නගර්නෝ-කරබාක් හි අවසන් ප්‍රහාරය​

September 28, 2023

ඉකුත් සැප්තැම්බර් 19 වනදා අසර්බයිජානය විසින් නගර්නෝ-කරබාක් ප්‍රදේශය ඉලක්ක කරගෙන දියත් කරන ලද හමුදා මෙහෙයුම් බලාපොරොත්තු වූවාට ද වඩා වේගයෙන් සාර්ථක වූයෙන් වසර තිහකට අධික කාලයක් මුළුල්ලේ පැවති අර්බුදයකට හමුදාමය අවසානයක් ළඟා වුණා. එහෙත් ඒ තුලින් මතුවිය හැකි මානුෂීය අර්බුදය පිළිබඳ තවම පවතින්නේ විශාල අවිනිශ්චිතභාවයක්.

නගර්නෝ-කරබාක් හි ආර්මේනියානු ජනවාර්ගිකයන් අත පැවති කොටසට අසර්බයිජාන හමුදා සැප්තැම්බර් 19 වනදා පහර දුන්නේ ත්‍රස්ත කටයුතු මැඩලීමේ මෙහෙයුමක් ලෙස එය හඳුන්වා දෙමින්.

මුලින්ම නගර්නෝ-කරබාක් හි ක්‍රමෝපායිකව වැදගත් ස්ථානවලට ඉලක්කගත ප්‍රහාර එල්ල වූ අතර ඉන් අනතුරුව අසර්බයිජාන හමුදා ප්‍රතිවාදීන් සතුව පැවති ප්‍රදේශ වෙත ඇතුල් වන්නට පටන් ගත්තා.

දිනක් ගතවන විට වැදගත් උස්බිම් සහ මං සන් ධි ගණනාවක් අසර්බයිජාන හමුදා අතට පත්ව තිබුණා. එම අවස්ථාවේදී රුසියානු සාම සාධක හමුදාවල ද මැදිහත්වීමෙන් සටන් විරාමයක් කරා දෙපාර්ශවය එළඹුණා. එම සටන් විරාමය අනුව නගර්නෝ-කරබාක් හි සන්නද්ධ කණ්ඩායම් අවි අතහැරීමට එකඟ වූ අතර ආර්මේනියානු ජනවාර්ගිකයන්ගේ අයිතීන් සුරකින බව අසර්බයිජානය කියා සිටියා. එහෙත් අසර්බයිජානයේ ප්‍රතිඥා පිළිබඳ වැඩි විශ්වාසයක් ආර්මේනියානුවන් තුළ නැහැ.


නගර්නෝ-කරබාක් ගැටුම් කලක් තිස්සේ පැවතියා

කෙසේ වෙතත් නගර්නෝ-කරබාක් සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමේ කටයුතු ඊළඟ දිනවලදී ක්‍රියාවට නැගුණා. යුධ ටැංකි කිහිපයක් සහ වෙනත් අවි ආයුධ රැසක් මෙසේ අසර්බයිජාන හමුදා වෙත භාරදෙනු ලැබුණා. මේ අතර ආර්මේනියානු ජනයා නගර්නෝ-කරබාක් වෙතින් පිටවීමට පටන් ගෙන තිබෙනවා. ආර්මේනියාව පවසා තිබෙන්නේ ඔවුනට එරට දේශසීමා විවෘතව ඇති බවයි.

නගර්නෝ – කරබාක් ගැටුම​​
ආර්මේනියාව සහ අසර්බයිජානය අතර නගර්නෝ-කරබාක් ප්‍රදේශය අරභයා ගැටුමට දිගු අතීතයක් තිබෙනවා. සෝවියට් සංගමය ස්ථාපිත වූ පසු අසර්බයිජානයට අයත් ස්වතන්ත්‍ර ප්‍රදේශයක් ලෙස නගර්නෝ-කරබාක් ස්ථාපිත කෙරුණා. එහෙත් එහි අති බහුතර ජනතාවක් ආර්මේනියානුවන් වුණා. එහෙයින් ආර්මේනියාව මෙම ප්‍රදේශය තම සමූහාණ්ඩුවට එක් කරන ලෙස ඉල්ලා සිටිය ද සෝවියට් බලධාරීන් එයට එකඟ වූයේ නැහැ.

මිහායිල් ගොර්බචොෆ්ගේ පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගෙන සමයෙහි නැවතත් මෙම අර්බුදය කරලියට පැමිණියා. එහෙත් එම අවස්ථාවේදී ද එයට විසඳුමක් ලැබුණේ නැහැ.

සෝවියට් දේශය බිඳ වැටෙද්දී අසර්බයිජානය සහ ආර්මේනියාව ස්වාධීන රාජ්‍යයන් බවට පත්වුණා. නිල වශයෙන් නගර්නෝ-කරබාක් ප්‍රදේශය අයත් වූයේ අසර්බයිජානයටයි.

එහෙත් ආර්මේනියානුවන් එහි තම බලය තහවුරු කරගත්තා. ප්‍රදේශයේ පාලනය අරභයා දෙරට අතර යුධමය තත්ත්වයක් ද 1990 දශකයේ හටගත් අතර එය අවසන් වූයේ ආර්මේනියාවට ජයග්‍රහණයක් අත්කර දෙමින්. මේ අනුව නගර්නෝ-කරබාක් හි ආර්මේනියානු බලය තහවුරු වුණා.

එහෙත් නිල වශයෙන් මෙම ප්‍රදේශය අසර්බයිජානයට අයත් යයි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා හෙයින් ආර්මේනියාව මෙම ප්‍රදේශය කෙලින්ම ඈඳාගත්තේ නැහැ. ඒ වෙනුවට මෙම ප්‍රදේශයෙහි ස්වාධීන පාලන තන්ත්‍රයක් පිහිටවනු ලැබුණා. එය ආර්මේනියානුවන් විසින් හඳුන්වන ලද්දේ ආර්ත්සාක් ජනරජය ලෙසයි.


ප්‍රදේශයේ සිතියම​. ලා කහ පාටින් නගර්නෝ-කරබාක් දැක්වේ

මීළඟ වසරවලදී ද විටින් විට මෙම ප්‍රදේශය පිළිබඳව දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවුණත් එය දැවැන්ත යුධමය තත්ත්වයක් කරා ගියේ නැහැ. කෙසේ වෙතත් මේ අතර අසර්බයිජානය තම හමුදා ශක්තිය පුළුල් කළා. එමෙන්ම එම හමුදාවන් නවීකරණය කෙරුණා.

අසර්බයිජානය ආර්මේනියාවට වඩා විශාල ජනගහනයක් සහිත රාජ්‍යයක් වූවා සේම එය තෙල් නිපදවන රාජ්‍යයක් ද වනවා. එහෙයින් අසර්බයිජානයට සිය හමුදා නවීකරණය සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම ගැටළුවක් වූයේ නැහැ.


Click on the Image

2020 වනවිට අසර්බයිජානය ආර්මේනියානු පාලනයෙන් නගර්නෝ-කරබාක් ප්‍රදේශය උදුරා ගැනීමට හැකි තත්ත්වයක සිටියා. තුර්කියෙන් සහ ඊශ්‍රායලයෙන් ලද ඩ්‍රෝන ද යොදාගෙන සති කිහිපයක යුද්ධයකින් අනතුරුව අසර්බයිජාන හමුදා නගර්නෝ-කරබාක් හි ප්‍රදේශ සමහරක් අල්ලාගත්තා.

රුසියාවේ මැදිහත් වීමෙන් ප්‍රදේශයේ සටන් විරාමයක් ඇතිකරගන්නා විට නගර්නෝ-කරබාක් ප්‍රදේශයෙන් සැලකිය යුතු කොටසක් අසර්බයිජාන පාලනය යටතේ තිබුණා.

@elearninglk

අවසන් ප්‍රහාරය​​
2020 දී ලද දැවැන්ත පරාජයෙන් අනතුරුව ගතවූ සමයේ රුසියාව මෙන්ම යුරෝපා සංගමය ද මැදිහත්ව මෙම ගැටළුව නිරාකරණය කරගැනීමේ සාකච්ඡා පවත්වන්නට කටයුතු කළා.

මේ අතරතුර දී එක්තරා අවස්ථාවක ආර්මේනියානු අගමැති නිකොල් පශින්යාන්, නගර්නෝ-කරබාක් අසර්බයිජානයට අයත් කොටසක් ලෙස පිළිගැනීමට පවා එකඟ වුණා. ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයේ ස්වයං පාලන බලතල අසර්බයිජානය විසින් ලබා දියයුතු බවයි. කෙසේ වෙතත් අසර්බයිජානය ඒ සඳහා උනන්දුවක් දැක්වූයේ නැහැ.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

සටන් විරාමයෙන් අනතුරුව ආර්මේනියාව සහ නගර්නෝ-කරබාක් හි ආර්මේනියානු පාලනය යටතේ වූ ප්‍රදේශ අතර සබඳතාව රැඳී තිබුණේ ලචින් කොරිඩෝව නම් බිම් තීරයක් හරහායි. කෙසේ වෙතත් එම කොරිඩෝව හරහා නගර්නෝ-කරබාක් හි ආර්මේනියානුවන් ආයුධ ගෙන්වන බවට චෝදනා කරමින් සති කිහිපයකට පෙර අසර්බයිජානය විසින් එම කොරිඩෝව වසා දමනු ලැබුණා.

ඒ සමගම එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ගෙන ඒම සිදු නොකළ හැකි වූ අතර, ආහාරපාන සහ ඉන්ධන ප්‍රමාණවත් තරම් නොමැතිව ජනතාව පීඩා වින්ඳා.


නගර්නෝ-කරබාක් හැර යන ප්‍රදේශ වාසීන්

සැප්තැම්බර් 19 දා ප්‍රහාරය එල්ල වූයේ එම පසුබිමේයි. නගර්නෝ-කරබාක් සන්නද්ධ කණ්ඩායම් අසර්බයිජාන ප්‍රහාර හමුවේ පරාජයට පත්වීමට ගතවූයේ දිනක් පමණයි. ඔවුන් සටන් නවතා අවි බිම තැබීමට එකඟ වුණා.

මේ වනවිට අසර්බයිජාන ආණ්ඩුවේ මර්ධනයට මුහුණදීමට වේය යන බියෙන් ආර්මේනියානුවන් නගර්නෝ-කරබාක් අතැර යාමට පටන්ගෙන තිබෙනවා. නගර්නෝ කරබාක් හි 100,000 ක පමණ ආර්මේනියානුවන් සිටී යයි අනුමාන කෙරෙනවා. ඔවුන් බාරගැනීමට ආර්මේනියාව සූදානම් යයි පැවසුවද​, විශාල ජනකායක් ආර්මේනියාව කරා පැමිණියොත් කිනම් ආකාරයේ මානුෂීය ගැටළු ඇතිවේද යන්න අපට ඉදිරි සතිවලදී දැකගන්නට ලැබෙනු ඇති.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.