සමන් දේවාලයේ දෛනික තේවාව

February 8, 2022

සමන් දේවාලය තුළ දෙවියන් වෙනුවෙන් පවත්වන තේවාව ඉපැරණි චාරිත්‍ර වලට අනුව දිනපතා සිදු කරනු ලැබේ. මෙම තේවාවන් බෞද්ධ ආගමික පසුබිමක් තුළ සිදු වේ. මෙය සමන් දේවාලය පිළිබඳ වැදගත් කරුණකි. දිනපතා පවත්වන තේවාවේ ප්‍රධාන කොටස් හයක් අඩංඟුවේ. ඒවා නම්

01. අළුයම් දුරයේ තේවාව
02. හීල්ම තේවාව
03. මහ තේවය
04. බොලපැන් තේවාව
05. හැන්දෑ දුරයේ තේවාව
06. මහ තේවාව යි

01. අළුයම් දුරයේ තේවාව
දිනපතාම අළුයම 4.30ත් 5.00ත් අතර පැවැත්වෙන අළුයම් දුරයේ තේවාව සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන ශබ්ද පූජාවකි. හක්ගෙඩිය,දවුල,හොරණෑව,තම්මැට්ටම එහිදී වාදනය කරනු ලැබේ.

02. හීල්ම තේවාව
සමන් දෙවියන් වෙනුවෙන් හීල් දානය පූජා කිරීම මෙහිදී සිදුකරනු ලැබේ. එහි අංග කීපයක් ඇත. දෙවියන්ගේ මුහුණ සේදීම සඳහා පැන් සැපයීම දියවඩම් තේවයයි. මල් පූජා කිරීම මල් තේවයයි. දේවාලයට සුවඳ දුම් ඇල්ලීම හඳුන් තේවයයි. පහනක් අතින්ගත් ආලත්ති අම්මා කෙනෙකු දෙවියන්ට ආවැඩීම ආලත්ති තේවයයි.

දිනපතාම පෙරවරු 7.30ට මහ සමන් දේවාලයේ ගන්ඨාරය නාද වේ. ඉන්පසුව හේවිසි නාද වේ. මෙම ශබ්ද පූජාව අතරතුර දියවඩම් තේවය ආරම්භවේ. ඊට පසුව හඳුන් තේවය හා මල් තේවය සිදුවේ. ආලත්ති තේවය අවසානයේ සිදුකෙරේ. එයින් පසුව දෙවියන් කෙරෙහි පැන් පූජා කිරීම සිදුවේ.

දෙවියන් දානය වළඳන බඳුන “මණ්ඩය“ ලෙස හැඳින්වේ. එය සේදීමද කරන්නේ එම පැන් වලිනි. මුරුතැන් පූජාව අනතුරුව සිදුවේ.

මුරුතැන් රාළ මුරුතැන් පිසින අතර බත්තන රාළ මුරුතැන් ගෙයින් මුරුතැන් භාරගෙන කපු මහතාට භාරදේ. කපු මහතා දෙවියන්ට මුරුතැන් පූජා කිරීම සිදුකෙරේ. මුරුතැන යනු දෙවියන් වෙනුවෙන් පූජා කරන සුවිශේෂ ආහාරයකි.එයට බත්, හත්මාළුව හා කැවුම්ගෙඩි තුනක් අයත්වේ. මෙම ආහාර එවෙලේම පිසගනු ලැබේ.

03. මහ තේවය
මහ තේවයේදී බුදුන් හා දෙවියන්ට දහවල් දානය පූජා කරනු ලැබේ. මෙය සෑම දිනකම පෙරවරු 9.30ට සිදුවේ.

04. බොලපැන් තේවාව
දෙවියන් සඳහා පැන් පූජා කිරීම බොලපැන් තේවයයි. මෙය පෙරවරු 6.30ට පමණ ඇරඹේ. දේවාලයේ උඩමළුවේ ඇති ඉපැරණි ලිඳෙන් වතුරගෙන මුරුතැන්ගෙයි තැම්පත් කිරීම මෙහිදී සිදුකෙරේ. නමුත් පෙරහැර සමයට මෙම තේවය සවස 3.30ට සිදුවේ. එවිට පැන් ගන්නේ දේවාලය අසල බොලපැන් කුඹුරේ ඇති බොලපැන් ලිඳෙනි.

05. හැන්දෑදුරයේ තේවාව
බුදුන් වහන්සේ වෙනුවෙන් සවස ගිලන්පස පිදීමේ පූජාව හැන්දෑදුරයේ තේවාවයි. එය රාත්‍රී 7.00ට සිදුවේ.

06. මහ තේවය
දවසේ අවසාන තේවාවයි. රාත්‍රී 9.30ට මෙම මහ තේවය පැවැත්වේ. මෙහිදීද උදෑසන මෙන් හඳුන්,මල්,ආලත්ති,දියවඩම් යන තේවාවන්ද පැවැත්වේ. පසුව මුරුතැන් තේවාවක්ද පැවැත්වේ. මෙය සමන් දෙවියන් වෙනුවෙන්ම පැවැත්වේ. අතීතයේදී දළුමුර තේවයක්ද සිදුවී ඇත. එහිදී දෙවියන්ට අලුත් බුලත් පූජා කිරීම සිදුවී ඇත. නමුත් එය දැන් සිදු නොවේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.