අතහැරීම යනු කුමක්ද?

අතහැරීම කියන්නේ බෞද්ධ දර්ශනය ඇතුළුව වේදාන්ත, යෝග, ජෛන වැනි ඉන්දියානු ආගමික දර්ශනවල, විශේෂයෙන් ඉගැන්වෙන සිද්ධාන්තයක්. භෞතික දේවල් හෝ පුද්ගලයන් අල්ල ගන්න අල්ලා ගන්න දුක(චිත්ත පීඩාවන්) වැඩි වෙන බවත්, හිතේ සැබෑ සැනසීම උදා වෙන්නේ අතහරින මට්ටමට බවත් එම දර්ශන වල ඉගැන්වෙනවා. බුදුන්වහන්සේ “අතහැරීමම නිවන වේ” යනුවෙන් දේශනා කළා.

හැබැයි උක්ත දර්ශනම පිළිගන්නවා සහ උගන්වනවා ඇස,කන,දිව,නාසය,කය,මනැස යන ආයතන හය පිනවීමේ ආස්වාදයකුත් තියෙනවා කියලා. ඒ ආස්වාදය විඳින්නට නම් යම් භෞතික වත් පොහොසත්කමක් ගොඩනැඟීම කළ යුතු බවත් ඒ දර්ශන පිළිගන්නවා. ඒක කරන්න නම් ඒවා ලබාගැනීම උදෙසා අරගලයක් කළ යුතු බවත් ඒ දර්ශන පිළිගන්නවා.

ඒ අරගලය කරන්නට නම් සිතේ “තණ්හා උපාදාන” (ආසාවෙන් අල්ලාගැනීම්) තිබිය යුතු බව, සාමාන්‍ය මිනිස් අත්දැකීමයි.

දැන් මේක උභතෝකෝටිකයක්. මේ උභතෝකෝටිකය විසඳන එක පහසු වැඩක් නෙවෙයි.

ඒ උභතෝකෝටිකය පසෙක තබා “අතහැරීම” නම් වූ සංකල්පය වෙත නැවත යොමු වෙමු.

මිනිස්සු මෙන්න මේ සංකල්පය තේරුම් අරන් ඉන්න විදිය නිවැරැදි නැහැ. අතහැරීම කියන්නේ සියල්ල අත හැරල පැවිදි වෙන එකම නෙවෙයි.

සමහර උදවිය ඉන්නවා එහෙම ගිහි ජීවිතය අත හැරල පැවිදි වෙලත්, තවමත් හිතින් විවිධ දේවල් උපාදානය කරන් ඉන්න. පැවිදි වීම කියන්නේ මාර්ගපල ලැබීමක් නෙවෙයිනේ. ඒක නිසා ගත මහණ කළත් සිත් පෘතග්ජනයි.

එතකොට නියම අතහැරීම කියන්නේ මොකක්ද ?

අතහැරීම කියන්නේ කෘත්‍රිමව කරන්න පුළුවන් වැඩක් නෙවේ. නියම අතහැරීම සිද්ධ වෙන්නේ, හිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවිකව. ඒක හරියට ගහක පලතුරක් ඉදිලා ඉදිලා ස්වාභාවිකව නටුවෙන් ගිලිහිලා වැටෙනවා වගේ.

එහෙම සිත දියුණු කරන්න විවිධ ක්‍රම උක්ත දර්ශන යෝජනා කරනවා.

බෞද්ධ දර්ශනය ඒ උදෙසා යෝජනා කරන ප්‍රධාන ක්‍රම තුන මේවාය.

1. ලෝකයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීම. (අනිච්ච)

2. ලෝකයේ පීඩාකාරී ස්වභාවය මෙනෙහි කිරීම. එනම් ආස්වාදයක් තිබුණත් ඊට සාපේක්ෂව ආදීනවයේ ඇති බරපතළ ස්වභාවය මෙනෙහි කිරීම. ( දුක්ඛ )

3.භාහිර ලෝකයේ, සහ තම ශරීර අභ්‍යන්තරයේ සහ මනැසේ ඇති තමන්ගේ පාලනයෙන් ඔබ්බේ (බොහෝ දේ ) පවතින ස්වභාවය මෙනෙහි කිරීම. (“අනත්ත” ස්වභාවය (ලක්ෂණය) මෙනෙහි කිරීමේ පළමු මට්ටම : කියවන්න : අනත්තලක්ඛන සූත්‍රය )

වේදාන්ත දර්ශනය (උදා : භගවත් ගීතාව ) පහත ක්‍රම යෝජනා කරයි.

1.යෝග ආසන දියුණු කිරීමෙන් සහ ව්‍යායාම කිරීමෙන් මුලින් යහපත් ශරීර සෞඛ්‍යයක් ජනිත කර ගැනීම. (හථ යෝග)

2. විචාර බුද්ධිය සහ තර්කය පෙරදැරිව ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කිරීම.

සත්‍යාවබෝධය තර්කයෙන්ම කළ නොහැකි බව අවබෝධ වන මට්ටමට සිත දියුණු කිරීම.

ඉන්පසුව තමන්ගේ විනිශ්චය කරන පණ්ඩිතකම් පසෙක තබා, ආගම ධර්මය කෙරෙහි ශ්‍රද්ධා භක්තිය දියුණු කිරීම. (භක්ති යෝග)

3.තමන්ගේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ හෝ වෙනත් වැඩ වල යෙදෙන අතර, මුදල් උදෙසාම හෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උදෙසාම හෝ සමාජ තත්වය / බලය උදෙසාම හෝ (ඵලය උදෙසාම ) වැඩ කරන ස්වභාවයෙන් තම හිත මුදාගත යුතුය.

පරමාදර්ශී අරමුණක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හෝ තම යුතුකම් ඉටු කිරීමේ චේතනාවෙන් කටයුතු කිරීමට හෝ, මුල් තැන ලබා දිය යුතුය.

ඉන්පසුව පූර්ණ අවධානය යොදවා තම රාජකාරිය හෝ කාර්‍යය මනාව ඉටු කිරීම සහ ඒ හරහා සිත දියුණු කිරීම කළ යුතුය.

(කර්ම යෝග)

4. ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ අධ්‍යයනය කරමින් ඒවායේ අන්තර්ගත ප්‍රඥාව සහ සිත දියුණු වන ඉගැන්වීම් මනාව මෙනෙහි කිරීම.

(ඥාණ යෝග)

මෙබඳු ක්‍රම අනුගමනය කිරීම හරහා සිත දියුණු කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම ගිහියෙක් නම්, ප්‍රායෝගික මට්ටමින් ධර්මයේ හැසිරෙමින්, මහන්සි වී හරි හම්බ කරගත යුතු කාලයේදී එය ඉටු කරගත යුතුය. (කියවන්න : ව්‍යග්ඝපජ්ජ සූත්‍රය)

අතහැරීම ස්වාභාවිකව සිදු වන්නේ හෝ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි වන්නේ එසේ ක්‍රමානුකූලව කටයුතු කළ හොත් පමණි.

නැතිනම් සිදු වන්නේ ගඟ මැදදී පහුර අතහැර ගඟේ ගිලී යාමයි. බුදුන්වහන්සේ දේශනා කළ පරිද්දෙන්ම පහුර අතහැරෙන්නේ ගඟ තරණය කළ පසුය. ඉන්පසුව පහුර කරතබා ගෙන යාමේ අවශ්‍යතාවක් නැත. (අලගද්දූපම සූත්‍රය)

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.