අපරාධ නීතිය :: අපරාධය, නීතිය, යුක්තිය හා චේතනාව

එක්තරා කතාවක කියැවෙන පරිදී අතීතයේ බටහිර රටක මිනිහෙක් ඝාතනය කළාය කියන චෝදනාවට වලහෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියේදි වළහාට එරෙහිව ජූරි සභාවක් ඉදිරියේ නඩුවක් ඇසීමට තීන්දු වී තිබේ. වළහා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥවරයෙක් පවා පත් කොට තිබේ.

අදාළ නීතිඥවරයා වළහා බේරා ගන්න ඉදිරිපත් කොට ඇති තර්කය මෙයයි. වළහාට එරෙහිව නඩුවක් අහනවා නම්, ජූරි සභිකයින් ලෙස වලසුන් කිහිප දෙනෙකුද නම් කළ යුතු බවට ඔහු තර්ක කර තිබේ. නැතිනම් එම නඩු විභාගය යුක්ති සහගත නැති බවට වන ඔහුගේ තර්කය පිළිගන්නා විනිශ්චකාරවරයා, වලසා නඩුවෙන් නිදහස් කොට තිබේ.

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ “නික්මයාම” කොටසේ දෙවියන්වහන්සේ මිනිසුන් උදෙසා පනවන දස පනතේ එක පනතකින් කියවෙන්නේ සබත් දවසේ වැඩ කිරීම තහනම් බවයි. පැරණි තෙස්තමෙින්තුවෙ එක්තරා කතාවක, සබත් දවසේ දර එකතු කරපු මිනිහෙක් අසුවී යුදෙව්වන්ගේ ආධ්‍යාත්මික නායක මෝසෙස් ඉදිරියට රැගෙන එයි. කතාවෙ විදියට, මෝසෙස් දෙවියන්වහන්සේගෙන් අහනවා මේ මිනිහට කුමක්ද කළ යුත්තේ කියා ? දෙවියන්වහන්සේ “ඒ මිනිහට ගල් ගහල මරන්න” යැයි අණ දෙයි. එය එලෙසම ක්‍රියාත්මක කොට තිබේ.

(ගණන් කතාව 15: 32-36)

අන්ධ ආගමික භක්තියෙන් මිදී ඒ ක්‍රියාවෙ යුක්තිය අයුක්තිය ප්‍රශ්න කරන්නට එතැන කෙනෙක් සිට නැත.

පසු කලෙක බිහිවූ යුදෙව් ගුරුවරයකු වූ (රබ්බායි) ජේසුස්වහන්සේ ප්‍රඥාවන්තක් විය. අලුත් තෙස්තමේන්තුවේ මාක් 2: 23-27 මෙසේ කියැවේ.

“තවත් අවස්ථාවක සබත් දවසකදී ඔහු ධාන්‍ය කෙත් මැදින් ගමන් කරමින් සිටියේය. ඔහු සමඟ ගිය ඔහුගේ ගෝලයෝ ධාන්‍ය කරල් කඩමින් ගියහ. එහෙයින් පරිසිවරු, “මේ බලන්න ඔවුන් කරන දේ! ඔවුන් කරන්නේ සබත් දවසේදී කිරීමට තහනම් දෙයක්! ඔවුන් එහෙම දෙයක් කරන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ. ඔහු ඔවුන්ට මෙසේ කීවේය… “දෙවියන්වහන්සේ සබත් දවස ඇති කළේ මිනිසා උදෙසායි. එසේ නැතුව මිනිසා සබත් දවස උදෙසා නොවෙයි.”

එසේම අනාචාරයේ හැසිරුණැයි චෝදනා ලත් ස්ත්‍රීයකට මිනිස්සු එකල යුදෙව් ආගමික නීතිය ප්‍රකාරව ගල් ගසා මරා දැමීමට ලෑස්ති වූ විට, උන්වහන්සේ ඇය ගලවා ගත්තේ “පව් නොකළ කෙනෙක් පළමු ගල ගසන්න” යැයි දේශනා කිරීමෙනි. සියල්ලන් රහසින් පවු කර ඇති බැවින් මිනිස්සු අතට ගත් ගල් බිම දමා නික්ම ගියා. (ජෝන් 8: 1-11)

කෙසේවුවද වරදට දඬුවම් නියම කිරීම වඩාත් යුක්තිසහගත ලෙස සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධව නීති දර්ශනය කාලානුරූපීව පරිණාමය විය.

අපරාධ නීතිය

සමාජයේ විනය, යහ පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස, තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන පරිදී යාවත්කාලීන කෙරෙන නෛතික රාමුවක් හා පසුබිමක් ගොඩනැඟීම හා පවත්වාගෙන යාම දියුණු මානව මානව ශිෂ්ටාචාරයන්හි ලක්ෂණයකි. ඒ අනුව රටේ නීති හා අනු නීති, පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යන ව්‍යවස්ථාදායක ආයතයන් මගින් පැනවෙන අණපනත්, ප‍්‍රඥප්ති හා රෙගුලාසි ආදියෙන් සමන්විත වේ.

ශ‍්‍රී ලංකාවේ අපරාධමය වැරදි සම්බන්ධයෙන් ලබා දෙන දඩුවම් පිළිබඳ ව දණ්ඩ නීති සංග‍්‍රහයේ හා එහි සංශෝධනයන්හි සවිස්තරාත්මකව දීර්ඝ ව විස්තර වේ. ඊට අමතර ව විවිධ සමාජ අවශ්‍යතාවන් මත ගොඩනැඟුණු අපරාධ වැරදි අන්තර්ගත පනත් කිහිපයකි. උදාහරණ ලෙස පොදු දේපළ විෂයෙහි සිදු කරන වැරදි පාලනය කිරීම සඳහා පොදු දේපළ පනත කි‍්‍රයාත්මක වන අතර ආගමන හා විගමන වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ආගමන හා විගමන පනත කි‍්‍රයාත්මක වේ.

වනාන්තර ආශ‍්‍රිත ව සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා වනජීවි වෘක්‍ෂලතා පනත කි‍්‍රයාත්මක වන අතර ශ‍්‍රී ලංකාවේ පුරාවස්තු විනාශ කිරීම පාලනය කිරීම සඳහා 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ක්‍රියාත්මක වේ. පරිගණක අපරාධ සම්බන්ධව 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත අදාළ වේ. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් ප්‍රධාන ලෙස 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත අදාළ වේ.

අපරාධයක් යනු කුමක්ද?

අපරාධයක් වනාහි ඉහත දක්වා ඇති ආකාරයේ පනතක නිර්වචනය කර ඇති, රාජ්‍ය පාලන අධිකාරීන් මගින් දඬුවම් ලැබිය යුතු ක්‍රියාවක් හෝ නොකරහැරීමකි(Commission or Omission). “අපරාධයක්˜ වනාහි එහි බරපතළ ස්වභාවය හේතුවෙන්, පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකුට එරෙහිව පමණක් නොව සමස්ත සමාජයටම එරෙහිව සිදුවන්නක් ලෙස සැලකේ. එනම් සමාජයේ සදාචාරාත්මක, සාරධාර්මික පසුබිමට එමෙන්ම සමාජ යහපැවැත්මට(Social order) අපරාධයක් තුළින් පහර වදී. (It violates the moral fabric of the society )

උදා : මිනිමැරීම, ස්ත්‍රී දූෂණය, හෙරොයින් ජාවාරම,

එහෙයින් අපරාධ සම්බන්ධව අධිකරණ වල චෝදනා ගොනු කරන්නේ හා පැමිණිල්ල එනම් අභිචෝදකය මෙහෙයවන්නේ පොලිසිය හා ආණ්ඩුවේ නීති අංශය වන නීතිපති දෙපාර්තමේන්තුවයි.

අපරාධ නීතිය අනුව අපරාධයක් සම්පූර්ණ වීමට එහි අන්තර්ගතව තිබිය යුතු Elements කිහිපයකි. මේවා අපරාධයක සම්පාදක ධාතූන් ලෙස හැඳින්වේ. සාපරාධී වගකීම (Criminal liability) ඔප්පු කර, අපරාධයකට චෝදනා ලැබුවෙකු අධිකරණය මගින් වරදකරු කිරීමට, මෙම සම්පාදක ධාතූන් අදාළ ක්‍රියාව තුළ සම්පූර්ණ වී ඇති බවට ඔප්පු කළ යුතුය.

මෙම සම්පාදක ධාතූන් වන්නේ මේවාය.

1. සාවද්‍ය ක්‍රියාව හෝ නොකර හැරීම (Guilty act /omission/ wrongful conduct (Actus reus))
2. සාවද්‍ය චේතනාව (Mental state (Mens rea))
3. එක්මතිය (Concurrence) එනම් සාවද්‍ය ක්‍රියාව හා සාවද්‍ය චේතනාව එකට ක්‍රියාත්මක වී තිබීම.
4. හේතුඵල සම්බන්ධය (Causation) එනම් අදාළ සාපරාධී ක්‍රියාව හා එහි ඵලය අතර ඍජු හේතුඵල සම්බන්ධයක් තිබීම.

1. සාවද්‍ය ක්‍රියාව හෝ නොකර හැරීම (Guilty act /omission/ wrongful conduct (Actus reus))
සෑම අපරාධයකම අන්තර්ගත බාහිර අංගය එනම් වාස්තවික කොටස (objective element ) වන සාපරාධී ක්‍රියාව ලතින් භාෂාවෙන් Actus reus යනුවෙන් හැඳින්වේ. සාපරාධී සිතුවිලි වලට පමණක් පුද්ගලයෙකුට දඬුවම් කළ නොහැක. එම සාපරාධී සිතුවිලි මත පදනම්ව හොඳ සිහියෙන් (උමතුභාවයෙන් යුතු හෝ නින්දෙන් ඇවිදීම වැනි අවස්ථා වල හොඳ සිහියක් නොමැත), ස්වේච්චාවෙන් (එනම් වෙනත් අයෙකුගේ බියවද්දීමක් හෝ බලකිරීමක් නොමැතිව) ඔහුට ශාරීරිකව සිදු කිරීමට හැකියාව ඇති, යම් සාපරාධී භෞතික ක්‍රියාවක් සිදුකළ අයෙකුට පමණක් දඬුවම් කළ හැකිය.

ඊට හේතුව Powell v. Texas, 392 U.S. 514, 533 (1968) නම් ඇමරිකානු නඩු තීන්දුවක විග්‍රහ වී තිබේ.

…criminal penalties may be inflicted only if the accused has committed some act, has engaged in some behavior, which society has an interest in preventing.

අපරාධ දඬුවම් ලබා දිය හැක්කේ, සමාජය වැළැක්වීමට අපේක්ෂා කරන යම් ක්‍රියාවක හෝ හැසිරීමක විත්තිකරු නියුක්ත වී ඇති අවස්ථාවක පමණි.

සාපරාධී ක්‍රියාවන් පමණක් නොව නීතිවිරෝධී නොකරහැරීම් ද Actus Reus ගණයේම ලා සැලකේ. ඒ උදෙසා යම් පනතකින් යම් ක්‍රියාවක් කිරීම යුතුකමක් හා එය පැහැරහැරීම අපරාධයක් යයි දක්වා තිබිය යුතුය.

උදාහරණයක් ලෙස වෛද්‍ය නොසැලකිල්ල (Medical negligence ) දැක්විය හැකිය. යම් වෛද්‍යවරයෙක්ගේ වෘත්තීය නොසැලකිල්ල නිසා රෝගියෙකු මිය ගිය බව සාක්ෂි වලින් ඔප්පු කළ හැකි නම් අපරාධමය වරදක් සංස්ථාපනය වේ. තවත් උදාහරණයක් ලෙස හදිසි යුද තත්ත්වයන්හිදී ඇතැම් රාජ්‍යයන් තරුණයන් අනිවාර්ය යුද සේවයට බැඳිය යුතු බවට නීති පනවා තිබේ. එබඳු අවස්ථාවක සාධාරණ හේතු නොමැතිව, යුද සේවයට නොබැඳීම, සිර ගත කළ හැකි වරදකි.

අතීතයේදී බටහිර – මැද පෙරදිග රටවල අපරාධ නීතිය ක්‍රියාත්මක කිරිමේදි බැලුවේ සාවද්‍ය ක්‍රියාව දෙස පමණි. ඒ අනුව යමෙකු නීතිය මගින් තහනම් කළ ක්‍රියාව කළා නම් ඔහුගේ චේතනාව නොසලකා ඔහුට දඬුවම් නියම කිරීම සිදු විය. මේ ක්‍රියාවලිය නිසා උම්මත්තක මිනිස්සු පවා මරණ දණ්ඩනයට ලක් වී තිබේ. ආත්මාරක්ෂාව උදෙසා අනෙකා මරා දැමූවන් පවා මිනීමැරුමට එල්ලුම්ගස් ගොස් තිබේ. මන්ද අතීත නීතිය විමසා ඇත්තේ අදාළ තහනම් කළ ක්‍රියාව, චූදිතයා කළාද නැද්ද යන්න පිළිබඳව පමණයි. අතීත යුරෝපයේ මිනිසුන් පමණක් නොව සතුන්ද චූදිතයන් කොට නඩු අසා තිබේ. අයුක්තිසහගත ලෙස නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා බොහෝය.

හුදු සාවද්‍ය ක්‍රියාව(Actus Reus) පමණක් නොව නොව අදාළ ක්‍රියාව සාවද්‍ය චේතනාවකින් (Mens rea) කර තිබේද? යන්න විමසා බැලිය යුතු බවත්, සාවද්‍ය චේතනාවකින් තොර හුදු සාවද්‍ය ක්‍රියාව වැරැද්දක් නොවන බවට (“actus reus non facit reum nisi mens sit reas”) නිගමනය කළ යුතු බවටත් ( “nulla poena sine culpa” principle (no punishment without guilt), නීති දර්ශනය පසුකාලීනව පරිණාමය විය.

යම් ක්‍රියාවක සාවද්‍ය නිරවද්‍ය භාවය ක්‍රියාව මතම නෙවෙයි චේතනාව මත තීරණය කළ යුතුය යන්න නූතන නීතිය පිළිගන්නේ 1889 තරම් මෑතකදී බ්‍රිතාන්‍යයේ Rex vs Tolson නඩුවේදීය. (1889) 23 QBD 168

සාවද්‍ය මනසකින් තොරව තම පළමු සැමියා මියගිය බවට සද්භාවයෙන් විශ්වාස කරමින් දෙවන විවාහයක් කරගත් Tolson මහත්මියට දිවි විවාහය (Bigamy) යන වරද සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ආරෝපණය කළ හැක්කේද? යන්න ඒ නඩුවේ විසැඳිය යුතු ප්‍රශ්නය විය.( issue )

එහිදී අදාළ වරද සිදුකිරීමට සාවද්‍ය මනසක් ඇය තුළ නොතිබුණු බැවින් ඇයට සාපරාධී වගකීමක් පැවරීම සිදු කළ නොහැකි බව තීන්දු විය.

(මේ තත්ත්වය තේරුම් ගෙන අදාළ නෛතික සංකල්ප දියුණු කරගැනීමට නීතියට දිගු කාලයක් ගත වී තිබේ. එනමුත් බුදුන්වහන්සේ වසර 2500 කට පෙර මේ සංකල්පය දේශනා කර තිබේ. ඒ විනය නීතීන් තුළය. යම් විනය කඩ කිරීමක් චේතනාන්විතව නොකළේ නම් එය වරදක් නොවන බව බුදුන්වහන්සේ නැවත නැවතත් දේශනා කර තිබේ. (කියවන්න පාචිත්ත පාළිය)

එමෙන්ම කර්මය පිළිබඳ බුදුන්වහන්සේගේ දේශනාවන්හිද මේ විග්‍රහය තිබේ.

එකල ජෛනයෝ චේතනාවක් නැතුව පයට කූඹියෙක් පෑගුණත් පාපයක් වන බවත්, ප්‍රමුඛත්වය දිය යුත්තේ කායික ක්‍රියාවට බවත් දේශනා කළහ.(කාය දණ්ඩ)

එනමුත් බුදුන්වහන්සේ එසේ නොවන බවත් සතෙක් ඝාතනය කරන විට එය අකුසලයක් බවට පත් වීම පිණිස සිතේ වධක චිත්තයක් තිබිය යුතු බවත් දේශනා කළ සේක. (සාලෙය්යක සූත්‍රය, මජ්ජිම නිකාය 1). ඒ වගේම කර්මය චේතනාවට සාපේක්ෂ බවත් මුල් තැන දිය යුත්තේ කායික ක්‍රියාවට නොව මානසික ක්‍රියාවට බවත් උන්වහන්සේ දේශනා කළ සේක.

“චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි”

“මහණෙනි, චේතනාව කර්මය යයි මම කියමි. සිතා කයින් හෝ, වචනයෙන් හෝ, සිතින් හෝ කර්මය කරයි.”

( අඞ්ගුත්තරනිකායො, ඡක්ක නිපාතය, 2. දුතිය පණ්ණාසකය, 6. මහා වර්‍ගය 9. නිබ්බෙධික පරියාය සූත්‍රය) )

2. සාවද්‍ය චේතනාව (Mens rea)
Mens rea යනුවෙන් හැඳින්වෙන්නේ සාපරාධී ක්‍රියාව සිදුකරන්නාගේ සිතේ අදාළ ක්‍රියාව ස්වේච්චාවෙන් සිදුකරන අවස්ථාවේ ඇති සාපරාධී චේතනාවයි. දඬුවම් තීරණය කෙරෙන්නේ චේතනාවෙ මට්ටමට සාපේක්ෂවය. අදාළ අවස්ථාපිත සාධක අනුව, සාධාරණ මිනිසෙකුට, තමා සිදු කරන සාපරාධී ක්‍රියාවේ ප්‍රතිඵලය පූර්වේක්ෂණය කළ හැකි මට්ටම වැඩි වේ නම්, චේතනාව පැහැදිලි වන අතර සාපරාධී වගකීමද වැඩි වේ. (The more predictable the outcome, the greater the liability)

සාවද්‍ය චේතනාව විවිධ මට්ටම් වලට වර්ගීකරණය කර තිබේ.

1. Pre Planned, pre meditated intention: සැලසුම් සහගත චේතනාව. උදාහරණයක් ලෙස පාතාල කුලී ඝාතන (contract killing)
2. Intention : සාමාන්‍ය චේතනාව
3.Sudden intention : සමුච්චිත ප්‍රකෝපය (cumulative provocation), හදිසි ප්‍රකෝපය(sudden provocation) ආදිය මත සිදු කෙරෙන ඝාතන (උදා: සැමියා බිරිඳට දිනපතා වද දෙයි. දිනෙක එසේ වද දෙද්දි ඇති වන හදිසි කෝපය නිසා බිරිඳ සැමියා මරා දමයි.මෙය සමුච්චිත ප්‍රකෝපය යටතේ සිදුවී ඇති ඝාතනයක් හෙයින් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකේ.)
4. Knowledge : නිශ්චිත ලෙසම යමෙකු ඝාතනය කිරීමට තරම් චේතනාව බලවත් නැති මුත්, තමා කරන ක්‍රියාව නිසා මරණය සිදුවිය හැකි බවට දැනුමක් ඇතිව සිදු කරන ක්‍රියා. (උදාහරණයක් : රැස්වීමකට අත්බෝම්බයක් දමා ගැසීම)
5. Recklessness: නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ආදියෙන් සිදු වන ඝාතන.

මෙලෙස අවස්ථානුරෑපි සාධක මත අදාළ චූදිතයා හට සාවද්‍ය චේතනාව තිබුණේද ? තිබුණේ නම් එහි මට්ටම කුමක්ද ? යන්න විමසා බලා දඬුවමේ මට්ටම තීරණය කිරීමට නීතිය පරිණාමය විය. (උදා :උමතු අයෙකුට සාවද්‍ය චේතනාවක් නැත. / මුහුදේ බෝට්ටුවක අතරමංව දුර්වල අයෙකු මරා කා ජීවත් වූ මිනිස්සු “අවශ්‍යතාව” නම් විත්තිවාචකය යටතේ එම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට ඉතා අවම දඬුවමක් පමණක් ලබයි.) එය තීරණය කිරීමේදී සිදු වී ඇති තුවාල වල ස්වභාවය, අදාළ වරද සිදු කිරීමට තුඩු දුන් හේතූන්/ පසුබිම (motive ) ආදිය සියුම්ව විමසා බැලේ.

කෙසේවුවද සාවද්‍ය චේතනාව නොසලකා (Strict liability), සාවද්‍ය ක්‍රියාව මතම අපරාධ වගකීම පවරන අවස්ථාවන්ද පවතී.

උදාහරණයක් ලෙස ලංකා නීතියේ (දණ්ඩ නීති සංග්‍රහයට 1995 සිදු කළ 22 වෙනී සංශෝධනය අනුව, 363 (ඉ) වගන්තිය ) යටතේ අවුරුදු 16 ට අඩු ස්ත්‍රියක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව සංසර්ගයේ යෙදුනද, ඔහු “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” (Statutory rape) නම් වරදට වැරදිකරු වේ.

මීට හේතුව එම ස්ත්‍රිය, එබඳු සංසර්ගයකට කැමැත්ත දීමට සුදුසු වයස් මට්ටමක නොසිටින බව නීතිය සැලකීමයි.

තවද රක්ෂිතයක කැලෑව කැපීමෙහි නිරතව සිට අත්අඩංගුවට ගත අයෙකුට තමන් එය රක්ෂිතයක් බව නොදැන සිටියේය යන්න නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කළ නොහැකිය. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ. (Ignorantia juris non excusat )

එමෙන්ම ප්‍රතිපුරුෂ වගකීම (Vicarious liability) පවරන අවස්ථාවන්ද කලාතුරකින් පවතී.

උදාහරණයක් ලෙස වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුවූ මරණයකට අදාළ පෞද්ගලික රෝහලට වන්දි ගෙවීමට සිදු විය හැක. මන්දයත් අදාළ වෛද්‍යවරයා හා රෝහල අතර සේව්‍ය සේවක සම්බන්ධයක් ඇති හෙයින් හා රෝගියා රෝහල වෙත තැබූ විශ්වාසය කඩවීමක් ඇති හෙයිනි.

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.