ජංගම දුරකථන සහ අකුණු

අකුණක් යනු වලාකුළක සිට පහතට පැමිණෙන ආරෝපණ ධාරාවක් පොළවේ ඇති යම් වස්තුවක් හරහා භූගත වීමයි. එබඳු ධාරාවක් ගලා යන වස්තුව අකුණු පහරකට ලක් වුනා යයි කියනු ලැබේ. මෙම ධාරාව ඉතා කෙටි කාලයකදී ගැලුවත් එහි තිව්‍රතාවය ඉතා අධික බැවින් (සාමාන්‍ය ගෘහ පරිපථයක ගලන ධාරාව මෙන් 3000 ගුණයකින් පමණ විශාල) අකුණු ප්‍රහාරයට ලක්වන යමක් විශාල හානියකට පත්විය හැක.

මෙහිදී පොළව කරා පැමිණි ආරෝපණ ධාරාව කුමක් හරහා භූගත වේදැයි තීරණය කරන්නේ ආරෝපණ ධාරාව පොළවේ සිට මීටර් 50-100 පමණ ඉහල ඇති විටයි.

යමකට අකුණක් වදින ඉඩකඩ වැඩිවීමට ප්‍රධාන කාරණා හතරක් බලපායි. එනම්,

01. එහි උස; සාමාන්‍යයෙන් උස වැඩි යමකට අකුණු වදින ඉඩකඩ වැඩිය.
02. එහි සන්නායකතාවය; සන්නායකතාවය අධික ලෝහ කුළුණු වැනි දෙයට අකුණු වදිනවා වැඩිය.
03. එහි තියුණු තුඩු සහ දාර තිබීම; එවැනි වස්තුවකට අකුණු වැදීමට ඇති ඉඩකඩ වැඩිය.
04. ඒ අවට පසෙහි සන්නායකතාවය; පසෙහි සන්නායකතාවය වැඩි නම් අකුණු වැදීමට ඇති ඉඩකඩද වැඩිය.

මිනිසෙක් අකුණු පහරකට ගොදුරු වීමටද ඉහත සාධක බලපායි. මෙහිදී ඔහු අත තිබෙන ජංගම දුරකතනයක්, ලෝහ භාණ්ඩයක් හෝ ඔහු පැළඳ සිටින වස්ත්‍රයේ ඇති ලෝහ කොටසක් නිසා අකුණක් වැදීමේ සම්භාවිතාවය වැඩි වීමට කිසිඳු ඉඩකඩක් ඇතැයි ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත. මෙහිදී ජංගම දුරකථනය සන්නිවේදනයෙහි නිරත වුවාද නැත්ද යන්නද බල නොපායි.

අනාරක්ෂිත නිවෙසක් තුල හෝ ගසක්, උස කුළුණක් වැනි යමක් ආසන්නයේ සිටින අයෙකුට එම වස්තුවට වදින අකුණක පැති ප්‍රහාරයක් වැදිය හැක. මෙබඳු අවස්ථාවක අකුණු ධාරාව අසල සිටින්නාගේ සිරුර මතට ප්‍රගමනය වන්නේ කෙටි විද්‍යුත් පුලිඟුවක් ආකාරයෙනි. උදාහරණයක් ලෙස නිවසකට අකුණක් වැදුණු විට බිත්ති දිගේ ගලන අකුණු ධාරාවෙන් කොටසක් අසල සිටින පුද්ගලයකුගේ හිසට විද්‍යුත් පුලිඟුවක ආකාරයෙන් පැනිය හැක. අකුණු සහිත කාලගුණයක් පවතින විට අකුණු ආරක්ෂණයෙන් තොර නිවසක සිටින අයෙක් බිත්තිවලින් මීටර් 2 ක් වත් ඈත්වී සිටින ලෙස උපදෙස් දෙන්නේ එබැවිනි.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.