ජාත්‍යන්තර අධ්‍යාපන දිනය

January 24, 2018

ජනවාරි මාසයේ 24 වන දිනට ජාත්‍යන්තර අධ්‍යාපනික දිනය යෙදිලා තියෙනවා. 

ගෝලීය සාමය සහ තිරසාර සංවර්ධනය ගෙන ඒම සඳහා අධ්‍යාපනයේ කාර්යභාරය සැමරීම වෙනුවෙන් තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2018 අවුරුද්දෙ දෙසැම්බර් 03 වෙනිදා මේ දිනය ප්‍රකාශයට පත් කරලා, ඒ යෝජනාව සම්මත කර ගත්තෙ.

තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට පදනම වෙන්නෙ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමයි. ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගන්න වගේම, ලෝකයේ විශාලතම ගැටලුවලට අලුත් විසදුම් නිර්මාණය කරගන්නත් අධ්‍යාපනය ඉවහල් වෙනවා.

2015 අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේදී තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සම්මත කරන අවස්ථාවෙදි, ජාත්‍යන්තරය පිළිගත්තේ ඒ න්‍යාය පත්‍රයේ අරමුණු 17ම සාර්ථක කර ගැනීමට අධ්‍යාපනය අත්‍යවශ්‍ය බවයි. ඒ නිසාම ඒ න්‍යාය පත්‍රයේ 4 වෙනි ඉලක්කය විදිහට, 2030 අවුරුද්ද වෙන කොට “සියල්ලන්ටම ඇතුළත්  සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම” කියන අරමුණත් ඇතුළත් කරලා තියෙනවා.

ලෝකයේ සමහරක් රටවල ගුණාත්මක අධ්‍යාපනයක් නොමැතිකමට හේතු විදිහට ප්‍රමාණවත් පුහුණුව ලත් ගුරුවරුන් නොමැතිකම, පාසල්වල දුර්වල තත්වයන් සහ ග්‍රාමීය දරුවන්ට ලබා දී ඇති අවස්ථාවන් වල තියෙන ගැටළුකාරී බව කියලා හොයාගෙන තියෙනවා. දැන් අපි ගෝලීය වශයෙන් අධ්‍යාපනය සම්බන්ධව දළ විශ්ලේෂණයක යෙදෙමු.

* දැනට පාසලෙන් බැහැරව ඉන්න, අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමුන් ප්‍රමාණය මිලියන 265 කට වැඩියි.
* එයාලගෙන් 22%ක් ප්‍රාථමික පාසල් වයසේ පසුවන අයයි (මිලියන 57ක්)
* සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බඳවා ගැනීම 91%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා 
* පාසල් නොයන ළමයින්ගෙන් 50%කට වඩා ජීවත් වෙන්නෙ අප්‍රිකාවේ
* ලෝකයේ ප්‍රාථමික පාසල් වයසේ ළමයින්ගෙන් 50%ක් ජීවත් වෙන්නෙ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවලයි
* ලොව පුරා තරුණ තරුණියන් මිලියන 617කට මූලික ගණිතය සම්බන්ධ දැනුම සහ සාක්ෂරතා (අකුරු ලිවීම) කුසලතා නෑ.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.citypassguide.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.