චීන යුධ ශක්තිය බටහිරට සැබෑ අභියෝගයක්ද?

මේ දිනවල ජාත්‍යන්තර පුවත් සලකා බලනවිට, විශේෂයෙන්ම යුධමය බලය පිළිබඳ කරුණු සලකා බලන විට, බොහෝ දේ චීනය වටා කේන්ද්‍රගතව සාකච්ඡා වන බවක් පෙනෙන්නට තිබෙනවා.

එක් පසෙකින් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව සමග න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් පිළිබඳ එකඟතාවයකට පැමිණෙද්දී අනෙක් පසින් තායිවානය සිය රටෙහි ඇමරිකන් හමුදා සිටින බව පිළිගන්නවා. අනෙක් පසින් ඉන්දු-චීන දේශසීමා අර්බුදය අවසාන එකඟතාවයකින් තොරව ඇදී යද්දී ඉන්දියාව න්‍යෂ්ටික යුධ හිසක් ගෙන යා හැකි, චීනයේ ඕනෑම ප්‍රදේශයකට පහර දියහැකි අග්නි-V මිසයිලය අත්හදා බලනවා.

මේ අතර ඇමරිකාව රුසියාව දිහාට පොඩි පොඩි ඉඟි පළකරමින් චීනය සමග රුසියාවේ ගනුදෙනු ටිකක් අඩු කරගන්න උත්සාහ කරද්දී රුසියාව තායිවානහ පිළිබඳ චීනයේ අයිතිය පිළිගන්නා බව පවසනවා. මේ අතරවාරයේ රුසියාව, චීනය සහ ඇමරිකාව හයිපර්සොනික් අවි තරගය උත්සන්න කරමින් සිටිනවා. ඇෆ්ඝනිස්ථානයේ චීන බලපෑම වර්ධනය වෙද්දී ඇමරිකාව පාකිස්ථානය දෙසට ආපහු හැරෙන්න උත්සාහ කරනවා.


චීන නාවික භටයන් පිරිසක්

චීනය අතිශයින්ම වැදගත් සාධකයක් බව අප විසින් අමුතුවෙන් කිවයුතු නැහැ. යුධ ක්ෂේත්‍රයේ ද එය එසේමයි. කලක පටන් පිරිස් බලය ගත්විට ලොව විශාලම යුධ හමුදාව් වූයේ චීනයේ මහජන විමුක්ති හමුදාවයි. එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු නොතිබුණා නොවේ. නමුත් ඔවුන් 1962 දී ඉන්දියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වූ බව අප සිහි තබාගත යුතුයි. අද වනවිට ද පිරිස් බලය අතින් එය ඇමරිකානු හමුදාවට වඩා දෙගුණයකට වඩා විශාලයි.

යුධ හමුදාව එසේ වුණත්, ගුවන් සහ නාවික හමුදා සිටියේ බොහොම පසුපසින් බව පිළිගන්න අවශ්‍යයි. අද වනවිට එම අංශවල පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා.

චීන නාවික හා ගුවන් හමුදා ශක්තිය
නාවික බලය වර්ධනය කරගැනීම නූතන චීනයට කවදත් වැදගත් වූ ඉලක්කයක් වුණා. චීනය අසළ මුහුදු ප්‍රදේශ දකිනවිට ඊට හේතුව පැහැදිලි වීමට එතරම් අපහසු නැහැ. චීනයට පැසිෆික් සාගරය සඳහා ඇති ප්‍රවේශ මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ දූපත් රාජ්‍යයන් හේතුවෙන් ඇහිරී තිබෙනවා. මේ පළමු දූපත් දාමය ආශ්‍රිත ප්‍රදේශය සිය ග්‍රහණයට ගැනීම චීනයේ මූලික අරමුණුවලින් එකක්. දකුණු චීන මුහුදේ සමුද්‍රීය සීමා පිළිබඳ වන මතභේදයන්‍ට මූලික හේතුවක් වන්නේ ද එයයි.


චීනයේ මග අවුරා සිටින පළමු දූපත් දාමය රතු පැහැයෙන් දැක්වෙනවා (BBC)

මහජන විමුක්ති නාවික හමුදාව අද වනවිට පිරිස් බලයෙන් සහ යාත්‍රා සංඛ්‍යාව අතින් ඇමරිකාවට වඩා ඉදිරියෙන් සිටිනවා. ගුවන් යානා ගෙනයන නෞකා ආදී බර නැව් සැලකීමේදී ඔවුන් තවමත් සිටින්නේ සැලකියයුතු මට්ටමකින් පසුපසින්. මේ වනවිට ගුවන් යානා ගෙනයන නෞකා දෙකක් පමණක් ඔවුන් සතු වෙතත් ඔවුන් එම නෞකා ප්‍රමාණය ද ඉහළ නංවමින් සිටිනවා.

තවද චීනයට න්‍යෂ්ටික යුධහිස් සහිත මිසයිල විදීමට හැකි සබ්මැරීන ද තිබෙනවා. ඊට අමතරව නාවික මිලීෂියා බලකායක් ද ඔවුන් විසින් ගොඩනගමින් තිබෙනවා.

නාවික ශක්තිය පිළිබඳ කාරණාවේදී ඉතා වැදගත් වන කරුණක් නම් චීනය තවමත් ලෝක නාවික බලවතකු නොවන බව සහ එවන් ලෝකය පුරා පැතිරුණු බලයක් ගොඩනගා ගැනීමේ ඉක්මනක් ද බවයි. ඇමරිකානු නාවික හමුදාවට ලොව නන් දෙසින් එන ප්‍රශ්න, ගැටළු සහ අභියෝග ගැන සොයා බලන්නට සිදුවනවා. නමුත් චීනයේ මුල් ඉලක්කය වන්නේ තමන් අභිමුව ඇති පළමු දූපත් දාමය ආශ්‍රිත මුහුදේ බලය තහවුරු කරගැනීම පමණයි. ඊළඟ පියවරේදි ඔවුන් ඉන් ඔබ්බට සිය බල පරාක්‍රමය පතුරවනු ඇති.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එහෙත් එය සිදුවන්නේ හදිසි නැති ක්‍රමයකින්. යම් හෙයකින් එයට අනවශ්‍ය ලෙස හදිසි වුවහොත් එම කඩිමුඩිය චීනයට දරාගන්නට අපහසු වනු ඇති. එහෙත් ක්‍රමානුකූල ගමනක් යාමට චීනය සූදානම් බවයි දැනට පෙනීගොස් ඇත්තේ. එහෙයින් සංඛ්‍යාත්මකව ඇමරිකානු නාවික හමුදාවට වඩා චීන නාවික හමුදාව සතු බර යාත්‍රා ප්‍රමාණය අඩු වූ පමණින් චීනය දුර්වල යයි කිව නොහැකියි. වඩා දුර්වල වන්නේ ළඟ එන අලුත් අභියෝගය පිළිබඳ විමසිලිමත් වන අතරම ලෝකය පුරා තම කඳවුරු සහ අනෙකුත් කටයුතු පවත්වාගෙන යන ඇමරිකාවයි. මේ බව හරිහැටි වටහාගන්නා තාක්කල් චීන නායකත්වය කලබල වන්නේ නැහැ.

මේ කරුණම ගුවන් බලය පිළිබඳ ද කිවහැකියි. වර්තමානය වනවිට චීනය සතුව ප්‍රහාරක යානා දෙදහසක් පමණ වේ යයි සැලකෙනවා. ඒ අතර J-20 ස්ටෙල්ත් ප්‍රහාරක යානා විශේෂ වැදගත්කමකින් යුක්තයි.


චීන ගුවන් භටයන් පිරිසක්

චීනය සතු මිසයිල සංඛ්‍යාව ද විශාල බව අනුමාන කෙරෙනවා. ඒ අතර ලොව ඕනෑම තැනකට පහර දියහැකි යයි සැලකෙන DF-41 අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය මෙන්ම මෑතකදී අත්හදා බැලූ බව කියන DF-17 හයිපර්සොනික් මිසයිලය ද වැදගත් වනු ඇති.

ප්‍රශ්නකාරී තැන්
චීනය හමුදා බලය වර්ධනය කරගත්ත ද ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු ද නැතුවා නොවේ. සෙබළුන්ගේ පුහුණුව කෙතරම් සාර්ථක ද යන කරුණ පිළිබඳ ඇතැම් අංශ ප්‍රශ්න නගනවා. මේ අතර වසර හතලිහකින් පමණ චීනයට යුද්ධයක සැබෑ අත්දැකීම් ලැබී නැහැ.

රටෙහි පවතින දූෂණය, විශාල හමුදාවක් නඩත්තු කිරීමේ බර වැනි කාරණා අමතර පීඩනයක් ආරක්ෂක අංශ වෙත එල්ල කරනවා. හමුදාවල ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් පුද්ගලික අංශයේ සේවය කිරීමෙන් ලබාගත හැකි හෙයින් අධ්‍යාපනයක් ලැබූ පිරිස් වැඩිපුර එවන් අශ වෙත ඇදීයාම ද චීනයේ සිදුවන්නක් බවයි පැවසෙන්නේ.

එහෙයින් ආරක්ෂක අංශවලට අවශ්‍ය ඥානය සහිත තරුණ පිරිස් ආකර්ශණය කරගැනීම තරමක අභියෝගයක් ලෙස පෙනී යනවා.

නමුත් මෙම කරුණු මත චීනය දුර්වල යුධ බලයක් වෙව් යයි හෝ අනාගතයේදී දුර්වල වේ යයි හෝ සිතිය නොහැකියි. බටහිර රටවල් මුහුණදෙන ආර්ථික අර්බුද හමුවේ අනාගත අවි තරගයකට මුහුණදීම සඳහා චීනය හොඳ සූදානමකින් සිටිනවා. 1970-80 දශකවල සෝවියට් දේශයට වූ අයුරින් අවි තරගයේ බර විසින් චීන ආර්ථිකය කඩා බිඳ දමනු ඇතැයි උපකල්පනය කිරීම බරපතල වරදක් විය හැකියි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.