සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද? මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්…?

අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි.

වර්ෂයේ දින 365 පුරාම ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති එමටය. දවසේ පැය 24 පුරාම පිටසක්වළ ජීවීන් පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට හෝ ඔවුන් සමග සන්නිවේදනයේ යෙදීමට අහස දෙසට යොමු වී ඇති අති ප්‍රබල දුරේක්ෂ හා වෙනත් නවීන සන්නිවේදන උපකරණ ප්‍රමාණය නොගැණිය හැකි තරම් ය. එහෙත් මේ වන තෙක් පිටසක්වළ ජීවීන් සිටින බව හෝ ඔවුන් පෘථිවියේ සැරිසරමින් එය අධ්‍යයනය කරන බව හෝ සනාථ කරන විද්‍යාත්මක තොරතුරක් ලබා ගත හැකි වී නැත. නමුත් එසේ වූ පමණින් මෙය මිථ්‍යාවකැයි සලකා සම්පූර්ණයෙන්ම බැහැර කිරීමද කළ නොහැක්කකි. විද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට අපොහොසත් වුවද පහසුවෙන් ඉවත දැමිය නොහැකි ප්‍රබල සාධක බොහෝ ය.

විශ්වය යනු අපට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයේ අතිවිශාල වූත්, විශ්මයජනක වූත් ස්ථානයකි. විශ්වය විසින් සඟවා ගෙන සිටින අබිරහස් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. මිනිසා විසින් විශ්වය පිළිබඳව සොයා ගෙන ඇති ප්‍රමාණය, තවමත් ගවේෂණය නොකළ ප්‍රමාණය හා සසඳන විට මහා සාගරයකින් ගත් දිය බිඳුවක් වැනිය. එබැවින් මිනිසා සතුව ඇති අල්පමාත්‍ර වූ තාක්ෂණය පිළිබඳව අධිතක්සේරුවක් තබා ගෙන මිනිසා හැර වෙනත් කිසිදු ජීවියෙක් විශ්වය තුළ බිහි විය නොහැකි යයිද, විශ්වයේ සිටින බුද්ධිමත්ම ජීවී කොට්ඨාශය මිනිසා යයිද සැලකීම හාස්‍යයට කරුණකි. කිසිවිටෙකත් මුළුමහත් විශ්වය සුළු කොට තැකිය යුතු නැත.

අප ජීවත් වන පෘථිවිය යනු ප්‍රධාන ග්‍රහලෝක 8 කින්, වාමන ග්‍රහලෝක 4 කින් හා චන්ද්‍රයන්, ග්‍රහක ආදී ආකාශ වස්තු මිලියන ගණනකින් සමන්විත, එක් තරුවක් මධ්‍යගතව පිහිටා ඇති සෞරග්‍රහමණ්ඩලයක 3 වන ග්‍රහලෝකය යි. දැනට කර ඇති සොයා ගැනීම් අනුව සෞරග්‍රහමණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලොව වන්නේ ද පෘථිවිය යි.

මීට පෙර අඟහරු ග්‍රහයා මත ද ජීවය ඇතැයි විශ්වාස කෙරුණද, තවමත් ඒ පිළිබඳව පිළි ගත හැකි සාක්ෂි ලැබී නොමැත. මේ වනවිටද ඇමෙරිකාව පෙරටු කොට ගත් රුසියාව, චීනය ආදී රටවල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් අඟහරුගේ ජීවය පිළිබඳව පර්යේෂණ කරමින් පවතී. අඟහරු වටා කක්ෂගතව ඇති නිරීක්ෂණ යානා හා අඟහරු මතට ගොඩ බැස දත්ත එකතු කරමින් සිටින අධි තාක්ෂණික රෝවර් යානා සංඛ්‍යාව ගණනින් පනහද ඉක්මවයි.

අඟහරු මත අතීතයේ ජල මාර්ග හා මුහුදු තිබුණු බව ද, තවමත් ඒවායේ නෂ්ටාවශේෂ හා මිදුණු ජලය එහි ඇති බව ද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇති නිසා සමහරවිට අතීතයේදී අඟහරු මත යම් ජීවයක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කළද, වර්තමානයේ ජීවයක් පවතී යැයි පිළිගැනීමට තරම් විද්‍යාත්මක සාක්ෂි තවමත් හමු වී නැත. ඊට අමතරව බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනෙකු වන යුරෝපා හා ගැනිමීඩ් තුළ ද, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් තුළද ජීවය ඇතැයි මත පැවතියද ඒවා තවමත් පර්යේෂණයන්ට ලක් කර නැත. මේ අනුව සලකා බලන විට අප සෞරග්‍රහමණ්ඩලය තුළ ජීවය ඇති එකම ග්‍රහලෝකය ලෙස දැනට සැලකෙන්නේ පෘථිවිය යි.

යම් ග්‍රහලෝකයක් තුළ ජීවයක් බිහි වීමට නම් එහි ජීවයට හිතකර පරිසරයක් සහ වෙනත් මූලික අවශ්‍යතා තිබිය යුතුය. පෘථිවිය තුළදී නම්, පෘථිවි ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් (නයිට්‍රජන් ශ්වසනය කරන හා කිසිදු වායුවක් ශ්වසනය නොකරන ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති.), ආහාර, අභ්‍යවකාශයෙන් එල්ල වන අනතුරු මැඩීමට සමත් වායුගෝලයක් ආදී සාධක තිබීම නිසා ජීවයක් ඇති විය. මේ පෘථිවි ජීවීන් යැපෙන්නේ තමන් නිර්මාණය වූ හා පරිණාමනයට ලක් වූ පරිසරයේ ඇති ද්‍රව්‍යයන් හා ගුණයන් උපකාරී කර ගනිමිනි. ඊට වෙනස් ගුණ දරන පරිසරයක පෘථිවි ජීවීන්ට ජීවත් විය නොහැක.

මෙලෙසම අනෙකුත් ලෝකයන් ගැනද සිතුවහොත් ඒ ඒ ලෝක වලට අදාළ විවිධාකාර පරිසර සාධක වලට අනුකූලව විවිධාකාර ජීවීන් බිහි විය නොහැකිද? මිනිසාගේ හා බොහොමයක් සතුන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාව ඔක්සිජන් වූ පළියට වෙනත් ලෝක වල ජීවීන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාවද ඔක්සිජන්ම විය යුතුද? වෙනත් වායුවක් උපකාරයෙන් හෝ වායුවක් නැතිවම වුවද වෙනස් ජීව විශේෂයක් බිහි වී පරිණාමනය විය නොහැකි ද? පෙරද සඳහන් කළ පරිදි සිතා ගැනීමටවත් අපහසු තරම් අතිදැවැන්ත වූ විශ්වය තුළ පෘථිවිය මෙන් ජීවයෙන් පරිපූර්ණ වූ තවත් බොහෝ ලෝකයන් තිබිය හැකිය.

ඒවායේ ඔක්සිජන් හා ජලයෙන් යැපෙන මානවරූපීන් මෙන්ම වෙනස්ම වූ, අනුමාන කිරීමටවත් නොහැකි ද්‍රව්‍යයන් තම ජීව මාධ්‍යය කර ගත්, අමුතුම හැසිරීම් රටාවන්ගෙන් හා හැකියාවන්ගෙන් යුතු මිලියන ගණනක් ජීව විශේෂ පැවතිය හැකිය. බොහෝවිට විද්‍යා ප්‍රබන්ධයන්හි මෙවැනි ජීවීන් දක්නට ලැබේ. උදාහරණ ගතහොත්, ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ Transformers චිත්‍රපට මාලාවේ පිටසක්වළ ජීවීන් නිර්මාණය වී ඇත්තේ ලෝහ වලිනි. ලෝක පූජිත X-Files කතා මාලාවේ එක් කතාංගයක අඟහරු ලෝකයේ වෙසෙන, සිරුරු රහිත (මනස පමණක් ඇති) ජීව කොට්ඨාශයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි. ආතර් සී. ක්ලාක් මහතාණන්ගේ 2001, 2010, 2061 හා 3001 සිව් ඈඳුතු නවකතාවේද සිටින්නේ එවැනිම සිරුරු රහිත ජීව විශේෂයකි.

විවිධ ග්‍රහලෝක වල විවිධ ජීවීන් සම්භවය වීම ගුරුත්වාකර්ෂණය අනුවද පැහැදිලි කළ හැක. ගුරුත්වාකර්ෂණය ඉතා ඉහළ වූ ග්‍රහලෝකයන්හි ජීවයක් ඇති වන්නේ නම් බොහෝවිට එම ජීවීන් සියල්ලම පාහේ ජලජ ජීවීන් විය හැකිය. ගුරුත්වාකර්ෂණය වැඩි වන විට ජීවියා දරා ගත යුතු තම ශරීර බර ප්‍රමාණයද වැඩි වේ. (ස්කන්ධය නියත වුවද බර රඳා පවතින්නේ ගුරුත්ව බලය මත ය.) එහෙත් ජලය හෝ යම් තරලයක් තුළදී තරලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය නිසා දරා ගත යුතු බර ප්‍රමාණය අඩු වේ. එනිසා එම ලෝකයේ ජීවීන් ගොඩබිමට නොපැමිණ ජලය හෝ අදාළ ලෝකයේ ඇති තරලයක් තම වාසස්ථානය ලෙස තෝරා ගනු ඇත. එම ජීවීන්ද, ශාකද උසින් ඉතා අඩු, පෘෂ්ඨෝදරීය පැතලි ස්වරූපයකින් යුතු වනු ඇත. අනෙක් අතට ගුරුත්වය ඉතා අඩු ග්‍රහලොවක උපදින ජීවීන් බහුතරයක් අහසේ පියාසර කරන්නන් වනු ඇත. එමෙන්ම සෑම ජීවියෙකුම දිගු ගාත්‍රා හා ග්‍රීවයන් සහිත උසින් වැඩි සත්ත්වයන් බවට පරිණාමනය වනු ඇත.

මේ සියල්ලම සමග අප වටහා ගත යුතු එක් කරුණක් තිබේ. විශ්වයේ තිබෙන එකම ජීවී ග්‍රහලෝකය පෘථිවිය යැයිද, විශ්වයේ බුද්ධිමත්ම ජීවියා මිනිසා යැයිද සිතීමට තරම් අප ඉක්මන් විය යුතු නැත.

පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්‍ෂේත්‍රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ නිරීක්ෂණය, යම් ග්‍රහලොවක ජීවයක් හට ගත හැකි ආකාර පිළිබඳව කෙරෙන පරීක්ෂණ, පිටසක්වළ බුද්ධිමතුන් සමග සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් යුතු ව්‍යාපෘතීන් ආදියෙන් සමන්විත වේ.

මීට පෙර මෙම බ්ලොග් අඩවියේ පළවූ ලිපි වලින් බහුතරය අයත් වන්නේ ඉහත සරල කොටසට ය. එබැවින් මෙම ලිපියෙන් තරමක් දුරට සංකීර්ණ මාතෘකාවකට එළැඹෙනු ලැබේ.

පෘථිවියේ ජීවය ඇති වූයේ කෙලෙසද? මෙය තවමත් විවාදයට බඳුන් වෙමින් ඇති මාතෘකාවකි. චාල්ස් ඩාවින් (1809-1882) විසින් 1858 දී ඉදිරිපත් කළ පරිණාමවාදයට අනුකූලව පෘථිවියේ ජීවය පරිණාමනය වන බව විද්‍යාත්මකව ඔප්පු කළ හා ලොව පුරා පිළිගත් සත්‍යයක් වුවද, මෙහිදී පෘථිවිය තුළ හටගත් මුල්ම ජීවී සෛලය නිර්මාණය වූ ආකාරය පිළිබඳව විවිධාකාර මත පවතී.

පෘථිවියට ජීවය ලැබුණේ ඈත අභ්‍යවකාශයේ සිට පැමිණි උල්කාවකින් හෝ ග්‍රහකයකින් ය යන්න මේ අතරින් වඩාත් ප්‍රබල මතයකි. උල්කා සහ ග්‍රහක යනු විශ්වය පුරා ඒ මේ අත ගමන් කරන පාෂාණමය ආකාශ වස්තු විශේෂයකි. විෂ්කම්භය මීටරයකට වඩා අඩු පාෂාණ උල්කා (meteoroids) නම් වන අතර විෂ්කම්භය ඊට වැඩි පාෂාණ ග්‍රහක (asteroids) නම් වේ. මේවායින් අති බහුතරය ග්‍රහලෝක වලින් හෝ වායුමය නොවන තාරකාවන්ගෙන් කැඩී ගිය කොටස් ය. අක්‍රමවත් ගමන් රටාවක් දක්වන මේවා බොහෝවිට වෙනත් ග්‍රහලෝකයන්හි ස්ථාවර කක්ෂයන් හරහා ගමන් ගන්නා අතර එකිනෙක හමු වන අවස්ථාවන්හිදී ග්‍රහලෝක මතට කඩා වැටෙයි.

පෘථිවිය වැනි වායුගෝලයක් සහිත ග්‍රහලෝක වලට කඩා වැටෙන උල්කාවන් ඉහළ වායුගෝලයේදී දැවී විනාශ වී යයි. අප “උල්කාපාත වර්ෂාව” ලෙසින් හඳුන්වන සංසිද්ධිය ඇති වන්නේ මේ හේතුවෙනි. එහෙත් මෙවැනි උල්කාපාතයන්ගෙන් සුළුතරයක් ඒවායේ විශාලත්වය හේතුවෙන් අඩක් දැවී ග්‍රහලොව මතට කඩා වැටෙන අතර ඒවා “උල්කාෂ්ම (meteorites)” නමින් හඳුන්වයි. එමෙන්ම උල්කාවකට වඩා විශාල ග්‍රහක බොහෝවිට වායුගෝලය තරණය කොට පෘථිවි පෘෂ්ඨයට කඩා වැටෙන අතර විශාල ආපදා තත්ත්වයන්ද ඇති කරයි.

2000 වසරේ ශීත ඍතුවේදී කැනඩාවේ ටගිෂ් විලට කඩා වැටුණු උල්කාෂ්මයක් පරීක්ෂාවට ලක් කළ විද්‍යාඥයෝ පිරිසක් එහි තිබී කුහර සහිත, ගෝලාකාර කාබනික අණු විශේෂයක් සොයා ගත්හ. ඩියුටීරියම් සහ නයිට්‍රජන්-15 සමස්ථානික වලින් සමන්විත වුණු මෙම අණු පෘථිවියේ දක්නට ලැබෙන කාබනික අණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, ඒවා නිර්මාණය වී ඇත්තේ කෙල්වින් 10-20 වැනි පරාසයක තිබූ අධික ශීත පරිසරයකදී බවත් සොයා ගැනිණ. සෙල්සියස් අංශක 0, කෙල්වින් 273ට සමාන වේ. එනම් කෙල්වින් 20 යනු සෙල්සියස් අංශක -253කි. මෙතරම් අධික ශීතලක් පෘථිවියේ කිසිදු ස්ථානයක නොමැත. එවන් ශීතලක් පැවතිය හැක්කේ නිහාරිකා ආශ්‍රිත ශීත වායු වලාවන් තුළය. (නව තාරකාවන් බිහි වන්නේ මෙම වායු වලාවන් මගිනි.) පෘථිවියට ආසන්නතම නිහාරිකාව වනුයේ හේලීක්ස් ග්‍රහ නිහාරිකාවයි. මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටා තිබේ.

|ආලෝක වර්ෂයක් යනු යම් ආලෝක කදම්බයක් සම්පූර්ණ වසරක් තිස්සේ ගමන් ගන්නා දුර වේ. ආලෝකය තත්පරයකදී ආසන්නව කිලෝමීටර ලක්ෂ 3ක (නිරවද්‍ය අගය 299,792.5 km වේ.) දුරක් ගමන් කරයි. එවිට ආලෝකය වසරක් තුළදී ගමන් කරන දුර = 300,000 x 60 x 60 x 24 x 365 = 9,460,800,000,000 km (කිලෝමීටර ට්‍රිලියන 9.46) එනම් පෘථිවියට ආසන්නතම නිහාරිකාවට ඇති දුර = 9,460,800,000,000 x 400 km කි.|

ඒ අනුව මෙම කාබනික අණු නිෂ්පාදනය වූයේ එවැනි නිහාරිකාවක් තුළදී නම්, මේවා කිසිදු හානියකට බඳුන් නොවී, නිරූපද්‍රිතව, සිතා ගැනීමටවත් නොහැකි තරමේ අතිවිශාල දුරක් අභ්‍යවකාශය හරහා පැමිණ ඇති බව ගම්‍ය වේ. පෘථිවිය තුළ ජීවය ඇති වූයේද මේ ආකාරයට විය නොහැකිද? විශ්වයේ වෙනත් ස්ථානයක සම්භවය වූ ප්‍රාථමික ජීව බීජාණු උල්කාවක්, වල්ගා තරුවක් හෝ ග්‍රහකයක් ආධාරයෙන් පෘථිවියට පැමිණියා වන්නට නොහැකිද?

මෙලෙසින් ජීවයේ අමුද්‍රව්‍ය බඳු වූ කාබනික අණු විශ්වය පුරා සංසරණය වන්නේ නම්, ඒවා පෘථිවියට මෙන්ම තවත් ග්‍රහලෝක ට්‍රිලියන ගණනකට පැතිරෙන්නට ඇත. ඉන් අවම වශයෙන් ග්‍රහලෝක බිලියන ගණනකවත් ජීවයක් ඇති වන්නට ඇත. මිලියන ගණනකවත් දියුණු ශිෂ්ටාචාරයන් ඇති වන්නට ඇත.

“තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?”

“ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා.”

“ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??”

ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්… අද අප රාත්‍රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්‍රශ්නය ඇසුවහොත්, අද අප රාත්‍රී අහස ගැන නොදන්නේ මොනවාද?

සැබැවින්ම විශ්වය යනු සාපේක්ෂව සිතීමට පුරුදු වුණු සාමාන්‍ය මිනිසෙකුගේ පමණක් නොව වර්තමාන විද්‍යාඥයෙකුගේද දැනුම් පරාසය ඉක්මවා යන්නකි. විශ්වයේ ආරම්භය කොතැනද, අවසානය කොතැනද, සීමාවන් මොනවාද සහ විශ්වයේ ඇති එකම ජීවී ග්‍රහලෝකය පෘථිවියද යන ප්‍රශ්නවලට මිනිසා සතුව නිශ්චිත පිළිතුරු නැත. එහෙත් විවිධාකාර ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස සාධනීය කල්පිත හා මතවාදයන් ගොඩ නැගීමට මිනිසා හට හැකි වී තිබේ.

වර්ෂ බිලියන 13.8 ක් පමණ වයසැති, පිකෝ මීටර ප්‍රමාණයේ අණ්වීක්ෂීය දුහුවිලි අංශු වල සිට ආලෝක වර්ෂ මිලියන ගණනක අරයන් ඇති මහා මන්දාකිණි ප්‍රාකාරයන් (Great Walls of Galaxies) දක්වා අතිශය පුළුල් පරාසයක පැතිරුණු ආකාශ වස්තූන්ගෙන් සමන්විත විශ්වයේ සැබෑ විශාලත්වය තවමත් කිසිවෙකුත් නොදනී. පෘථිවියේ සිට නිරීක්ෂණය කළ හැකි ප්‍රදේශයේ (මෙය Observable Universe ලෙස හැඳින්වේ.) ගණනය කරන ලද අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46 ක් වන අතර මෙම හඳුනා ගත් ප්‍රදේශය තුළ තාරකා සෙක්ස්ටිලියන 300ක් පමණද, මන්දාකිණි බිලියන 100ක් පමණද ඇති බවට අනුමාන කෙරේ! එහෙත් විශ්මයජනක කරුණ එය නොවේ.

මෙලෙස අසීමිත ආකාශ වස්තූන් ප්‍රමාණයකින් සමන්විත වුවත්, විශ්වයේ සාමාන්‍ය ඝනත්වය 9.92 × 10⁻³⁹ kgmˉ³ ක් වැනි අතිශය සුළු අගයක් ගනී. එනම් මෙම අසීමිත ආකාශ වස්තූන් ප්‍රමාණය විශ්වය තුළ පිහිටා ඇත්තේ එකිනෙකින් නොගිණිය හැකි තරම් දුරිනි. ඒවා අතර ඇත්තේ අඳුරු, හිස් අවකාශයක් පමණි. (අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තීන් පිළිබඳ ලිපි ඉදිරියේදී) මේ සියළු ගණනය කිරීම් අදාළ වනුයේ විශ්වයේ මිනිසා විසින් නිරීක්ෂිත ප්‍රදේශයට පමණක් වන බවද අවධාරණය කර ගත යුතුය.

විශ්වය යනු භෞතික වශයෙන් පවතින සියළු දෑ හි එකතුව බවත්, විශ්වයෙන් ඔබ්බෙහි කිසිවක් පැවතිය නොහැකි බවත් පොදුවේ විශ්වාස කෙරුණද, සමහර විද්‍යාඥයෝ එම මතය ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට බහු විශ්ව කල්පිතය (multiverse hypotheses) ඉදිරිපත් කරන මොවුන්ගේ අදහස අනුව ‘විශ්වය’ යනු එවැනිම ‘විශ්වයන්’ සමූහයක එක් සාමාජිකයෙක් වන අතර මෙම සමූහයේ පවතින විශ්වයන් සංඛ්‍යාව කිහිපයක සිට අනන්ත සංඛ්‍යාවක් දක්වා විය හැකිය. තවත් ආකර්ෂණීය මතවාදයක් වන සමාන්තර විශ්ව සංකල්පය පෝෂණය කිරීමටද උක්ත කල්පිතය ඉවහල් විය.

අමතර කරුණු :
* ආලෝක වර්ෂයක් යනු යම් ආලෝක කදම්බයක් සම්පූර්ණ වසරක් තිස්සේ ගමන් ගන්නා දුර වේ. ආලෝකය තත්පරයකදී ආසන්නව කිලෝමීටර ලක්ෂ 3ක (නිරවද්‍ය අගය- 299,792.5 km) දුරක් ගමන් කරයි. එවිට ආලෝකය වසරක් තුළදී ගමන් කරන දුර = 300,000 x 60 x 60 x 24 x 365 = 9,460,800,000,000 km (කිලෝමීටර ට්‍රිලියන 9.46)
* සෙක්ස්ටිලියනය = 1 x 10²¹
* පිකෝමීටර 1 = මීටර 1 x 10ˉ¹²

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.