අරාබි වසන්තය යනු කුමක්ද​?

පසුගිය දිනවල අරාබි වසන්තය ගැන ලංකාවේ කිසියම් කතාබහක් ඇතිවුණා ඔබට මතක ඇති. ඊට හේතු වූයේ 2022 මාර්තු 31 වනදා ජනාධිපතිවරයාගේ නිවස අසළ පැවති උද්ඝෝෂණ පිළිබඳ පැහැදිලි කරමින් රජය විසින් නිකුත් කළ නිවේදනයෙහි උද්ඝෝෂකයන්ට අවශ්‍ය වූයේ අරාබි වසන්තයක් නිර්මාණය කිරීම බව පැවසීමයි. කෙසේ වෙතත් එම ප්‍රකාශයට වැඩි වලංගුභාවයක් හිමි වූයේ නැහැ.

අරාබි වසන්තය යනු බටහිර රටවල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කරමින් එය අවතක්සේරු කරන ස්ථාවරයක් ඇතැම් විචාරකයන් වෙතින් දකින්නට ලැබෙනවා. සත්‍ය වශයෙන්ම අරාබි වසන්තය තුළින් මතුවූ අස්ථාවරභාවයන් හේතුකොටගෙන ඇතැම් බටහිර රටවලට සිය න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කිරීමේ අවකාශයන් ලැබුණු බව නොරහසක්. කෙසේ වෙතත් මෙසේ තම න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කළේ බටහිර රටවල් පමණක් නොවේ.

ආරම්භය​
අරාබි වසන්තය නමින් නම් කෙරුණු ක්‍රියාවලියේ ආරම්භය සනිටුහන් වූයේ 2010 දෙසැම්බර් 17 වනදා සිඩි බෞසිඩ් නම් කුඩා ටියුනීසියානු නගරයේදී මොහොමඩ් බෞඅසීසි නම් තරුණයකු සිරුරට ගිනි තබාගැනීමත් සමගයි. ටියුනීසියාව පාලනය කරන ලද්දේ සිනේ එල් අබ්දීන් බෙල් අලී නම් ජනාධිපතිවරයා විසින්. ඔහු 1987 සිට එරට පාලනය කළා. ඔහුගේ අන්ත දූෂිත​, ඒකාධිපති පාලනයට එරෙහිව රටේ විරෝධතා ගොඩනැගෙමින් පැවතුණේ වසර කිහිපයක සිටයි.

බෞඅසීසි ජීවිකාව සොයාගැනීම සඳහා පලතුරු වෙළඳාමෙහි නිරත වුණා. ඔහු සිරුරට ගිනි තබාගන්නා ලද්දේ ඔහුගේ පලතුරු කරත්තය පොලිසිය භාරයට ගැනීමෙන් ඔහුට ජීවිකාවක් කරගැනීමට නොහැකි වීම හේතුවෙන්. මේ සිද්ධියෙන් පසු ඔහු රෝහල්ගත කෙරුණු අතර ඊළඟ දිනය වනවිට සිඩි බෞසිඩ් හි රජයට එරෙහි උද්ඝෝෂණ හටගත්තා. කුඩාවට ඇරඹි උද්ඝෝෂණ කෙටි කලෙකින් රටපුරා පැතිර යන්නට පටන් ගැනුණා. බෞඅසීසි 2011 ජනවාරි 4 වනදා මරණයට පත්වුණා. ජනාධිපතිවරයා බලයේ රැඳී සිටියේ තවත් දින දහයක් පමණයි. 2011 ජනවාරි 14 වනදා ඔහු රටින් පළාගියා.


රෝහල්ගතව සිටි බෞඅසීසි හමුවීමට පැමිණි බෙන් අලී

බෙන් අලී පළාගිය පමණින් උද්ඝෝෂණ නිමා වූයේ නැහැ. බෙන් අලී පළාගිය පසු එරට අගමැතිවරයා වූ මොහොමඩ් ගනෞචි එරට විපක්ෂ කණ්ඩායම් ද ඇතුලත් නව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නට කටයුතු කළා. කෙසේ වෙතත් ඊට එතෙක් පාලක පක්ෂය වූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාපිත රැළියෙහි (Democratic Constitutional Rally) සාමාජිකයන් ඇතුලත් වීම පිළිබඳ දිගටම විරෝධය පැවතුණා.

පසුව ගනෞචිට සිය කැබිනෙට් මණ්ඩලය වෙනස් කර එම පාක්ෂිකයන් ඉවත් කිරීමට සිදුවුණා. නමුත් ගනෞචි ද පැරණි ආණ්ඩුවේ සාමාජිකයකු මෙන්ම පක්ෂයේ සාමාජිකයකු වූයෙන් ඔහුට එරෙහිව උද්ඝෝෂණ දිගටම පැවතුණා. ඒ අනුව ඔහු 2011 පෙබරවාරි 27 වනදා ධුරයෙන් ඉවත් වුණා. RCD පක්ෂය ද නොබෝ දිනෙකින් තහනම් කෙරුණා.

@elearninglk

ටියුනීසියාවේ අරාබි වසන්තයෙන් ඇරඹි ප්‍රතිසංස්කරණ ඉදිරියට ගමන් කළා. එරට ව්‍යවස්ථාදායක සභාවක් පත්කරනු ලැබුණා. ඒ අනුව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා. 2014 දී අරාබි වසන්තයෙන් පසු එහි පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබුණා.

ඊජිප්තුව​​
ටියුනීසියාවේ බෙන් අලී බලයෙන් පහ කිරීමට හැකිවේ යයි බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැහැ. බෙන් අලී ඉවත් කළ පසු ජනතාවගේ බලය පිළිබඳ නව විශ්වාසයක් කලාපයේ නිර්මාණය වෙමින් පැවතුණා. කෙසේ වෙතත් එය වඩාත් ප්‍රබල සහ කඩිනම් ලෙස විපර්යාසයක් ඇතිකළේ ඊජිප්තුවේයි. මේ සඳහා මූලිකත්වය ගන්නා ලද එක් පුද්ගලයකු වූයේ වයෙල් ගොනිම් නම් තරුණ පරිගණක ඉංජිනේරුවායි.

2010 දී රජය විසින් ඝාතනය කළ කාලෙද් සයිද් නම් ක්‍රියාධරයා සිහි කරමින් ඔහු “අපි සේරම කාලෙද් සයිද්ලා” යන නමින් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කළා. එයට අති විශාල පිරිසක් කෙටි කලකින්ම එක්වුණා. 2011 ජනවාරි 14 වන දා එම පිටුව මගින් විමසා සිටියේ ටියුනීසියාවේ මෙන් ඊජිප්තු ජනයා පාරට බසින්නේ කවදාද යන්නයි.


වයෙල් ගොනිම්

ඊජිප්තුවේ ජනාධිපති හොස්නි මුබාරක්ට එරෙහි විරෝධතා ඇරඹුණේ 2011 ජනවාරි 25 වනදායි. මෙම විරෝධතාවන් හි කේන්ද්‍රස්ථානය වූයේ කයිරෝ අගනුවර තහ්රීර් චතුරශ්‍රයයි. විරෝධතා මර්ධනය සඳහා මුබාරක් ආණ්ඩුව උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ. මේ අනුව පෙබරවාරි 11 වනවිට මුබාරක්ට ඉල්ලා අස්වීමට සිදුවුණා.


Click on the Image

රටේ සන්නද්ධ හමුදා එහි පාලන බලය අතට ගත්තා. ඔවුන් කඩිනම් ප්‍රතිසංස්කරණ පොරොන්දු වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අත් හිටවනු ලැබුණා. පසුව ඔවුන් සිවිල් විද්‍යාර්ථියෙකු සහ හිටපු ඇමතිවරයකු ද වූ එසාම් ෂරාෆ් අගමැති ලෙස පත් කිරීමට කටයුතු කළා.

2012 ජූනි වනවිට අරාබි වසන්තයෙන් පසු එරට මැතිවරණයකින් බලයට පත්වූ පළමු ජනාධිපතිවරයා තෝරාගනු ලැබුණා. මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයකු වූ ඔහු මොහොමඩ් මෝර්සි යි. කෙසේ නමුත් වසරක් පමණ ඇතුලත ඔහු ද බලයෙන් ඉවත් කරනු ලැබුණේ යළිත් ඊජිප්තුව හමුදා පාලනයක් කරා ගෙන යමින්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

බහරේන්​​
බහරේනයේ රජ පවුල සුන්නි මුස්ලිම් වුවද රටේ ජනතාවගේ බහුතරය ශියා මුස්ලිම්වරුන් වනවා. එහෙයින් එරට පාලකයින් හා පාලිතයන් අතර දුරස්ථභාවයක් තිබෙනවා. ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් බහරේන වැසියන් වීදිබැස්සේ 2011 පෙබරවාරි 14 වනදා යි. මෙම විරෝධයේ කේන්ද්‍රය වූයේ මනමා අගනුවර පර්ල් වටරවුමයි. පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම් ඇතිවූ අතර එයින් පසු විරෝධතා වඩාත් උත්සන්න වුණා. රජ පවුලට ද එරෙහිව ඒවා යොමුවන්න පටන් ගැනුණා.

තත්ත්වය පාලනය කරගත නොහැකි වූ තැන බහරේනය ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ආධාර ඉල්ලා සිටියා. 2011 මාර්තු 14 වනදා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් හමුදා බහරේනයට පැමිණියා. ඔවුන්ගේ සහයෙන් උද්ඝෝෂණ මර්ධනය කරනු ලැබුණා. පර්ල් වටරවුමේ වූ ස්මාරකය ද විප්ලවයේ සංකේතයක් බවට පත්ව තිබුණෙන් එය ද කඩා දමනු ලැබුණා.


පර්ල් වටරවුමෙහි කඳවුරු බැඳගත් විරෝධතාකරුවන්

සෞදි අරාබියේ ශියා මුස්ලිම්වරුන් බහුලව ජීවත්වන ප්‍රදේශවල ද විරෝධතා පැවති නමුත් ඒවා ද මර්ධනය කෙරුණා. එක්සත් අරාබි එමීර් හි ද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ ඉල්ලීම් යටපත් කරනු ලැබුණා.

අරාබි වසන්තයෙන් නැගුණු යුද්ධ​​​
අරාබි වසන්තය සමග මතුවූ උද්ඝෝෂණ රැල්ල හා සමගම ඇතිවූ ගැටුම් දිගුකාලීන යුද්ධ සඳහා මගපෑදූ අවස්ථා වන්නේ ලිබියාව​, යේමනය සහ සිරියාව යි. මෙම ගැටුම් දශකයකටත් වඩා කාලයක් ඉක්ම ගොස් තිබියදී අදටත් සමථයකට පත්ව නැහැ. එමෙන්ම එසේ සමථයකට පත්වන ලකුණු පෙනෙන්නට ද නැහැ. මෙම යුද්ධ තුනෙහිම පොදු සාධකය නම් විදෙස් බලවේග කෙලින්ම මීට සම්බන්ධ වීමයි.

ලිබියාවේ මුවම්මර් ගඩාෆි පාලනයට එරෙහිව කැරලි මතුවූයේ එරට නැගෙනහිර ප්‍රදේශවලයි. ඊට හේතු වූ මූලික කරුණු වූයේ ගඩාෆිගේ ගෝත්‍රයට අයත් නොවන්නන් අතර මතුවූ විරෝධය යි. කෙසේ වෙතත් මෙම කැරැල්ලට නේටෝ සංවිධානය ගුවන් සහය ලබාදීමත් සමග ගඩාෆි පාලනය වැඩිකල් නොපවතින බව පෙනෙන්නට වුණා.

2011 අගෝස්තුවේදී ලිබියානු අගනුවර වන ට්‍රිපොලි නගරය කැරලිකරුවන් අතට පත්වූ අතර ඔක්තෝබරයේදී ගඩාෆි අල්ලාගෙන මරාදමනු ලැබුණා. කෙසේ වෙතත් එතැනින් යුද්ධය අවසානයක් දුටුවේ නැහැ.

ඒ වෙනුවට විවිධ පාර්ශවයන් දිගටම එකිනෙකා හා ගැටුණා පමණක් නොව විවිධ රටවල් ඒ ඒ පාර්ශව වෙත සිය සහය දක්වමින් යුද්ධය දිගටම පැවැත්වීමට දායක වුණා. ඇමරිකාව ඇතුළු නේටෝව මෙන්ම ඊජිප්තුව​, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි කලාපීය බලවතුන් ද රුසියාව සහ තුර්කිය වැනි බලවතුන් ද ඒ අතර වනවා.


සිරියානු සිවිල් යුද්ධය ඇරඹී දස වසරක් සැමරීමට ඉඩ්ලිබ් නගරයේ 2021 මාර්තු 15 පැවැති උද්ඝෝෂණයක්

සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනයට එරෙහිව උද්ඝෝෂණ ඇරඹුණේ අන් බොහෝ රටවල ජනතා උද්ඝෝෂණ හටගෙන තරමක් කල් ගතවූ පසුවයි. එනම් 2011 මාර්තු 15 වනදා පමණ වනවිටයි. එහෙයින් එම උද්ඝෝෂණ පසුපස විදෙස් බලවේග වේ යයි සැක සංකා මතුවුණා. කෙසේ වෙතත් සිරියාවේ විරුද්ධවාදීන් රජයට එරෙහිව අවිගත් කැරැල්ලක් ක්‍රියාත්මක කළා.

ලිබියාවේදී මෙන් සිරියාවේදී ද හමුදා මැදිහත්වීමක් සඳහා බටහිර රටවල යෝජනාවක් මතුවුණ ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී එම යෝජනාව පරාජය වීමත් සමග ඍජු හමුදා මැදිහත්වීමක් සිදු නොවන තැනට කරුණු යෙදුණා. කෙසේ වෙතත් රජයට එරෙහි කණ්ඩායම් වෙත ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් අවි සැපයූ අතර රුසියාව සහ ඉරානය සිරියානු රජයට සහය දුන්නා.

යේමනයේ ද දිගු කාලයක් තිස්සේ ජනාධිපති ධුරය දැරූ අලි අබ්දුල්ලා සාලෙහ්ට එරෙහි උද්ඝෝෂණ 2011 දී හටගත්තා. සාලෙහ් ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් ඔහුට එරෙහිව අවිගත් නැගිටීම් ඇතිවන පසුබිමක 2012 පෙබරවාරියේ දී ඔහු සිය ධුරයෙන් ඉවත් වුණා. කෙසේ වෙතත් එතැනින් යේමනයේ යුද්ධය නිමා වූයේ නැහැ. ඉරානයේ සහය ලැබෙන බව පැවසෙන හූති කැරලිකරුවන් සිය බලය වර්ධනය කරගනිද්දී 2015 සිට සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් ඔවුන්ට එරෙහිව යුද්ධයක් ඇරඹුවා. අදටත් එම යුද්ධය ක්‍රියාත්මකයි.

අරාබි වසන්‍තයෙන් පසු බොහෝ රටවල දේශපාලනය ගමන් ගත්තේ එම විරෝධතාකරුවන් බලාපොරොත්තු වූ අයුරින් නොවේ. මේ පිළිබඳ වයෙල් ගොනිම් වරක් සඳහන් කර තිබුණේ මූලික ජයග්‍රහණවලින් අනතුරුව සිවිල් සමාජය සිය බලපෑම දිගටම පවත්වා නොගැනීමෙන් එම තත්ත්වය නිර්මාණය වූ බවයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.