ඉස්ලාමයේ ස්වර්ණමය යුගය

බැග්ඩෑඩ්…

බැග්ඩෑඩ් කිව්වම ඔයාලට මොනවද මතක් වෙන්නෙ? සදාම් හුසේන්? රත්තරං කුට්ටි? න්‍යෂ්ටික අවි? ඉරාක ඉරාන යුද්ධය? සිවිල් අරගල? ඇමරිකානු ආක්‍රමණය? ප්‍රචණ්ඩත්වය සහ දුගීබව?

ඒත් ඔයාලා විශ්වාස කරනවද බැග්ඩෑඩ් කියන්නෙ අතීත ලෝකයේ තිබුණු දියුණුතම නගරයක් කියලා? ලෝකයේ දැනුමේ මධ්‍යස්ථානය කියලා?

අද අපි ගණිතයේදී භාවිතා කරන Algebra, Sine, Cosine, Secant, Cosecant, Tangent, Cotangent වගේ දේවල් හොයා ගැනුනෙ බැග්ඩෑඩ් වලින් කිව්වොත් ඔයාලා පිළිගන්නවද? පැස්කල් ත්‍රිකෝණය හොයා ගන්න අවුරුදු 500කට කලින් ඉදන්ම, ඒ සංකල්පය බැග්ඩෑඩ් වල භාවිතා කළා කිව්වොත් විශ්වාස කරනවද? නිකෝලස් කොපර්නික් එයාගෙ සමහරක් සොයා ගැනීම් කියලා ඉදිරිපත් කළේ, ඒ කාලයේ බැඩ්ගෑඩ් වල විද්‍යාඥයන්ගේ පරීක්ෂණ කියලා චෝදනවක් කළොත් මොකද හිතෙන්නෙ?

අද අපි කතා බහ කරන්නෙ ඉස්ලාමයේ ස්වර්ණමය යුගය ගැනයි. මේ සම්බන්ධව කතා කරන්න නම් අපිට යන්න වෙනවා ලෝකයේ මුල්ම යුගයේ තිබුණු මුස්ලිම් අධිරාජ්‍යයන් පැත්තට. ඒ කියන්නෙ වර්තමානයේ ඉරාකයේ අග නුවර වුණු බැග්ඩෑඩ් පැත්තට.

අපි දන්නවා පර්සියන් අධිරාජ්‍ය සහ බයිසැන්තියම් අධිරාජ්‍යය කියන්නේ ලෝකයේ තිබුණු අධිරාජ්‍යයන් අතරින් විශාල සහ සුප්‍රසිද්ධ අධිරාජ්‍යයන් දෙකක් කියලා. මේ අධිරාජ්‍යයන් මුල් කාලයේ මුස්ලිම් නොවන අධිරාජ්‍යයන් වුණත්, පස්සෙ කාලයේ අරාබියේ ඉදන් එල්ල වුණු ආක්‍රමණත් එක්ක, මෙව්වත් මුස්ලිම් අධිරාජ්‍යයන් බවට පත් වෙනවා. එහෙම පත් වෙන්න කලින් ඒ ඒ අධිරාජ්‍යයන් ආර්ථික අංශය අතින්, සාමාජීය අංශය අතින්, විද්‍යාව සහ තාක්ෂණය අතින් ලබාගෙන හිටපු දියුණුව සහ දැනුම, රාජධානි මුස්ලිම් අධිරාජ්‍යන්ට යටත් වෙනකොට නිරායාසයෙන්ම මුස්ලිම් අධිරාජ්‍යන්ට හිමි වෙනවා.

ඊට පස්සෙ මේ රාජධානි කේන්ද්‍ර කරගෙන ආර්ථිකය අතින් වගේම විද්‍යාව, තාක්ෂණය සහ දැනුම අතිනුත් මුස්ලිම්වරු තවත් ඉදිරියට ගියා. මේ අංශ වලට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීමේදී රාජධානිය ඇතුළෙ ඉන්න මිනිස්සු එක්ක වගේම, රාජධානියේ දේශසීමා වල ගැවසෙන අනිත් රාජ්‍යන් වල ඉන්න මිනිසුන් එක්කත් මෙයාලා ගනුදෙණු කරන්න අමතක කළේ නෑ. ඒ අතරිනුත් ඉන්දියානුවන් සහ චීන මිනිසුන් ප්‍රධානයි. මේකෙ ප්‍රතිපලයක් විදිහට ලෝකයේ අන්ත දෙකක ඉන්න මිනිසුන්ගේ තියෙන දැනුම සහ තාක්ෂණයන් හුවමාරු වෙන්න ගන්නවා.

මේ විදිහට දැනුම හුවමාරු කර ගැනීම් “උමායද්” රාජ වංශය පැවතුනු කාලය පුරා තිබුණත්, “අබ්බසිඩ්” රාජ වංශය තිබුණු කාලයේ ගොඩාක් උග්‍ර විදිහට සිද්ධ වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. අබ්බසිඩ් රාජ වංශයේ ප්‍රධාන අවධි තුනක් තියෙනවා.

එයින් පළවෙනි අවධිය විදිහට කාලිෆ් අල්මන්සූර්ගේ පාලන අවධිය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 754ත් 775ත් අතර කාලයයි. “කාලිෆ්” කියන්නෙ මුස්ලිම් රාජ්‍යයක ඉන්න සිවිල් සහ ආගමික නායකයන්ව හඳුන්වන නමක්. ඒ වගේම කාලිෆ්වරු, අල්ලාහ් දෙවියන්ගේ නියෝජිතයන් විදිහට තමයි විශ්වාස කළේ. අද අපි කොයි කවුරුත් කතා කරන, අවධානය යොමු කරන, වර්තමාන ඉරාකයේ අග නුවර වන බැග්ඩෑඩ් නගරය නිර්මාණය කළේ අල්මන්සූර්ගේ පාලන අවධියෙදියි. බැග්ඩෑඩ් නගරය නිර්මාණය කරලා අල්මන්සූර් නිකං හිටියෙ නෑ. එයාලගෙ අධිරාජ්‍යයේ අලුත්ම අග නගරය විදිහට බැග්ඩෑඩ් නගරය භාවිතා කළා.

ක්‍රිස්තු වර්ෂ 786ත් 809ත් අතර කාලයේ පාලනය භාර ගත්ත “අල් රශීඩ්” කාලිෆ්වරයත්, අල් මන්සූර්ගේ මාර්ගයේ යමින් අධිරාජ්‍යය වෙනුවෙන් ගොඩක් දේවල් කළා. ඒ අතරින් විශිෂ්ඨතම ක්‍රියාව විදිහට බැග්ඩෑඩ් නගරය, “දැනුමේ කේන්ද්‍රස්ථානයක්” බවට පත් කිරීම හඳුන්වන්න පුලුවන්. “අල් රශීඩ්”, මේ කාලයේ දැන උගත් කතෝලික සහ යුදෙව් මිනිසුන්ට විශාල ගෞරවයක් හිමි කරලා දෙනවා. විශේෂයෙන්ම තමන්ගේ රාජ්‍යයේ උසස් තනතුරු ලබා දෙන්න කටයුතු කරනවා වගේම ඒ තනතුරු වලිනුත් උසස් වීම් ලබලා දෙන්නත් ක්‍රියා කරනවා. මොකද “අල් රශීඩ්” කොයිම වෙලාවකවත් හිතුවෙ නෑ විදේශීය මිනිසුන්ගේ සම්භවයන්, ආගම්, සංස්කෘතීන් සහ විශ්වාසයන් ගැන. එයා මුල් තැන දුන්නෙ විදේශිකයන්ගේ තිබුණු දැනුමට සහ බුද්ධියට විතරයි. මේ කාලයේ ගොඩාක් කතෝලික වෛද්‍යවරු එහෙම, කාලිෆ්වරුන්ගේ පෞද්ගලික වෛද්‍යවරු විදිහට මේ ප්‍රදේශ වල සේවය කරලා තියෙනවා. පළවෙනි ශුද්ධ රෝමානු අධිරාජ්‍යයා (Holy Roman Empire) වුණු ශාලමේන් (Charlemagne) සහ අල් රශීඩ් අතරේ ගොඩාක් දේවල් හුවමාරු වුණා කියලත් ඉතිහාසයේ කියවෙනවා.

ක්‍රිස්තු වර්ෂ 813ත් 833ත් අතර කාලයේ එළඹෙන්නෙ අල් රශීඩ්ගේ පුතා වුණු, “අල් මමුන්”ගේ පාලන අවධියයි. “ප්‍රඥාවන්ත නිවස” නොහොත් “House of Wisdom” සංකල්පය මේ කාලයේ වුණු විශේෂම සිදුවීමයි. ඒකෙ ප්‍රතිපලයක් විදිහට බැග්ඩෑඩ් අග නගරය කේන්ද්‍ර කරගෙන ගණිතය, තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, දර්ශනය, සාහිත්‍ය වගේ ගොඩාක් අංශ දියුණු වෙනවා. ඒ විතරක් නෙවේ ඉන්දියාවේ සංස්කෘත භාෂාව ගැන දැනුමක් තිබුණු විශාරදයින් සහ චීන, ග්‍රීක, පර්සියානු භාෂා ගැන උගත් විශාරදයින්ට ආරාධනා කරලා, ඒ ඒ භාෂාවෙන් ලියවිලා තිබුණු ගොඩාක් වටිනා පොත්පත් අරාබි භාෂාවට පරිවර්තනය කරගන්න රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඒ අතරේ ගැලන්, හිපොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ටොලමි සහ ආකිමිඩීස් වගේ ලෝ සුපතල විද්වතුන්ගේ කෘති එහෙමත් පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තන වලට උදව් කරපු අයට, වර්තමානයේ වෘත්තීය මලල ක්‍රීඩකයින්ට ගෙවනවා හා සමාන වැටුපක් ගෙවලා තියෙනවා. “අල් මමුන්”ගේ අරමුණ වුණේ මේ විදිහට ලෝකය පුරා රටවල තියෙන වටිනා දැනුම් සම්භාරය, ලෝකයේ එකම ස්ථානයකට ගෙනැවිත් තැන්පත් කිරීමයි. ඉතින් ඒ අරමුණ සඳහා තෝරා ගැනුනේ බැග්ඩෑඩ් නගරයයි.

අල් මමුන් කරපු තවත් වැඩක් තමයි, පෘතුවියේ වට ප්‍රමාණය මනින්න උත්සාහ කරපු එක. ඉතින් ලෝකයේ උතුරු සහ දකුණු දිශාවන්ට යවපු ගවේෂණ කණ්ඩායම් දෙකෙන් ලබා ගත්ත ගණනය කිරීම් එකතු කරලා, මධ්‍යනයක් අරගෙන, ඒක අංශක 360න් ගුණ කරලා, එක එක ගණිත ක්‍රම භාවිතා කරලා පෘතුවියේ වට ප්‍රමාණයේ අගය ලබා ගන්න මේ අය සමත් වුණා. ඒ අගය සහ අද භාවිතා වෙන අගය අතරේ තියෙන්නෙ බොහොම පුංචි වෙනසක් කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුලුවන්ද?

ඉතින් මේ ඇති වුණු දැනුමේ පුනරුදයත් එක්ක, බැග්ඩෑඩ් කේන්ද්‍ර කරගෙන ගොඩාක් උගතුන් සහ විද්‍යාඥයන් බිහි වෙනවා. අපි දැන් එයින් කිහිප දෙනෙක් ගැන අවධානය යොමු කරමු.

01. අල් ක්වාර්සාමි (Al Kwarizami) – පර්සියානු ගණිතඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක්. මෙයා තමයි ගණිතයේ සංඛ්‍යා න්‍යායන්, ජ්‍යාමිතිය සහ විශ්ලේෂණය සමඟ භාවිතා වෙන Algorithm සහ Algebra හොයා ගත්තෙ. ඉන්දියාවේ හින්දු ඉලක්කම්, ඉස්ලාම් අධිරාජ්‍යන් වලට හඳුන්වා දුන්නෙත් අල් ක්වාර්සාමිම තමයි. ඉස්ලාම් අධිරාජ්‍යන් හරහා මේ ඉලක්කම් ලෝකයටත් ව්‍යාප්ත වුණා. අද අපි භාවිතා කරන ඉලක්කම් නිර්මාණය වෙලා තියෙන්නෙ අල් ක්වාර්සාමි, ඉස්ලාම් අධිරාජ්‍යන්ට හදුන්වා දුන්නු ඉන්දියාවේ හින්දු ඉලක්කම් සහ අරාබි ඉලක්කම් එකට මිශ්‍රවීමේ ප්‍රතිපලයක් විදිහටයි.

02. අල් මර්වාසි – ත්‍රිකෝණමිතියේ එන Sine සහ Cosine හොයා ගත්තා

03. අල් බුස්ජානි – ත්‍රිකෝණමිතියේ එන Secant සහ Cosecant හොයා ගත්තා. Tangent සහ Cotangent සොයා ගැනීමේ ගෞරවය කාටද යන්නෙ කියලා අද ඉතිහාසඥයන් අතරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඉතිහාසඥයන් විශ්වාස කරනවා ඒ ගෞරවයේ නියම උරුමක්කාරයා වෙන්නෙ අල් බුස්ජානි හෝ අපි කලින් සඳහන් කරපු අල් මර්වාසි දෙන්නගෙන් එක්කෙනෙක් කියලා.

04. අල් හසන් – භෞතික විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්. ආලෝකය සහ ඇස අතර තියෙන සම්බන්ධය ගැන ගොඩාක් පරීක්ෂණ කරලා, ගොඩක් දත්ත සහ තොරතුරු හෙළිකරගන්න සමත් වුණු විද්‍යාඥයෙක්. ආලෝකය, සරල රේඛා ඔස්සේ ගමන් කරලා, වස්තුවක් ඇස්වලට පරාවර්තනය වෙලා ඇවිත් පෙනීම ලැබෙනවා කියලා එයා තර්ක කළා.

05. ඔමාර් කයාම් – කවියෙක්, දාර්ශනියෙක් සහ ගණිතඥයෙක්. ඒ කාලයේ මෙයාගෙ පද්‍ය සාහිත්‍ය කෘති, බටහිර ලෝකයේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. පැස්කල් ත්‍රිකෝණය ගැන සංකල්පය ලෝකයේ පළවෙනි වතාවට හොයාගෙන තියෙන්නෙත් මෙයා තමයි. ඒ, පැස්කල් ත්‍රිකෝණය නිළ වශයෙන් සොයා ගන්න, අවුරුදු 500කට විතර කලින්.

06. අල් රාසි, අල් බිරුනි, අබු මාෂි – මෙයාලා සූර්යයා කේන්ද්‍ර කර ගත්ත අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ආකෘති නිර්මාණය කරලා තියෙනවා.

07. අල් ජසාරි – දක්ෂ විද්‍යාඥයෙක් සහ නව නිපැයුම්කරුවෙක්. මෙයාගෙ නව නිපදවීම් අතරේ ඉටි පන්දම් ඔරලෝසු, විශාල වතුර ඔරලෝසු, සංගීත ඔරලෝසු, ජල රෝද, මාළිගා හැඩයේ ඔරලෝසු, ඇතෙකුගේ හැඩේ ඔරලෝසු, වතුර නළා, සංගීතය වාදනය වෙන කුඩා යන්ත්‍ර, තේ සහ වතුර තමන් ළගට ගෙනත් දෙන යන්ත්‍ර, වැසිකිළි යෑමෙන් පසුව ස්වයංක්‍රීයවම කොමෝඩයේ ටැංකියට වතුර පිරවෙන උපකරණ වගේ දේවල් බොහොම ජනප්‍රියයි. එතනින් නොනැවතුනු අල් ජසාරි, යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන උපකරණ 100ක්, නිවැරදිව භාවිතා කරන විදිහ ගැන පොතකුත් රචනා කරලා තියෙනවා.

08. අල් රහ්මන් – පර්සියානු තාරකා විද්‍යාඥයෙක්. මෙයාගෙ අතින් තාරකා පොත් ගොඩක් රචනා වුණා. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ගැන ගොඩාක් පරීක්ෂණ කරපු කෙනෙක්.

09. අල්-දින් අල්-ටුසි – Tusi Couple කියන ආකෘතිය හරහා රවුම් චලිත දෙකක එකතුවෙන් රේඛීය චලිතය ජනනය කිරීම් සම්බන්ධව පරීක්ෂණ කළා. පස්සෙ කාලයක “නිකෝලස් කොපර්නික්” (Copernicus Theory) මේ සංකල්පය, එයාගෙ තාරකා විද්‍යා කටයුතු වලට භාවිතා කරනවා වගේම නව මත ගොඩ නගන්නත් උපකාරී කරගෙන තියෙනවා.

10. අල් සහ්රාවි – සමහරක් අය මෙයාව “ශල්‍යකර්මයේ පියා” කියලත් හඳුන්වනවා. සමහරු විශ්වාස කරනවා ලෝකයේ පළවෙනි තයිරොයිඩ් චිකිත්සාව කළෙත් මෙයා කියලා. ඒ විතරක් නෙවේ, පියයුරු පිළිකා වගේ රෝග වලටත් මෙයා ප්‍රතිකාර කරලා තියෙනවා.

මේ විදිහට ගොඩක් විද්‍යාඥයො සහ පරීක්ෂකයො හොයා ගන්න අලුත් ක්‍රම සහ සංකල්ප වැඩි දියුණු කරලා ගොඩක් මුස්ලිම් ඉංජිනේරුවරු බැග්ඩෑඩ් කේන්ද්‍ර කරගෙන දියුණු නාගරික පද්ධතියක් හැදුවා. ඒ පද්ධතීන් වලට හයිඩ්රොලික් ක්‍රමවේද, කෘෂිකාර්මික විද්‍යාවන්, වේලි, ජල රෝද, භූගත ඇළ මාර්ග වගේ දේවල් එකතු කරලා තියෙනවා.

මේ කාල පරාසයේ වෛද්‍ය සහ රෝහල් පද්ධතිය ගත්තොත්, ඒක වෙනමම මාතෘකාවක්. සාමාන්‍ය රෝහල්, පද්ධතිමය රෝග, සැත්කම් සහ විකලාංග කියලා කොටස් වලට බෙදලා තිබිලා තියෙනවා. හැම දෙපාර්තමේන්තුවක්ම භාරව නිලධාරිවරයෙක් ඉදලා තියෙනවා. රෝහල්වල දේශන ශාලා සහ පුස්තකාල තිබිලා තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයට සනීපාරක්ෂක පරීක්ෂකවරුන්, පිරිසිදුකම නියාමනය කළ ගණකාධිකාරිවරුන් සහ වෙනත් පරිපාලන කාර්ය මණ්ඩලයන් ඇතුළත් වෙනවා. 10 වන සියවස වෙන කොට රෝහල් වල සේවය පැය 24 පුරාම විවෘතව තබලා තියෙනවා. හැම නගරයකම කුඩා කුඩා ප්‍රථමාධාර මධ්‍යස්ථාන පිහිටුවලා තියෙනවා. බැග්ඩෑඩ් වල සිරකරුවන් වෙනුවෙන් වෙනම රෝහලක් තිබිලා තියෙනවා. මේ සිරකරුවන්ව හැමදාම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කරලා තියෙනවා. මානසික රෝහල් වල ආලෝකය, නැවුම් වාතය, ජලය සහ සංගීතය වගේ දේවල් ඔස්සේ ප්‍රතිකාර කිරීම් කරලා තියෙනවා.

වෛද්‍යවරුන්ට බලපත්‍ර ලබා දෙනකොට, වෛද්‍යවරයාට ඩිප්ලොමාවක් තිබුණාද කියලත් බලලා තියෙනවා. මේ කාලයේ වෛද්‍යවරුන් නියමිත වේලාවට වැඩ කරලා තියෙනවා. රෝගියෙක් මැරුණොත්, වෙනමම මරණ පරීක්ෂණ කරලා තියෙනවා, ඒක වෛද්‍යවරයාගේ අතින් සිදු වුණු මරණයක්ද කියලා තහවුරු කරගන්න. රෝහල්වල පිරිමි සහ කාන්තා නිල නිවාස තිබිලා තියෙනවා. කාන්තාවන්ටත් වෛද්‍යවරු වෙන්න අවස්ථාව තිබිලා තියෙනවා. ඒ අයගෙනුත් ගොඩක් අය ප්‍රසව වෛද්‍ය විද්‍යාවට කැමැත්තක් දක්වලා තියෙනවා.

මුදල් ගෙවන්න අපහසු රෝගීන්ටත් ප්‍රතිකාර කිරීම රෝහල් වල වගකීමක් කියලා නීතියක් සම්පාදනය වෙලා තියෙනවා. රෝහල්වලට පුණ්‍යාධාර පදනම් පිහිටුවලා, රාජ්‍ය අය වැයෙන් කොටසක් රෝහල් නඩත්තු කරන්න වෙන් කරලා තියෙනවා. 9 වන සියවසේදී විතර ගොඩක් මුස්ලිම් නගරවල පෞද්ගලික ඔසුසැල් වේගයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවායේ සිසුන්ට පන්ති කාමර අභ්‍යාස සහ ප්‍රායෝගික අත්දැකීම් එක්ක පුහුණුව ලබා දීලා තියෙනවා. ඒවායේ ඖෂධත් කාලෙන් කාලෙට පරික්ෂා වෙලා තියෙනවා.

ඊටත් අමතරව මේ කාල පරාසයේදී කලාව සහ සංස්කෘතිය සීඝ්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. කලාව කිව්වම චිත්‍ර, ගෘහ නිර්මාණ ශිල්පය, පද්‍ය සාහිත්‍ය, සංගීතය, චිත්‍ර මෝස්තර වගේ ගොඩාක් අංශ ඇතුළත් වෙනවා.

මේ විදිහට 8 වෙනි සියවසේ ඉදලා 13 වෙනි සියවස වෙනකන්ම මුස්ලිම් අධිරාජ්‍යන්වල ස්වර්ණමය යුගයක් තිබුණා. මේ කාල පරාසය (මධ්‍යතන යුගයේ මුල් අවධියේ) අධ්‍යනය කරපු ගොඩක් ඉතිහාසඥයන්ගේ මතය වුණේ “ලෝකයට අලුත් දේවල් හඳුන්වලා දීලා, ලෝකයේ දැනුම සහ බුද්ධිය ව්‍යාප්ත කරන්න මුස්ලිම් අයට තිබුණු උනන්දුව, ලෝකයේ අනිත් රටවල මිනිසුන්ට තිබුණෙ නෑ” කියන අදහසයි. ඒ වගේම 9 වෙනි සහ 12 වෙනි සියවස් අතර කාලයේදී දර්ශනය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය, ආගම දහම, තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව වගේ මාතෘකා ගැන ලෝකයේ වැඩියෙන්ම පොතපත රචනා වෙලා තියෙන්නෙ අරාබි භාෂාවෙන්.

මේ විදිහට ශත වර්ෂ ගණනාවක් තිස්සෙ පැවතුනු ඉස්ලාමයේ ස්වර්ණමය යුගය, 13 වෙනි සියවසේ මැද භාගයේදී බිඳ වැටෙනවා. මේ බිඳ වැටීමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නෙ මොංගෝලියානු ආක්‍රමණයි. මොකද මොංගෝලියානුවන් මුස්ලිම් නෞකා වල වෙළද මාර්ග අවහිර කරගෙන හිටපු නිසා, මුස්ලිම් අධිරාජ්‍යන් වල ආර්ථිකය පිරිහිලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර චීනය සහ බටහිරිනුත් මොංගෝලියානුවන්ගේ ගොඩ බිම් ආක්‍රමණ එල්ල වෙනවා.

ඒ වගේම මුස්ලිම් අධිරාජ්‍යන් වල ස්වර්ණතමය යුගයේදී හිටපු හැම කෙනෙක්ම ආගම සහ විද්‍යාවට සම සේ අවධානය යොමු කළත්, පස්සෙ කාලය වෙන කොට ගොඩක් අය විද්‍යාවට අවධානය යොමු කරන එක නතර කරපු එකත් මේ පරිහාණියට එක්තරා හේතුවක් විදිහට අද ඉතිහාසඥයන් මත පල කරනවා.

මේ කාරණාව ගැන ගොඩක් ගැඹුරටම අධ්‍යනය කරපු කෙනෙක් විදිහට ලෝක ප්‍රකට තාරකා භෞතික විද්‍යාඥයෙක් වෙන ආචාර්ය නීල් ටයිසන්ව හඳුන්වන්න පුලුවන්. ආචාර්ය නීල් ප්‍රකාශ කරන විදිහට ඉස්ලාමයේ ස්වර්ණමය යුගය පරිහාණියට පත් වෙන්න හේතු වුණු මිනිසුන් විද්‍යාවෙන් ඈත් වීම කියන සාධකයේ ප්‍රධානතම චූදිතයා වෙන්නෙ “අල් ගසාලි” කියන ඉස්ලාමීය පූජකවරයයි. මේ පූජකවරයා “හොඳ මුස්ලිම්වරයෙක් වෙන්නෙ කොහොමද? හරියට කුරානය කියවන්නෙ කොහොමද? කුරානයේ තියෙන දේවල් පිළිපදින්නෙ කොහොමද?” වගේ ඉස්ලාම් ධර්මය අදහන අයගේ ජීවිතය ගොඩ නගා ගන්න විශාල විදිහේ අවවාද, අනුශාසනා සහ දේශන වල නිරත වුණු කෙනෙක්. මේ නිසා මෙයා වටේ විශාල පිරිසක් එකතු වෙන්න ගත්තා. “අල් ගසාලි”ගේ දේශන වලින් මුලදි සමාජය විතරක් ඉලක්ක වුණත්, කාලයත් එක්ක රටේ දේශපාලනික අංශයත් ඈදා ගැනුනා.

“සංඛ්‍යා හැසිරවීම යක්ෂයාගේ කාර්යයක්” කියන ප්‍රකාශය, මෙයාගෙ ප්‍රකාශයක්. අපි දන්නවා ඕනෑම විද්‍යාඥයෙක්ට, නිර්මාණකරුවෙක්ට, ගණිතඥයෙක්ට සංඛ්‍යා, එහෙමත් නැත්නම් ඉලක්කම් අවශ්‍යයි. ගණිතයක් නෑ කියන්නෙ, විද්‍යාඥයන්ට අලුත් දෙයක් ගැන හිතන්න සහ අලුත් සොයා ගැනීමක් කරන්න කොහෙත්ම ඉඩකඩක් නෑ. ඉතින් ඉස්ලාමයේ ස්වර්ණමය යුගය විනාශ වෙන්න මේ ප්‍රකාශයත් විශාල බලපෑමක් වුණා. මොකද මිනිස්සු සංඛ්‍යා එහාට මෙහාට දාලා හසුරවන්න පෙළඹෙන එක ටික ටික අඩු වුණා. ඒ නිසා අලුත් සොයා ගැනීම් සහ නිර්මාණ බිහිවෙන එකත් ක්‍රමයෙන් අඩු වෙලා ගියා. මේ ප්‍රකාශයේ බරපතලකම නිසා ඇති වුණු ඒ අයහපත් බලපෑම අදටත් දකින්න පුලුවන්. ආචාර්ය නීල් ඒ බලපෑම 2013 වර්ෂයේදී, නොබෙල් ත්‍යාගයන් උදාහරණයට අරගෙන පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

” අද වෙන කොට ලෝකයේ මුස්ලිම් ජනගහණය බිලියන 1.3ක් වෙනවා. මේ වෙනකොට නොබෙල් තෑගි 609ක් දීලා තියෙනවා. බිලියන 1.3ක් වෙන ඒ මුස්ලිම් ජනගහණයෙන්, තවමත් නොබෙල් සම්මාන වලට හිමිකම් කියලා තියෙන්නෙ මුස්ලිම් ජාතිකයන් 3 දෙනෙක් විතරයි. මට නිතරම කල්පනා වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, ‘සොයා ගැනීමට හැකියාව තිබුණු විශ්වයේ පවතින තවත් කොයිතරම් අභිරහස් ප්‍රමාණයක්, මේ බිලියන 1.3ක් වුණු මුස්ලිම් ප්‍රජාවට, එයාලගේ මුතුන් මිත්තන්ගේ කාලයේ වුණු මේ වගේ වැළැක්වීම් නිසා සොයා ගන්න බැරි වෙන්න ඇද්ද?’ කියන ප්‍රශ්නය. ”


මූලාශ්‍ර :
* Wikipedia : Islamic Golden Age
* Khan Academy : Golden age of Islam | World History
* CrashCourse : The Medieval Islamicate World: Crash Course History of Science #7
* Sharafat Hussain : Renown Astrophysicist Dr. Neil Degrasse Tyson explains what went wrong with Islam


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.funci.org
* ඡායාරූපය 01 : www.foreignpolicy.com
* ඡායාරූපය 02 : Bernardo Blanco
* ඡායාරූපය 03 : අල්මන්සූර් : www.thoughtco.com
* ඡායාරූපය 04 : අල් රශීඩ් : www.ibdphistory.wordpress.com
* ඡායාරූපය 05 : අල් මමුන් : www.webislam.com
* ඡායාරූපය 06 : House of Wisdom : www.muslimheritage.com
* ඡායාරූපය 07 : www.pinimg.com
* ඡායාරූපය 08 : www.sciencephoto.com
* ඡායාරූපය 09 : www.annoyzview.wordpress.com
* ඡායාරූපය 10 : www.themuslimvibe.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.