ඍණාත්මක බව අඩු කරගන්න ප්‍රායෝගික ක්‍රම තුනක්

පුද්ගලයෙක් වශයෙන් මම තුල තිබුණු අඩුපාඩු අතරින් මට වගේම අනිත් අයටත් යම් බලපෑමක් ඇති කරපු දෙයක් තමයි මගේ ඍණාත්මක චින්තනය. මගේ ඉලක්ක කරා යන්න නම් යම් දුරකට හෝ ඍණාත්මක බව අඩු කරගෙන මීට වඩා ධනාත්මක විදිහට සිතීමේ අවශ්‍යතාව මතුවුණා.

ධනාත්මක විදිහට හිතන්න සහ වැඩ කරන්න පුරුදු වීමට මම අනුගමනය කරපු ක්‍රම තුනක් ගැන අපි බලමු.

1) Self Awareness

අප වැඩ කරද්දි තරමක් සිහියෙන් වැඩ කළ යුතුයි. අපි අපි ගැනම අවධානයෙන් බලන්න ඕනේ. මම දකින විදිහට මුලින්ම කළ යුතු දේ වන්නේ තමන් ඍණාත්මක වෙන අවස්ථා වලදි අපේ සිතිවිල්ල හෝ ක්‍රියාව ඍණාත්මකයි කියලා හඳුනා ගැනීමයි. භයානකම දේ වන්නේ අප ඍණාත්මකව කටයුතු කරන බව හඳුනාගන්නේ නැතිව තමන්ටත්, අනුන්ටත් අප නොදැනුවත්වම කරන අයහපත් බලපෑමයි. මුලින්ම තමන් ඍණාත්මක වන අවස්ථා සහ තමන්ගේ ක්‍රියාවන්ගෙන් වෙන බලපෑම ගැන අවබෝධ කරගත් විට, දෙවනුව ඉන් මිදෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.

2) Gratitude

මම ඇතුලුව බොහෝ දෙනෙක් කරන වරදක් තිබෙනවා. තමන් ලඟ තියන, අප සතුව පවතින සම්පත් සහ වටිනා දේවල් හඳුනාගන්න බොහෝ විට අප අසමත් වෙනවා. තමන් ලඟ නැති දේවල් හඹා යෑමටයි අප පුරුදු වී සිටි⁣න්නේ. කතාවකුත් තියෙන්නේ තියනකල් වටිනාකමක් නෑ, නැති වුණාට පස්සේ තමයි වටිනාකම තේරෙන්නෙ කියලා.

තමන්ට නැති දේවල් ගැනම නිතර කන්කෙඳිරිගෑම තව සමහරු කරන වරදක්. මට අරක නෑ මේක නෑ, තිබුණා නම් අරෙහෙම කරන්න තිබුණා කියලා කියනවා. මේ අවස්ථා දෙකෙහිදිම නිතර අවධානය යොමු කරන්නේ තමන් ලඟ නැති දේවල් වලටමයි.

නමුත් අපට පුලුවන් අප ලඟ තියන හොඳ දේවල් වලට අවධානය යොමු කරන්න. ඒ අප සතුව තිබෙන සම්පත් හෝ අපත් සමඟ ඉන්න පුද්ගලයන් වෙන්න පුලුවන්. ඒ හොඳ දේවල් හඳුනගෙන ඒවා අගය (appreciate) කිරීමෙනුත් අපි positive විදිහට බලන්න පුරුදු වෙනවා.

3) හැම මනුස්සයෙක් තුලම තියන හොඳ ගුණ දකින්න පුරුදු වෙන්න

මේකත් අපි යම් ආයාසයක් යොදලා කළ යුතු දෙයක්. සමහරුන්ට නම් ස්වභාවයෙන්ම, නැතිනම් ඇඟෙන්ම මේක එනවා. නමුත් මට මේ ගුණාංගය තිබු⁣⁣ණේම නැති දෙයක්. මට අදටත් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ නරක පේනවා වැඩියි. අන්න ඒ දුර්වලකම හඳුනාගන්නත් මට Self Awareness වැදගත් වුණා. දැන් තරමක් උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ හොඳ දේවලුත් දකින්නයි.

මේ හැම ක්‍රමයකින්ම අපි උත්සාහ කරන්නේ අයහපත්, ඍණාත්මක සිතුවිලි වලින් ඈත් වෙලා යහපත්, ධනාත්මක සිතුවිලි අපි තුල හදාගන්නයි. මෙය නිතර පුහුණු විය යුතු දෙයක්. ඉහත ක්‍රම තුන නිතර පුහුණු වීම තුලින් ධනාත්මකව සිතීම අප පුරුද්දක් කරගන්නවා. මුලින් යම් ආයාසයකින් කළ යුතු දෙයක් වුණත් කාලයත් සමඟ පුහුණු වීම තුලින් ඉබේම ධනාත්මකව හිතන්න සහ වැඩ කරන්න අප පුරුදු වෙනවා

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.