මාර්කෝස් – ඩුටර්ටේ පරම්පරා කාර්ටලය පිලිපීනය ඩැහැ ගනී

May 11, 2022

පිලිපීන ජනාධිපතිවරණය බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදිම හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ පුත්‍රයා වන කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් හෙවත් බොංග්බොංග් විසින් ජයගෙන තිබෙනවා. දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ඔහු පහසුවෙන්ම සියයට 50 ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇති බවයි පෙනී යන්නේ​.

අන්ත දූෂිත පාලකයකු ලෙස ප්‍රකට වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලයෙන් නෙරපා හැරීමෙන් වසර තිස් හයක් ගතවූ තැන ඔහුගේ පුත්‍රයා බලයට පත්වීම විමසා බැලිය යුතු සිදුවීමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

1986 දී මාර්කෝස් බලයෙන් නෙරපන ලද්දේ ජනතා බලයෙහි විප්ලවය ලෙස හඳුන්වන ප්‍රකට විරෝධතාවකිනි. එහිදී සිදුවූයේ 1986 පිලිපීන ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ දස දහස් සංඛ්‍යාවක් පිලිපීන ජනයා වීදි බැසීමයි​.

ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ට එරට සන්නද්ධ හමුදාවන්හි ද සහය නොලැබුණ හෙයින් ඔහුට බලයේ රැඳී සිටීම කළ නොහැක්කක් බවට පත්වුණා. ඔහු ඇමරිකා එක්සත් ජනපදයට පළා ගියා​.


ජනතා බලයෙහි විප්ලවය

ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේත්, ඔහුගේ බිරිඳ ඉමෙල්ඩාගේත් එම පවුලේත් දූෂණ සහ සුඛෝපභෝගී ජීවිත පිළිබඳ පුවත් දසත පැතිරෙන්නට වුණා​. ඔවුන් පිලිපීනයෙන් සොරාගත් ධනය ඩොලර් බිලියන ගණනක් බව පැවසුණා​. ඔවුන්ගේ පලා යෑමෙන් අනතුරුව පිලිපීනය නැවත ප්‍රජාතන්ත්‍රවාදී මාවත කරා ගෙන ඒමට අවස්ථාවක් එළඹුණා.

විනිර්මුක්තිය
බොංග්බොංග් මාර්කෝස්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිටුපස තිබෙන පළමු සාධකය නම් මෙම ප්‍රජාතන්ත්‍රවාදී වෙනස හෝ ආර්ථික සමෘද්ධිය හෝ පිලිපීන ජනයා වෙත හිමි නොවීමයි. මාර්කෝස්වරුන් පළවා හැරුණ ද පිලිපීන දේශපාලනය සහ ආර්ථිකය දිගටම පැවතියේ පවුල් කිහිපයක් අතයි​. ඔහුගෙන් පසු බලයට පත්වූ එකදු ජනාධිපතිවරයකුටවත් රටේ ආර්ථික සමෘද්ධිය කරා ගමන් කිරීමට නොහැකි වුණා​.

@elearninglk

ඇතැම් ජනාධිපතිවරුන් ද බරපතල දූෂණ චෝදනාවලට ලක්වුණා​. මීටත් වඩා එරට පැවති ගැටළුව වූයේ පවුල් කිහිපයක් අත බලය තිබීම හේතුවෙන් ඒ ඒ පවුල්වල සාමාජිකයන්ට විවිධ දේශපාලන ගනුදෙනු ඔස්සේ දිගටම දේශපාලනයේ රැඳී සිටීමට අවකාශ ලැබීමයි. එය එක්තරා ආකාරයක විනිර්මුක්තියක් වුණා.


කොරසන් අකීනෝ සහ බෙනිග්නෝ අකීනෝ III

මාර්කෝස් පවුලට ද මෙසේ සබඳතා තිබුණා​. බොංග්බොංග් මාර්කෝස් විවාහ වී සිටින්නේ රටේ ප්‍රබල දේශපාලන සහ විශේෂයෙන්ම ව්‍යාපාරික පවුලක් වන අරනෙටා පවුලෙහි ලුවීස් අරනෙටා සමගයි​. දේශපාලන පවුල් සබඳතා ඔස්සේ මාර්කෝස් පවුලට නැවත දේශපාලනයට පැමිණීමට හැකියාව ලැබුණා. ඔවුන් මුලින්ම සිය පාරම්පරික බලකොටුව වන ඉලෝකෝස් නෝර්ටේ පළාතේ නැවත ස්ථාපිත වුණා.

ඒ පළාතේ බහුතර ජනතාව මාර්කෝස්වරුන් පිළිගත්තා​. මේ අතර ඔවුන්ගේ දූෂණ පිළිබඳ සහ ඔවුන් සොරාගත් ධනය පිළිබඳ සෙවීමට වඩා බරපතල ගැටළුවලට පිලිපීනය මුහුණ දුන්නා​. 1998 දී බලයට පත්වූ ජනාධිපති ජෝසෆ් එස්ට්‍රාඩාට ද බරපතල දූෂණ චෝදනා එල්ල වූ අතර 2001 දී ඔහුව දෝෂාභියෝගයට ලක් කෙරුණා​. එනමුත් 2010 දී ඔහු නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා​.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එහිදී ඔහුව පරාජය කරන ලද්දේ බෙනිග්නෝ අකීනෝ III විසිනි. අකීනෝගේ පියා 1983 දී මාර්කෝස් විසින් ඝාතනය කරවන ලද නිනෝයි අකීනෝ වූ අතර ඔහුගේ මව 1986 දී ජනාධිපති ලෙස පත්වූ කොරසන් අකීනෝ යි​. කෙසේ වෙතත් දෝෂාභියෝගයකින් බලයෙන් පහ කරන ලද අයකුට දශකයක් ගතවීමට මත්තෙන් ජනාධිපතිවරණයකට යළි ඉදිරිපත්ව සියයට 25 ක් ඉක්මවූ ඡන්ද​ ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවීම පිලිපීන දේශපාලනයේ ස්වභාවයට කදිම සාක්ෂියක් බව කිව යුතුයි.

ටික්ටොක් පරම්පරාව
බොංග්බොංග් අකීනෝ ආමන්ත්‍රණය කළේ බලාපොරොත්තු කඩ වූ තරුණ පරපුර වෙතයි. පිලිපීනයේ ජනගහනයෙන් සියයට 56 ක් පමණ වයස අවුරුදු 40 ට අඩු පිරිසයි. ඔවුන්ට මාර්කෝස් පාලනය පිළිබඳ මතකයක් නැහැ. ඔවුන්ට දකින්නට ඇත්තේ විවිධ දේශපාලකයින් සිය අපේක්ෂා කඩා බිඳ දමන ආකාරයයි. මේ ජනතාව මාර්කෝස්ගේ ප්‍රධාන ඉලක්කය වුණා. ඔහු Youtube ඔස්සේ කළ වැඩසටහන් මගින් ආදරණීය පියෙකුගේ භූමිකාව රඟපෑවා. එවැනිම වීඩියෝ දර්ශන ඔහුගේ අනුගාමිකයන් හරහා ටික්ටොක් වෙත ද එක්කළ හෙතෙම තමුන්ගේම ටික්ටොක් ගිණුමක් ඔස්සේ ද වීඩියෝ ප්‍රචාරය කළා. ඔහුට මේ වනවිට (2022 මැයි 11) මිලියන 1.6 ක රසික පිරිසක් ටික්ටොක් හි සිටිනවා.

බොංග්බොංග් මාර්කෝස් පිලිපීනයේ ආර්ථික ගැටළු පිළිබඳ කුමක් සිදු කරනු ඇතිදැයි පැහැදිලි නැහැ. ඔහු එවැනි කරුණු පිළිබඳ දේශපාලන විවාද චේතාන්විතවම මගහැරියා. එවැනි විවාදවලින් තමුන්ට ජයගත නොහැකි බව ඔහු වටහාගන්නට ඇති. නමුත් ඔහු දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් තරුණ ජනතාව තමන් වසඟයට ගත්තා. එක් සමීක්ෂණයකින් පැවසුණේ රටේ ජනගහණයෙන් වයස අවුරුදු 18-25 කාණ්ඩයේ සියයට 70ක් දෙනා ඔහුට ඡන්දය දීමට සූදානම් බවයි.


වමේ සිට​: බොංග්බොංග්, ෆර්ඩිනන්ඩ් මාර්කෝස්, ඉමෙල්ඩා මාර්කෝස්, ඉමී මාර්කෝස්, අයිරීන් මාර්කෝස් 1969 දී

බොංග්බොංග් මාර්කෝස් සිය පියාගේ සමය පිලිපීනයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්වූ අතර ඔහුගේ පියා සහ මව ඇතුළු පවුලේ අසීමාන්තික සොරකම් පිලිපීනයේ ගැටළුවලට හේතු වී ඇති බව කිසිසේත්ම පිළිගන්නේ නැහැ.

එමෙන්ම ජනාධිපති ධුරයට පත්වීම ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් එල්ල වූ නඩුකරවලින් ගැලවීමේ මගක් ලෙස ද යොදාගනු ඇතැයි ඔහුගේ විරුද්ධවාදීන් සැක කරනවා. ඔහුගේ මව ඉමෙල්ඩා ද දූෂණ චෝදනාවලට වරදකරුව වසර එකොළහක සිර දඬුවමකට එරෙහිව අභියාචනය කර තිබෙනවා.


Click on the Image

ඩුටර්ටේ සාධකය
මාර්කෝස්ගේ ජයග්‍රහණයට මාර්ගය විවර කළ තවත් කරුණක් වූයේ ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගේ සහය ඔහුට හිමිවීමයි. ඩුටර්ටේට නැවත ජනාධිපති ධුරයට තරග කළ නොහැකි හෙයින් ඔහු කුමක් කරන්නේද යන්න පිළිබඳ කලක සිට අවිනිශ්චිතතාවයක් වුණා.

එක් අවස්ථාවක ඔහුගේ පක් ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු බොක්සිං ශූර මැනී පැකියාඕ ඉදිරිපත් කෙරෙන බව පැවසුණා. එහෙත් ඉන් කෙටි කලකට පසු පැකියාඕ හා ඩුටර්ටේ අතර ගැටුම් නිර්මාණය වුණා. අවසානයේ පැකියාඕ වෙනත් පක්ෂයකින් නාමයෝජනා ලබාගෙන මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නමුත් ඔහු එතරම් සාර්ථක වූයේ නැහැ.


ඩුටර්ටේ සහ දියණිය සාරා

ඩුටර්ටේ තමන් උප ජනාධිපති ලෙස තරග කිරීමේ ඉඩ පිළිබඳ ප්‍රකාශ කළේ මේ අතරයි. එහෙත් ඉන් ස්වල්ප කලකට පසු ඔහු කියා සිටියේ තමන් කිසිදු තනතුරක් වෙනුවෙන් තරග නොකරන බවයි. එහෙත් ඔහුගේ දියණිය සාරා ඩුටර්ටේ උප ජනාධිපති ලෙස තරග කරන බව ඉන් ස්වල්ප කලකට පසු නිවේදනය කෙරුණා. එමෙන්ම ඇයගේ සහය බොංග්බොංග්ට හිමිවන බවත් ප්‍රකාශ කෙරුණා. උප ජනාධිපති තරගයෙන් සාරා ඩුටර්ටේ ද පහසුවෙන් ජයගෙන ඇති බව මූලික ප්‍රතිඵල පෙන්නුම් කරනවා.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදහස් දැක්වූ පිලිපීන විශ්වවිද්‍යාලය​: දිලිමන් හි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරීස් අරුගුවේ කියා සිටියේ මාර්කෝස්වරුන් සහ ඩුටර්ටේවරුන් දේශපාලන පරම්පරා කාර්ටලයක් ස්ථාපිත කරගෙන ඇති බවයි.

චීන සාධකය​
හිටපු ජනාධිපති බෙනිග් නෝ අකීනෝ පාලන සමයේදී පිලිපීනය හේග් නුවර බේරුම්කරණ අධිකරණය හමුවේ චීනයට එරෙහිව නඩු මගට අවතීර්ණ වූයේ දෙරට අතර සමුද්‍ර සීමා ගැටළුව සම් බන් ධවයි. එහිදී පිලිපීනයට වාසිදායක තීන් දුවක් ලැබුණා. රොඩ්‍රිගෝ ඩුටර්ටේ බලයට පත්වූ පසු ඔහු චීනය හා මිත්‍රත්වය ශක්තිමත් කරගන්නට කටයුතු කළා. කෙසේ වෙතත් වසර කිහිපයක් තුළ දී එම මිත්‍රත්වය පළුදු වූ අතර පිලිපීනය යළි ඇමරිකාව සමග සමීප වන්නට වුණා.

බොංග්බොංග් මාර්කෝස් පසුගිය මැතිවරණ සමයේ ප්‍රකාශ කළේ තමන් අනාගතයේදී චීනය සමග ද්වී පාර්ශවික එකඟතාවයක් ඇතිකරගැනීමට අවධානය යොමු කරන බවයි. මීට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඔහුට එරෙහිව ඇමරිකාවේ ද පවතින නඩුකර හේතුවෙන් ඇමරිකානු ආණ්ඩුව සහ ඔහු අතර එතරම් හොඳහිතක් නොපැවතීමයි. පවතින දේශපාලන තත්ත්වය හමුවේ ඇමරිකාවට ද පිලිපීනය ඉතා වැදගත් වන හෙයින් බොංග්බොංග්ට එරෙහි දූෂණ චෝදනා අමතක කර ඔහු හා එක්ව කටයුතු කිරීමට ඇමරිකාව පෙළඹුණහොත් ඒ පිළිබඳ පුදුම නොවිය යුතුයි.

පියාගේම පුතා
රොඩ්‍රිගෝ ඩුටර්ටේගේ ආන්දෝලනාත්මක සය වසක පාලන සමය අවසානයේ 2022 ජූනි මාසයේදී බොංග්බොංග් මාර්කෝස් ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇති. ඩුටර්ටේ යටතේ පිලිපීනය ගතකළේ පුද්ගල නිදහස පිළිබඳ ඉතා අයහපත් යුගයකයි. බොංග්බොංග් ඔහුටත් වඩා එම නිදහස සීමා කරනු ඇතිදැයි දැන්ම කිව නොහැකියි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බොංග්බොංග්ට ඔහුගේ පියා තරම් දේශපාලන නිර්භීතකම හෝ දේශපාලන ඥානය හෝ නොමැති බවයි.

එහෙයින් ඔහුගේ පියා හෝ ඩුටර්ටේ හෝ තරම් මර්ධනකාරී ලෙස කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබේද යන්න ඇතැම් විශ්ලේෂකයන් ප්‍රශ්න කරනවා. අනෙක් අතට​, එසේ පෙනෙන පුද්ගලයන් බලයට පත්වූ පසු අන්ත මර්ධනකාරී ලෙස කටයුතු කරන අවස්ථා ද අප දැක නැතුවා නොවේ.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.