අසහ-ණය

“මම මේක හාමුදුරුවන්ට කියන්නේ, විසඳුමක් ලැබෙයි කියලා හිතාගෙන නෙවෙයි… මගේ හිතේ වේදනාව හාමුදුරුවන්ට තේරුම් ගන්න හැකිවෙයි කියලා හිතලා…“?

“ඔව්, ඒක හරි. සැරව පිරිච්ච තුවාලයකින් සැරව අයින් වුනාම තුවාලය සුව වෙනවා වාගේ, සමහර හිතේ අමාරුකම්, හිතේ හිරකරගෙන ඉන්නවාට වඩා, හොද සවන් දෙන්නෙකුට කීවාම, ඒ හිතේ අමාරුව අඩුවෙලා යනවා…“ ?

උපදේශනය යනු උපදෙස් දීම නොවේ. සවන් දීම වේ. සහකම්පනයෙන් යුතුව සවන්දීම පුරුදු කළයුතු චර්යාවකි. බොහොමයක් සියදිවි නසාගැනීම් වලට සෘජු හේතුවක් වනුයේ, ඔවුන්ගේ චිත්ත පීඩාව අසා සිටීමට කෙනෙකු නැතිවීමයි. ඇත්තටම බොහෝ දෙනෙකු උපදෙස් අවශ්‍ය නැත. අවශ්‍ය යහපත් අසා සිටින්නෙකු පමණි.

“එහෙමයි…“

“හොදයි එහෙනම් මුල ඉදලා පටන් ගන්නකො… “ මම කීවෙමි?

“හාමුදුරුවනේ මට අවුරුදු 24ක් වෙනවා… මගේ මහත්තයා ඉන්නේ Israel වල. එයා දැන් අවුරුදු 3කින් ලංකාවට ඇවිල්ලා නැ…“ ඇය කීවාය.?
“තව ටිකක් මුලට යමු… කසාදයට කලින් ඉදලාම පටන් ගන්නකො…“ මම කීවෙමි.?

“මහත්තයාව මම අදුරගෙන වැඩි කාලයක් නැතුව අපි ඉක්මනින් බැන්දා… අවුරුද්දක්වත් ඇසුරු කරේ නැද්ද මන්දා… මට එතකොට 19 ඉවර වුනා විතරයි… එයාට නංගි කෙනෙක් ඉන්නවා කසාද බන්දන්න කියලා එයාට ඉක්මනින් බඳින්න ඕනි කමක් තිබ්බා…“?

“එයාට හිටියේ අම්මා විතරයි… ඒ නිසා අපට පුළුවන් කමක් තිබ්බේ නැ… වෙනම පදිංචි වෙන්න… ඒ වාගේම අපට සල්ලි තිබ්බේ නැ ඒකට… මට වගේම එයාටත් ඕනි කමත් තිබ්බා wedding එක ලොකුවට ගන්න… එයාගේ යාලුවො ඔක්කටම කියලා ලොකු මගුලක් කන්න…“?

“ඉතිං අපට සිද්ධවුනා ණයක් ගන්න… මමත් ලක්ෂ දෙකක් ගත්තා මගේ නෑදෑ අයියා කෙනෙක්ගෙන්. එයා රජයේ රැකියාවක් කරන්නෙ. එයාගේ රස්සාවෙන් ලැබෙන ණයක් තමයි ගත්තේ… ඒවාගේම මගේ මහත්තයත් ලක්ෂ 5ක් අරගත්තා 10% පොලියට…“?

“ඇත්තටම මාත් මගේ මහත්තයාවත් ගොඩක් ඉගෙන ගත් අය නෙවෙයි… ඒ නිසා අයියට ලොකු රස්සාවක් තිබ්බෙත් නැ… උකස් තියන්න දේකුත් තිබ්බේ නැ. එයා කිවේ ඒ ණය කොහොම හරි ගෙවමු කියලා… මටත් ඒ වෙනකොට ඒ ගැන බරක්පතලක් තිබුනේ නෑ. මොකද මගේ හීනේ උනේ ලස්සන bride කෙනෙක් වෙන්න…“?

ඇය පෙනුමෙන් ඉතා ලස්සන කෙනෙකු බව ද කිය යුතුය. ඇයගේ මංගල ඡයාරූප ඇගේ profile එකේ ඇති හෙයින් ඉතා ජයට ගත් මගුලක් බව පෙනුනි.

“ම්ම්ම්ම්… ඉතිං..“

“ඉතිං හාමුදුරුවනේ… අපි බැදලා හිටියේ එයාගේ ගෙදර… නැන්දම්මා එක්ක මම ඉතාම හොදට හිටියා. එයත් මාත් එක්ක හරිම හොදයි… එත් හාමුදුරුවනේ එයා මගේ වැරදි මගේ මහත්තයා එක්ක කියනවා. මාත් එක්ක කිසි දෙයක් කියන්නෑ. මාත් එක්ක හරිම යාලුයි. හැබැයි අපි දෙන්නා ආදරෙන් ඉන්න එක නැන්දම්මාට දිරිවාගන්න බැරි බව මට තේරුනේ ගොඩක් පස්සේ. ඇත්තටම කීවොත් මම දැන් ඉන්නෙත් අපේ අම්මලා ගෙදර… මට එහෙ ඉන්න හිත දුන්නෑ… මහත්තයා රට ගියාට පස්සේ..“?

“අහ්… එතකොට නැන්දම්මත් එක්ක ගැටලුව විසඳුනේ කොහොමද?“ මම ඇසුවෙමි.?

“එහෙම විසඳුමක් නැ, මම එයාව ඇසුරු කරන එක අඩුකරා. නමුත් එයාගේ අම්මාගේ කේලාම් නිසා, මහත්තයාට මං ගැන තිබුනු ආදරය අඩුවුනා කියලා මම හිතනවා. එයා ඒවා විශ්වාස කරලා මගෙන් ප්‍රශ්න අහන්න ගත්තු නිසා.“?

“ම්ම්ම්ම… ඊට පස්සේ…“

“ඊට පස්සේ හොදම ප්‍රශ්න ටික පටන් ගත්තේ, මට ණය දුන්නු මගේ නෑයාට, මට ගෙවන්න විදිහක් නැතුව කල් ගියා…, එතකොට එයා මාව හොයාගෙන ගෙදර එන්නත් පටන් ගත්තා. ඒවා ගැන වුනත් නැන්දම්මා කැත විදිහට තමයි අපේ මහත්තයාට කියලා තිබ්බේ… ඉතිං අපේ ආදරය අඩුවෙලා රණ්ඩු පටන් ගත්තේ ණය කාරයො, ණය ඉල්ලන්න ගත්තාට පස්සේ…“?

“මගේ ලක්ෂ 2 ඊට පස්සේ ගෙව්වේ එයා තවත් ණයක් අරගෙන… ඇත්තටම ඒ වෙනකොට නම් අපි දෙන්නට ආදර කථා බහක් නැති තරම්, කතා කරන්නේ ණය ගැනයි ප්‍රශ්න ගැනයි විතරයි…“?

“ඔය කාලය යනකොට, මට බබෙක් ලැබෙන්නත් ආවා, ප්‍රශ්නත් එක්ක මට හරියට පරිස්සං වෙන්නත් බැරිවුනා…, ඇත්තටම මේ බබෙක් හදන්න පුළුවන් වෙලාවක් නෙවෙයි… ඒත් අපි එයාව බාරගත්තා. හැබැයි සතුටින් නෙවෙයි කියලා තමයි මට කියන්න තියෙන්නේ හාමුදුරුවනේ…“?

“wedding එකට husband ගත්තු ණය, එ වෙනකොටත් සතයක් වත් ගෙවලා තිබ්බේ නැ. අන්තිමට husband තීරණය කරා රට යන්න… Israel, එහේ පඩි හොදයි කියලා… පුදුම වැඩේ කියන්නේ, ඒ රස්සාවට යන්නත් agency තවත් ලක්ෂ ගාණක් ගෙවලා. මට ඒවා කිවේ නැ. මම ඒවා දැනගත්තෙත් පස්සේ.“?

“රට යනකොටත්, මම එයාව ඇරලන්න ගියේ නැ, මොකද එයා නිතරම කීවේ, තමුසේ බැඳපු නිසා තමයි මට හරියන්නැත්තේ කියලා“?

“ඉතිං… එයා ගියාට පස්සේ තමයි පුතා හම්බුනෙත්… මම නැන්දම්මලා ගෙදර ඉන්නැතුව, ආපහු මගේ ගෙදර ගියා එයා රට ගියාට පස්සේ, ඒකටත් එයා මට හොදටම බැන්නා, අම්මාව තනියම දාලා ආවා කියලා…“

“ගියපු දා ඉදන් එයා සල්ලි නම් එවනවා… මමත් එව්වාගෙන් ණය ගෙවනවා… ඒත් තවමත් ඔක්කම ගෙවලා නෑ… එයා කියන කියන තැන්වලට මාත් ගෙවනවා…“?

“call එකක් ගත්තත්, පුතාව බලන්න ඕනි කියලා විතරයි කියන්නේ, ණය ටික ගැන කතා කරලා ෆොන් එක තියනවා… මම කෑවද, බීවද කියලාවත් අහන්නෑ…

මාව බලන්න, ලංකාවට එන්නැද්ද කියලා ඇහුවොත් එහෙම, තමුසෙගෙ මොනවා බලන්නද ඕයි ලංකාවට එන්නේ කියලා මට බනිනවා…“?
“එතකොට ඔබතුමිය කිසිම කෑකො ගැහිල්ලක් ඇත්තේම නැද්ද? මම ඇසුවෙමි.?

“මමත් ඉති කට වහගෙන නම් ඉන්නෑ, හාමුදුරුවනේ මාත් බනිනවා… මොකද මගේ විතරක් වැරද්ද නෙවෙයිනේ “?
“අපේ මෝඩකමට අපි ගත්තු ණය නිසාත්, මම ඉතිං හම්බකරන්න දෙයක් කරන්නැති නිසාත්, ඒ බැනුම් අහගෙන ඉන්නවා… ඒත් මගෙත් සීමාව පනිනවා. කලින් අපි හරිම ආදරෙන් හිටියා, එත් මේ ණය අපේ ආදරේ සම්පූර්ණම නැති කරලා දැම්මා… දැන් එයා ජිවිතේට මම අහලා නැති කුණුහරුප වලිනුත් බනින තැනට පත්වේලා…“?

“ඉස්සර එයා මාත් එක්ක පැය ගණන් කතාකරපු විදිහටම මම තවමත් බලාපොරොත්තු වෙනවා… එත් ඒ ආදරය දැන් නැ. දැන් කතා කරන්න දෙයක් ඉතිරිවෙලා නැති තරම් අපට. ඇත්තම කීවොත්, එයාට මාවත් මට එයාවත් එපා වෙලා හුඟක් කල්, දරුවා විතරයි අපි අතර එකම බැඳීම“?

“ඒ ඔක්කමත් මම ඉවසගෙන හිටියේ කවදා හරි ණය ගෙවලා ආවාම අපට සතුටින් ඉන්න පුළුවන්නේ කියලා, එත් ගිය සතියේ මට ආරංචි වෙච්චි දෙයින්, මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා… ඒ තමයි එයාට එහෙ ඉන්න, ලංකාවේ ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ දෙන්නා එහෙ පවුලක් විදිහට ඉන්නවා කියලා“?

“කවුද කිවේ, ඇත්තද ආරංචිය…“


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“තවත් Israel වල වැඩ කරන යාලුවෙක් ඉන්නවා, එයා තමයි කිවේ. මමත් එයාගෙන් ඒක ඇහුවා,
එත් එක්කම උඹ උඹෙ වැඩක් බලාගනින් කියලා, phone එක තිබ්බා. තවමත් call එකක්වත් අරගත්තේ නැ…“ ?
“මට මොකද කරන්න ඕනි කියලාවත් හැඟීමක් නැ හාමුදුරුවෙනේ. මම මේ දරුවෙක් එක්ක ලොකේ තනිවෙනවා… එහෙන් ණයකාරයො, මේවා ගැන හිතලම මට පිස්සු හැදෙයි කියලා හිතෙනවා “???

සටහන
?රූපවාහිනි මාධ්‍ය මගින්, දිනපතා bridal show ආදි දේවල් පෙන්වමින් තරුණියන්ගේ මනස විකෘති කරන බව ඔබ සැම දෙනා දන්නවා විය යුතුය.

?“සෑම තරුණියකගේම හීනයක්, ලස්සන bride“ වීම ආදී ලෙසින් ඔවුන්, ගැහැනුන්ගේ ඔලුවලට විෂ කවනු ලැබේ. බුකියේ සිටින සෑම තරුණියක්ම ලස්සන ලස්සන, මගුල් ඇදුම් photos share කරගනු ලැබේ. ඒවාගේ මිල ගණන් ඉලක්කම් 5න් පමණ ඇති බව ඔබ හැමට නොරහසකි. මීට වසර 10 පෙර per-shoot කියා ජාතියක් තිබුනේ නැත. wedding dance කියලා ජාතියක් ද නැත. එහෙත් කල්යත්ම, මඟුලක් ගැනීම, අතිශය වියදම් අධික කටයුත්තක් වෙමින් පවතී. තවමත් ඒය වර්ධනය වනවා මිස අඩුවන බවක් නැත.

?ගැටලුව නම්, මුදල් හදල් යහමින් ගැවසෙන පුද්ගලයින් මේ දේවල් අනුගමනය කිරීම නෙවේ. ඔවුන් තමන්ගේ තත්ත්වය පවත්වාගෙන යාමට ඒ සදහා මුදල් විසිකරයි. එය හොද දෙයකි. පොසත් අය ගාව ඇති මුදල් පහල අයට බෙදී යන්නේ, එලෙසිනි. එහෙත් 35000ට අඩු මුදලක් මාසයකට පඩියක් වශයෙන් ලැබෙන තරුණ තරුණියන් ද ඒ වියදම කරන්නට සිතනනේ නම් ඒ මුලාවකි. පිස්සුවකි.

?එහෙත් ඒ පිස්සුව බොහෝ දෙනෙකු විසින් කරනු ලැබේ. තමන්ට ගෙයක් ඉඩමක් ගන්නට, වාහනයක් ගන්නට, ඇති මුදලින්, රට වටෙම ඉන්නා යහලුවන්ට අරක්කු පොවා, මිල අධික ඇදුම් ඇද, දවස් දෙකකින් ඉල්ලක්කම් 7 මුදලක් නාස්ති කර දමයි. ඊටත් වඩා භයානක තත්ත්වය නම්, සමහරු අධික පොලියට ණයට ගෙන එම සාදය පැවැත්වීමයි. මොන තරම් මෝඩ කමක් ද?

?“විවාහක නව යුවල, තමන්ගේ විවාහ වියදමින්, දුප්පත් වැඩිහිටියන් 1000කට ඇස් කණ්ණාඩි බෙදා දී ඇත.“ යනුවෙන් පුවතක් දැක්කෙමි.

?විවාහ වන දවසේ එබදු ආශිර්වාදයක්, පිංකමක් සිද්ධ කරගන්නට ඔවුන් මොන තරම් සවිඤ්ඤාණික වන්නට ඇති ද? විවාහ දවසේ මස් පුච්චා, අරක්කු ගුදම් පිටින් ගිල්ලවනවාට වඩා, එය ආශිර්වාදයක් නොවේද? චාම් බව, සරල බව කොයිතරම් අගෙනේද?

?ණය සමඟින් අරඹන විවාහ සතුටු සහගත විවාහ ලෙස පවතීවි යැයි සිතනවානම් ඔබ තරම් මෝඩයෙක් තුන්ලොවෙම නොසිටිය හැක. ලෝකේට අණ බෙරගසා විවාහ විය යුතු ද? තමන්ගේ නැතුව බැරි ඤාතීන් හා යහළුවන් අතලොස්සක් මදිද? මක් නිසා ද යත්, විවාහ වීමට 250ක් සහභාගි වුව ද, දික්කසාදයට ඉතිරිවන්නේ දෙමාපියන් පමණක් බැවිනි. ?

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.