හෙණ්ඩුව සහ අලි නිල

නිල කිව්ව ගමන්ම මට මතක් වෙන කතාවක් තමයි ඉස්සර අපේ සිංහල පාඩමකට තිබුණ ” විදීම ” කියන සිංහල පාඩම . ඒ පාඩම ඉගෙනගත්ත අය ඉන්නවනම් එයාලටත් විදීම කියන නම ඇහුව ගමන්ම ඒ කතාව මතක් වෙන්න ඕන .

ඒ පාඩමේ තිබුණේ කුමාරතුංග මුනිදාසයන්ගේ පියාණන් පිළිබඳව ලියවුනු කතාවක් . කුමාරතුංගයන්ගේ පියාණන් නිල වෙදකම කරපු දක්ෂ වෙද මහත්තයෙක් . දවසක් මේ වෙද ගෙදරට ආව කොර වෙච්ච ලෙඩෙක් නිල විදීම මගින් සනීප කරලා යැවුවේ කොහොමද කියලා මේ පාඩමේ අන්තර්ගත වෙලා තිබුණා . මම ඒ කාලේ හරිම ආස පාඩමක් මේක . මොකද කියනවනම් එතුමා ලියලා තියෙන විදියට හරිම ලේසියෙන් ඒ අවස්ථාවන් හිතේ මවාගන්න පහසු නිසා . ඒ කියන්නේ මිනිස් නිල ගැන . අද මම කියන්න යන්නේ අලි නිල ගැන .

අලි නිල ගැන කියනකොට අලි ඇත්තු මෙල්ල කරන්න භාවිතා කරන හෙණ්ඩුව ගැන පොඩ්ඩක් කියලා ඉන්න ඕන . මම සමන් දේවාලයේ අලි බලන්න යන වෙලාවට ( වැඩිපුරම පෙරහැර දවස් වලට තමයි ) මේ අලි බලන අයගේ අතේ තියෙන හෙන්ඩුව ගැනත් බලන්න අමතක කරන්නේ නෑ . දැන් කාලෙ අලුත් අලි බලන අය තමන් භාවිතා කරන හෙණ්ඩුව ගැන කිසිම අවබෝධයක් නැතිව තමයි ඒක පාවිච්චි කරන්නේ . හෙණ්ඩුව හදන්නේ යම්කිසි ක්‍රමයකට . ඒ ඇයි කියලා දන්නේ නැති කම්මල්කාරයයි අලි බලන කෙනයි දෙන්නම කරන මේ වැරැද්ද නිසා අන්තිමට දුක් විඳින්නේ අහිංසක අලි ඇත්තු .

අලින්ට නිල වලට ඇනලා අලි ඇත්තු මෙල්ල කරනවා හසුරුවනවා කියලා කිව්වට මේ නිල හාරගෙන ඇටකටු වලට ඇනෙනකල්ම අනින්නේ නැහැ . හරි විදියට කරනවානම් නිලය තියෙන තැන හෙණ්ඩුව ගෑවෙනකොටම සතා බයවෙලා හරි උත්තේජනය වෙලාහරි දෙකෙන් එකක් වෙලා ඒ අදාළ කාර්යය කරනවා .

එහෙම නිලය තෙරපෙන්නේ හෙණ්ඩුවේ තියෙන කිණිතුල්ලා විදියට හඳුන්වන සිහින් තුඩ හදලා තියෙන විශේෂ හැඩය නිසා . අනික තමයි හෙණ්ඩුවේ උල අලි හම වෙත එල්ල කරන විශේෂ ක්‍රමයක් කෝණයක් සහ ගැඹුරක් තියෙනවා . අද කාලේ ඉන්න අලුත් අලි බලන අය ඒ ක්‍රම ශිල්ප අනුගමනය කරන වගක් පේන්නේ නැහැ . අදට ඉතිරිවෙලා ඉන්න පරණ අලි ඇත්තු බලන අයගෙන් මේ ශිල්පයේ ඉතිරි වෙලා තියෙන ටිකවත් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා තමයි මම නම් කියන්නේ .

මට මතකයි බෝතලේ වලව්වේ ගාමිණී ඇතාව බලාගත්ත සීයා සමහර වෙලාවට හෙණ්ඩුව පාවිච්චි කරන්නෙම නැහැ . අතේ තියෙන කෝට්ටෙන් තමයි ඇතාව Control කරගෙන හිටියේ . ඒ තරම් අලි ඇතුන් එක්ක අලි බලන්නාගේ තියෙන බැඳීම දුර දිග යනවනම් අලි ඇත්තු මෙල්ල කරන එක අමාරු වෙන එකක් නැහැ . රැකියාවක් වගේ නැතුව පවුලේ කෙනෙක් විදියට සතාව බලාගන්නවනම් සතත් සලකන්නේ ඒ විදියටම තමයි .

ඔය තියෙන්නේ නියම හෙණ්ඩුවක් . පේනවනේ උල එච්චර සියුම් නැහැ . අනික තමයි උල හදලා තියෙන්නේ උළේ මැද හරිය මහත් වෙන්න . එතකොට අනිනකොට වැඩිය ඇතුළට කාගෙන යන්නේ නැහැ . මගින් නවතිනවා උලට තියෙන ප්‍රතිරෝධය වැඩි නිසා .

ඒ ප්‍රතිරෝධය මැඩගෙන උල තවත් ඇතුළට යවන්න ඕන නම් තමයි වැඩිපුර බලයක් දීලා උල ඇතුළට යවන්න ඕන .

මේ තියෙන්නේ අලුත් අලි බලන අය ගාව තියෙන හෙණ්ඩුව . හැමෝම නෙවෙයි . ඒත් තරුණ පහේ අයගේ අතේ තියෙන්නේ මේක . ඇන්නා ඇන්නම තමයි ඉතින් . ආයේ ඉවක් බවක් නෑ කාගෙන ඇතුළට බහිනවා . අලියා තුවාල වෙනවා . ඊට පස්සේ ඒ තුවාල වල ඉහඳ පනුවෝ පවා ඇතිවෙනවා . මේ ඉහඳ පණුවා අලින්ගේ තුවාල වල ඉඳලා ඇතුලේ පටක ආහාරයට අරගෙන ඔන්න කොහොමහරි මැරිලා ගිහින් බෙහෙත් හේත් වලින් තුවාලය සනීප උනා කියමුකෝ . ඊට පස්සේ වෙන්නේ එතන තියෙන නිලය සංවේදී බවින් අඩුවෙන එක . එතකොට මොකද වෙන්නේ අලියා Control නැති වෙනවා.

අද කාලෙ වෙලා තියෙන්නේ ඒකම තමයි . අපි ඉස්සර කාලෙ අලි ඇත්තුන්ගේ Photos දකිනවා ඕන තරම් . ඒත් බලන්න එයාලට අද කාලෙ වගේ දම්වැල් දාලා තියෙනවද කියලා . කඹ වලින් තමයි ගැටගහන්නේ . අනික ඇවිදිනකොට කකුල් නිදහස් . හෙණ්ඩුවෙන් තමයි තනිකරම සතාව පාලනය කරලා තියාගත්තේ . ඒත් ඒ ශිල්පය කාලයත් එක්ක වලපල්ලට ගියාට පස්සේ අලි බාස්ලත් මොඩ් උනා , අලින්ට කෙල උනා . අලි ඇත්තුන්ට ඒ කාලෙ අද තරම් වද දුන්නේ නෑ . අලි ඇතුන් පුහුණු කිරීම යටතේ මම ඒ ගැන වෙනමම කියන්නම් . ඉතින් හෙන්ඩුවේ කතාව ඔන්න ඔහොම තමයි . කතා කරලා වැඩක් නෑ ඔය ගැන . ඒ නිසා අපි බලමු අලි ඇතුන්ගේ නිල කොහොමද පිහිටලා තියෙන්නේ කියලා .

@elearninglk

Campus එකේ පලවෙනි අවුරුද්දේ අපිට තිබ්බ රාජකාරියකට මම පුස්තකාලයේ පොතක් බලනකොට තමයි අලි නිල සලකුණු කරලා තියෙන මේ රූපය දැක්කේ . ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂක වෙලා හිටපු පී ඊ පී දැරණියගල මහත්මයා තමයි මේ රූප ඇඳලා නිල සලකුණු කරලා මේ ගැන හොයලා බලලා වාර්තා කරලා තියෙන්නේ . මම ඉතින් එතුමාට පිං දීලා පොතෙන් අවශ්‍ය රූප ටික Photos ගහගත්තා .

ඒ එක්කම මම ඒ නිල ගැනත් විස්තර කරලා දාන්නම් . මම අලි නිල ගැන කියවෙන ගොඩක් පොත් පත් කියවලා තියෙනවා . ප්‍රායෝගිකව දැනගෙනත් තියෙනවා . ඒත් ඒ පොත් පත් හැම එකකම තියෙන මේ රූපයේ සහ විස්තරවල අයිතිකරු වෙන්නේ දැරණියගල මහත්මයා . කවුරුවත් ඒ ගැන තමන්ගේ පොත්වල සඳහන් කරලා නැති එක ගැන මම කණගාටු වෙනවා .

01 හොඩය අකුලා ගැනීම
02 හොඩය දිගහැරීම
03 බිය ගැන්වීම
04 බිය ගන්වා කුංචනාද කරවීම
05 බිය ගන්වා කුංච නාද කරවා හස්තියා නැවැත්වීම
06 පාලනය යටතට ගැනීම
07 මරණය
08 මරණය
09 මරණය
10 මරණය
11 පාලනය යටතට ගැනීම
12 පාලනය යටතට ගැනීම
13 ප්‍රභෝධවත් කිරීම
14 පාලනයයටතට ගැනීම
15 මරණය
16 දන ගැසීම
17 පසුපසට යෑම
18 පාලනය යටතට ගැනීම
19 උරහිස පහත කිරීම
20 දන නැමීම , බෙල්ල පහත කිරීම , නතරවීම


Click on the Image

21 පාලනයට යටත් වීම
22 මරණය
23 හිස නැමීම
24 නැවතීම
25 කෝපාවිෂ්ට වීම
26 නැවතීම
27 පිටමත නැගීමට ආරාධනා කිරීම
28 මරණය
29 නවතියි
30 පාලනය යටතට ගැනීම
31 ගමන් කරයි
32 ගමන් කරයි
33 ගමන් කරයි
34 හිස පහත කරයි
35 හිරි වැටෙයි
36 ඇවිදීමට සහ නතර කිරීම
37 ඇවිදීම සහ නතර කිරීම
38 පිටමත නැගීමට
39 බිය වෙයි
40 බිය වෙයි

41 බිය වෙයි
42 ඇවිදියි
43 ඇවිදියි
44 ඇවිදියි
45 ඇවිදියි
46 නවතියි
47 ගමන් කරයි
48 නවතියි
49 පිට මතට නැගීමට ඉඩ දෙයි
50 සංසුන්වෙයි
51 නැගිට දුවයි
52 නැගිට දුවයි
53 වටේට කරකැවෙයි
54 වටේට කරකැවෙයි
55 වටේට කරකැවෙයි
56 මරණය
57 මරණය
58 බිම වැතිරෙයි
59 වටේට කරකැවෙයි
60 කෝප වෙයි



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

61 කෝප වෙයි
62 වටේට කරකැවෙයි
63 කෝප වෙයි
64 මරණය
65 නවතියි
66 නවතියි
67 නවතියි
68 නවතියි
69 දන ගසයි
70 දන ගසයි
71 දන ගසයි
72 නිල දෙකක් ස්පර්ශ කලාම සතා ගමන් කරයි , එකක් ස්පර්ශ කලාම නවතියි
73 නිල දෙකක් ස්පර්ශ කලාම සතා ගමන් කරයි , එකක් ස්පර්ශ කලාම නවතියි
74 නිල දෙකක් ස්පර්ශ කලාම සතා ගමන් කරයි , එකක් ස්පර්ශ කලාම නවතියි
75 පිටට නැගීමට පෙර පාදය දෙයි
76 පෙර පාදය දිගු කරයි
77 පෙර පාදය දෙයි
78 පෙර පාදය දෙයි
79 කොර ගසයි , පසු පාදය පෙරට ගෙනෙයි
80 පසු පාදය දෙයි

81 පසු පාදය දෙයි
82 පසු පාදය පසු පසට අදියි
83 පෙර පාදයඔසවයි
84 පෙර පාදය ඔසවයි
85 පාදය ඔසවයි , මැදගිල්ලේ නිය මත පාදබන ඇත ගොව්වාට පෙර පාදය මත නැගීමට ඉඩ දෙයි .
86 මරණය


Click on the Image

අලි නිලවල තියෙන තවත් වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට මේවා භාවිතා කරන්න හෙණ්ඩුව ඕන වෙන්නෙත් නැති කාරණාව . අලියාගේ පිටේ ඉන්නකොට සමහර වෙලාවට අලියට කතා කරන්නේ නැතුව කකුලේ මහපටගිල්ලෙන් ඇනලා නැත්නම් පයින් ඒ නිල පාගලා අලි ඇත්තු Control කරන්න පුළුවන් . ඒ කාලෙ හොරෙන් ගස් කපලා අලි ඇත්තු ලවා රෑට ඕවා පටවනකොට අලියට කතා කරන්නේ නැතුව මේ නිල ශාස්ත්‍රය හරහා අලියාගෙන් වැඩ ගත්තා කියලා මම එක අලි මහත්තයෙක්ගෙන් අහලා දැනගෙන තියෙනවා .

ඒ වගේම තමයි අද කාලෙ නැතත් අතීතයේ අලියා Control නැති වෙනකොට අලියා මරණ එක සාමාන්‍ය දෙයක් . ඒ වෙනුවෙන් භාවිත කරලා තියෙන්නේ අලි මහත්තුරුන්ගේ ඉනේ තියෙන උල් පිහිය . මරන්න නැත්නම් අලියා අඩපණ ක‍රන්න හරි මේ පිහිය පාවිච්චි කරනවා . මම දැන් කාලෙ කෙනෙක්ගෙන් ඇහුවම එයානම් කිව්වේ අලි බලන කෙනාගේ තියෙන බියජනක ස්වභාවය පෙන්නන්න තමයි එහෙම පිහියක් තියාගෙන ඉන්නේ කියලා . කමක් නෑ ඉතින් ඒකත් ඇත්තනේ . හැබැයි මරු නිල ගැන දන්න කෙනා පිහියක් ළඟ තියාගෙන ඉන්නවා කියන එකේ තවත් යටි අරමුණක් තියෙනවා කියලා කවුරු කවුරුත් මතක තියාගන්න ඕන .

අලි නිල ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ . ආයෙත් දවසක කියන්නම් අලි නිල විදීමේ වෙදකම ගැන . එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.