනමුත් සිය සැමියාගේ මෙම අදහස දැනගත් ඔහුගේ බිරිඳ “මෙත්තා” තමන්ට හිතවත් මෙම තරුණයා මරණයෙන් මුදාලීමට අදහස් කොට එක්තරා උපායක් යෙදුවාය. ඔහු අතට කහවනු දහසක් දුන් ඕ තොමෝ රුහුණු ජනපදයට පලා යාමට ඔහුට උපකාර කළාය.

රුහුණට ගොස් කැරැල්ලක් සංවිධානය කිරීමේ උත්සාහවත් වූ වසභ කුමරාට මහා විහාරීය භික්ෂූන්වහන්සේලා ගෙන්ද ආධාර උපකාර හිමි වූ බව මහාවංශයෙන් පෙනේ. වසර දෙකක් තිස්සේ සේනා රැස් කොට පුහුණු කොට ප්‍රබල යුද හමුදාවක් ගොඩනඟා ගත් වසභ කුමරා සේනා පිරිවරා අනුරාධපුරය බලා ගමන් ආරම්භ කළේය. පළමුකොට සුභ රජුගේ සේනාව මෙහෙය වූ සිය මාමා සමඟද දෙවනුව සුභ රජුම මෙහෙය වූ සේනා සමඟද සටන් කළ ඔහු, ඔවුන් පරදවා, ඒ දෙදෙනාම නසා දැම්මේය. මෙතැන් පටන් ලංකාවේ අසහාය රජු ලෙස රාජාභිෂේක ලැබූ වසභ තෙමේ, සිය මාමාගේ බිරිඳ (සිය නැන්දනිය) අග මෙහෙසිය වශයෙන් නම් කළේය.

ක්‍රි. ව 67 දී සිහසුන ලබාගත් මෙතුමා 111 දී ඔහුගේ මරණය වන තුරුම වසර 44 ක් රාජ්‍යය පාලන කලේය.

අද යාපනය අර්ධද්වීපය යනුවෙන් හැඳින්වෙන පැරණි නාග ද්වීපය එදා සිංහල රජු යටතේම පාලනය වූ සිංහල ජනපදයක් බව ප්‍රත්‍යක්ෂව ඔප්පු වන්නේ මේ වසභ රජු විසින් නිකුත් කරන ලද රන් සන්නසක් නිසාය. යාපනය අර්ධ ද්වීපයේ නැගෙනහිර වෙරළාසන්නයේ වල්ලිපුරම් නම් ස්ථානයේ තිබී සොයා ගත් මෙම සන්නස පත්‍රය ඉතිහාසය විෂයෙහි ලා ඉතා වැදගත්ය.

එහි මෙසේ සඳහන් වේ.

“සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ”

එහි වත්මන් සිංහල අර්ථය මෙයයි.

“ස්වස්ති සිද්ධම්! (යහපත වේවා)

මහරජ වසභ රජයේ ඇමති ඉසගිරිය නාගදීපය පාලනය කරද්දී බඳකර අතනෙහි පියගුක තිස විහාරය කරවීය.”

මෙම රජුට අයත් සෙල්ලිපි උතුරේ යාපන අර්ධද්වීපයෙන්ද,දකුණේ සිතුල්පව්වෙන්,නැගෙනහිර මඩකළපුචෙන්ද,බටහිර කුරුණෑගල දිස්තික්කයෙන්ද ලැබී ඇති හෙයින් මෙම රජතුමාගේ බලය මුලු දිවයින පුරා පැතිර තිබූ බව කියයි. එහෙත් අනිකුත් සිංහල රජවරුන් කරවූ සෙල්ලිපි වල මෙන් තම වංශයේ උසස් බව දැක්වීමට, සිය මව්පිය පරම්පරාවන් පිලිබඳ කිසිවක් මෙතුමා කොටවා නැත. ඊට හේතුව ඔහු ලම්භකර්ණ වංශිකයෙකු වීම බව ඉතිහාසඥයන්ගේ මතයයි. වසභ රජුගෙන් ඇරඹි ලම්බකර්ණ රාජවංශය ඉන්පසු පුරා වසර 370ක් “සිංහලේ” පාලනය කොට තිබේ.

මෙතුමාගේ රාජ්‍ය කාලය යුද්ධ කෝලාහල ආදියෙන් තොර සන්සුන් යුගයක් විය. එබැවින් රටේ පොදු සමෘද්ධියට හේතුවන, වැව් අමුණු බැන්දවීමත් ශාසනික දියුණුවට හේතුවන විහාරාරාම කරවීමත් එකල සිදුකළ හැකිවිය. වී ගොවිතැනට උපකාර වනු වස් මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා සැලකෙයි. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11 ක් සහ ඇළ 12 ක් තනන ලදි. මෙතුමා කරවූ වැව් අතර මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, ඇලහැර වැවද වේ.

එකල පැවති ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, එතුමා බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. මේ රජතුමා අනුරාධපුර නගර අලංකරණයට හේතු වූ විසිතුරු උයන්වතු කරවා, ඒවායෙහි ජල යන්ත්‍ර සහිත විසිතුරු පොකුණු කරවූ බව ද මහාවංශයෙහි සඳහන් වෙයි.

ජල පරිවහනය එනම් ජලය තැනකින් තවත් තැනකට ගෙන යාම ගැන ඉතාම හොඳ දැනුමක් තිබූ ශිල්පීන් එකල සිටියහ. ඒ ඉංජිනේරුවෝ සිය තාක්ෂණික දැනුම යොදාගෙන යොදාගෙන පොළොව යටින් ජලය ගෙනයෑමේ ක්‍රම ද ජනිත කළහ. ඒ අනුව තැන් තැන් වල පොකුණු සාදවා උමං ඔස්සේ ඒවාට ජලය රැගෙන යනු ලැබුණි. ලක්දිව මුල් වරට මේ තාක්ෂනය යොදා ගැනුණේ වසභ රජ සමයේය.

වසභ රජතුමා ආරක්ෂාව ගැනද බොහෝ සැලකිලිමත් විය. එනිසා එතුමා අනුරාධපුරයේ ප්‍රාකාරය අටළොස් රියනක් (අඩි විසිහතක්) උස කොට බැන්දවීය. ප්රාකාරයෙහි දොරටු සතරක් සාදවා වතුද වැවීය. රාජ උද්‍යානයේ පොකුණු තනවා ඒවා අලංකාරවත් කරන්නට හංසයන්ද ගෙනවිත් දැමුවේය.

වසභ රජතුමා මුළු ලක්දිවම වැඩ සිටි භික්ෂූන් කැඳවා වසර තුනකට වරක් තුන් සිවුරු පූජා කළේය. (තුන් සිවුරු වනාහි භික්ෂූන්වහන්සේලා අඳින අඳන කඩය, තනි පට සිවුර, දෙපට සිවුර යන තුනය. තුන් සිවුරු වනාහි භික්ෂූන්වහන්සේලා අඳින අඳන කඩය, තනිපට සිවුර, දෙපට සිවුර යන තුනය. තුන් සිවුරු පිළිගන්නට නොවැඩි භික්ෂූන්වහන්සේලා වෙතද රජතුමා ඒවා යැව්වේය. බුදු දහම ඉතාම හොඳින් දන්නා ඒ අනුවම හැසිරෙන හිමිවරුන් හට සිවුපසයම දුන්නේය. (දානය, ගිලන්පස, සිවුරු, සේනාසන එනම් වැඩ සිටින තැන්)

රජතුමා රටේ මහත් සේ දන් දුන්නේය. ගිලන් හිමිවරුන් හටත්, ගිලන් ගිහි මිනිසුන් හටත් වුවමනා බෙහෙත් බෙහෙත් මෙන්ම වෙනත් දේත් දුන් රජතුමා දුප්පත් මිනිසුන් හටත් බොහෝ දන් දුන්නේය. අනුරාධපුර නගරයට ඇතුළු වෙන දොරටු සතරෙහිම තබා දුප්පත් මිනිසුන් හට ජීවත්වීමට වුවමනා දේ දුන්නේය.

වසභ රජතුමන්ගේ කාලයේ රහත් නොවූ ඇතැම් හිමිවරුන් රහතන්වහන්සේලා මෙන් පෙනී සිටින්නට වූහ. රහත් බව ප්‍රකාශ කරන එක් හිමිනමක් ඇත්තටම රහත් වී සිටිනවාද යන්න දැන ගැනීමට වසභ රජතුමාට වුවමනා විය. එතුමා ඒ සඳහා කළේ අපූරු වැඩකි. ඒ හිමියන්ට රජ මැදුරට වදින්නට කියා ආරාධනා කළ රජතුමා ඉන්පසුව ඩෙබර ගෙඩියක් ගෙන හිමියන් හට පෙනෙන තැනක ඉඳගෙන එය කපා කෑමක් සාදන්නට විය. ඒ අතරම හිමියන් දෙසද වරින් වර බලන්නට විය. හිමියන්ගේ කටට කෙළ උනන බව උන්වහන්සේ හැසිරෙන හැටියෙන් රජතුමාට පෙනුණි.

“මේ හිමියන් රහත් වී නැහැ”. රජතුමා නිගමනය කළේය. රහතන්වහන්සේ කෙනෙකුට රස තණ්හාවක් නැහැ.

වසභ රජතුමා බොහෝ ශ්‍රද්ධාව ඇත්තෙකි. එහෙත් එතුමා බණ ඇසූවේත් බුදුන්වහන්සේ දේශනා කළ ලෙසම විචාර බුද්ධිය ප්‍රමුඛ කොටය. එක් දිනක් ලොවාමහාපයෙන් නැඟෙනහිර වූ අම්බලට්ඨිකා නම් වූ තැන, භික්ෂූන්වහන්සේ නමක් මහා සුදර්ශන සූත්‍රය පදනම් කරගෙන ධර්ම දේශනා කරනු එතුමාට අසන්නට ලැබුණි.

කියවන්න: මහා සුදර්ශන සූත්‍රය: https://suttacentral.net/dn17/si/zoysa

“කාමයන්හි ආදීනව දේශනා කළ අපේ බුදුන්වහන්සේම මෙසේ කාමයන්, සුඛවිහරණය, හා සශ්‍රීකත්වය මෙසේ වර්ණනා කරන්නේ ඇයි ?” යැයි රජතුමාට සිතුණි. එහෙත් සූත්‍රය අවසානයේ “මේ සියල්ල හේතූන් නිසා හටගත් සංස්කාරයෝය. ඉපිද නැසෙන සුලුවූ මේ සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නැති වෙත්. ඔවුන්ගේ සංසිඳීම පරමාර්ථ සැපය වන්නේය. ” යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කොට තිබෙනු ඇසූ විට රජතුමාට කාරණය පැහැදිලි විය. එතුමා මහත් සතුටින් සාධුකාර දුන්නේය.

වසභ රජතුමාගේ වැඩිමල් පුත්‍ර තිස්ස හෙවත් වන්කනාකතිස්ස (වක් වූ නාසයක් ඇති තිස්ස) ගේ විවාහය පිණිස යෝජනා වූයේ ප්‍රභූවරයෙකු වූ උළු වඩුවෙකුගේ (එනම් විහාර සාදන තැනැත්තෙකුගේ) රූමත් දුවක්ය. ඇය පිළිබඳව ඇයගේ පියාගෙන් රජතුමා විමසූ විට ඇය තමන්ගේ දුවම නොවන බවත් ඇය තමන් හදා වඩා ගත දුවක බවත්, සැබවින්ම ඇය වසභ රජු හා යුද්ධයෙන් පරාජයට පත්ව මරණයට පත් සුභ රජුගේ දියණිය වූ මහාමත්තා බවත් හෙළි වී තිබේ.

එම මංගල්‍යයෙන් සුභ රජතුමාගේ සිංහල ක්ෂත්‍රීය පරපුරත් වසභ රජතුමාගේ ලම්භකර්ණ පරපුරත් එක් විය. ඒ විවාහයෙන් ලද වැඩිමල් පුත්‍රයා එනම් වසභ රජුගේ මුණුපුරා ගජබාහු නම් විය.

වසභ රජතුමාගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර තිස්ස හෙවත් වන්කනාකතිස්ස (වක් වූ නාසයක් ඇති තිස්ස) සිහසුනට පත් වූවේය. ඔහුගෙන් පසු රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ පුත්‍ර සුප්‍රකට ගජබාහු මහ රජතුමාය.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.