අත් පා අහිමි වුවද ජීවිතය දිනූ නික්

ඔබ කැඩපත ඉදිරියට ගිහින් ඔබ මං කැතයි, අවලස්සනයි, ඇයි මටම මෙහෙම වෙන්නේ, අනිත් අය කොච්චර ලස්සනයි… වගේ දේවල් හිතලා තමන්ම තමන් ගැන පහත් ලෙස හිතනවා නේද? ඔබට ඔබ ගැන එන්නේ සෘණාත්මක හැගිමක් නේද? තවත් එහෙම හිතන්න යන්න එපා. මේ කතාව ඇහුවට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙස වෙනස් වීම සිදු වේවී.

සෘණාත්මකව එහෙම හිතෙන නොහිතෙන හැමෝටම මං මගේ 05 වැනි ලිපිය ලියන්නට තෝරා ගත්තේ අත්පා අහිමි වුවද අද වෙද්දි ලෝකයේ පළමු පෙළ වැජඹෙන අභිප්‍රේරකයකු ගැනයි.

ඔව්, අපි අද කතා කරන්නේ Nick Vujicic හෙවත් Nicholas James Vujicic ගැනයි. මොහුගේ උපත ගැන කතා කළොත් මොහු උපන්නේ 1982 දෙසැම්බර් 04 ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේය. මොහු උපදින්නේ Tetra-Amelia Syndrome හෙවත් අත් පා අහිමි වීමේ දුර්ලභ රෝගයත් සමගයි. මොහු උපන් මොහොතේ මොහු දුටු පියාට වමනය සමග සිහිනැතිවීමක් සිදුවෙලා තියෙනවා. මොහුගේ මව එය දැක තම දරුවා තමාට පෙන්වන ලෙස කියා සිට ඇති අතර නික් පෙන්වු සැනින් මොහු තමාගේ දරුවා නොව කරුණාකර තමන්ගේ ඇත්ත දරුවා පෙන්වන ලෙස කියා නික්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

දරුවෙක් උපන් මොහොතේම මව්පියන් ඔහුව හෝ ඇයව තමන්ගේ නොවේ යැයි කියයි නම් නික් මොනතරම් අසරණ තත්ත්වයකට ලක් වෙන්න ඇතිද? අපිට ඒ අසරණකම කවදාවත් දැනිලා නෑනේද? එහෙනම් හිතන්න ඔබ ඒ අතින් කෙතරම් වාසනාවන්ත පුද්ගලයෙක්ද කියලා.මේ මගේ ලිපි කියවන එහෙම ආබාධ තියෙන අය අවාසනාවන්තයි කියලා නෙමෙයි මං කියන්නේ. ඔයාලාත් මනුස්ස ආත්මයක ඉපදිලා තියෙන්නේ අන්න ඒ වාසනාව, පිං බලය නිසා. හරි අපි යමු කතාවේ ඉදිරියට.

නික්ගේ දෙමව්පියන්ට නික්ව තමන්ගේ දරුවෙක් විදියට පිළිගන්න හිත හදාගන්න මාස හතරක් විතර ගිහින් තියෙනවා. මාස 04ක් ගියාට පස්සේ නික්ව ආදරෙන් භාරගෙන ඔවුන් කොහොමහරි උස් මහත් කර හොද අධ්‍යාපනයක් ලබා දෙන බවට අධිෂ්ඨාන කරගන්නවා. නික්ට තව සහෝදරයෙක් හා සහෝදරියකුත් ඉන්නවා. නික්ගේ අම්මා තාත්තාට අවශ්‍ය වුනේ නික්ට හොද අධ්‍යාපනයක් ලබලා දෙන්න. ඒ නිසා ඔවුන් නික්ව ආබාධීත සිසුන් සමග අධ්‍යාපනයට යොමු කළේ නෑ. සාමාන්‍ය සිසුන් සමග සාමාන්‍ය පාසලක ඉගෙන ගැනීමට යොමු කරන්නේ ඒ නිසාය.

ඒ විදියට පාසල් යන නික් නිතරම යාළුවන්ගේ උසුළු විසුළු වලට ලක්විය. දිනක් පාසල් ගොස් ඇවිත් නික් තම දෙමාව්පියන්ගෙන් මෙහෙම අහනවා “ ඇයි අම්මේ මං මෙහෙම ඉපදුනේ?, මට දැන් ජිවිතේ එපා වෙලා ඉන්නේ හැමෝම මාව පිළිකුල් කරනවා, මට තවත් මේ ලෙ‍ාකේ ජිවත් වෙන්න බෑ “ ඒ වේලාවේ අම්මා තාත්තා මොනතරම් අසරණ වෙන්න ඇතිද? අපි කවදා හෝ දවසක අපිට නොලැබුණ දේවල් ගැන මේ වගේ කොච්චර හිතලා හිත රිදවාගෙන නම් ඇතිද? තවත් ඒවා ගැන හිතලා අපි කරන්නේ හිත රිදවා ගැනිමක්මයි.

මේ විදියට මානසීකව වැටිලා හිටිය අවුරුදු 10 දී නික් තමන්ගේ ජිවිතය පවා නැති කරගන්න යනවා. ඔව්, දිනක් පිහිනුම් තටාකයේ ගිලියාමට උත්සාහ කරනවා. එක් අවස්ථාවක් පමණක් නොව අවස්ථා කිහිපයකදීම මේ විදියට උත්සාහ කරන නික්ගේ මෙම ක්‍රියාව දැන ගෙන මව විසින් ඔහුගේ හිත හදල‍ා තමන්ගේ අඩුපාඩු ගැන ධානාත්මකව හිතන්නට ඔහුට නව පණක් ලබා දෙනවා. මොහු ඒ විදියට හිත ශක්තිමත් කරන් මරණය වෙනුවට ජිවත්විම තෝරා ගන්නවා.

මේ විදියට ජිවිතේ ගැන අලුතින් හිතන්න ගන්න නික් ලියන්න, පිහිනන්න පුරුදු වෙනවා, රෝද පුටුවක් ක්‍රියාත්මක කරගන්න පුරුදු වෙනවා, තනිවම පරිගණකය හසුරුවන්න හුරු වෙනවා, Golf සෙල්ලම් කරන්න පුරුදු වෙනවා. මේ විදියට ඔහු අවුරුදු 21 දී වාණිජවේදී උපාධියකටද හිමිකම් කියනවා. ඉන්පසුව නික් විසින් 2005 දී life without limits නම් වු ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කරනවා.

ඉන් පසුව 2007 දී Attitude is Attitude නමින් Motivational ආයතනයක් ආරම්භ කරනවා. මේ තුළින් වැටුණු හදවත්වලට කතා කරන්නට ගන්නවා. අද වනවිට ලොව වැඩිම ඉල්ලුමක් ඇති අභිප්‍රේරණ කථිකයෙක් වෙලා. ඔහු කියන ආකාරයට No arms, No legs, No worries My friends. දිනක් පුද්ගලයෙකු ඔහුගෙන් මෙහෙම අහනවා “ කෙදිනක හෝ ඔබට ඔබ ආබාධිත පුද්ගලයෙකු යැයි හැගිලා තියෙනවාද? ” එයට ඔහුගේ උත්තරය වුනේ ආබාධිත පුද්ගලයෙකු කියන්නේ කිසිම දෙයක් කරන්න බැරි පුද්ගලයෙක්ටයි. නමුත් ඔබ මට ඕනෑම දෙයක් කියන්න මං කරලා පෙන්නන්නම්. මගේ ජීවිතේ Imposible කියලා කිසිම දෙයක් නෑ. ඒ නිසා මට මං Disable කියා දැනෙන්නේ නෑ. ජිවිතේ ආශ්චාර්යයක් වනතුරු බලා ඉන්නැතුව තමන් ලෝකයට ආශ්චාර්යයක් වෙන ලෙස ජිවත්වෙන්න” කියලායි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඒ කියන්නේ මිනිසෙකුට ජිවිතේ දිනන්න නම් තමන් සතු දුර්වලතා කිසිම අවස්ථාවකදී තමන්ගේ ගමනට එය බාධාවක් කරගන්න අවශ්‍ය නෑ. ඒකට අවශ්‍ය වන්නේ ධෛර්ය සම්පන්න හිතක්. එහෙම හිතක් කවදාවත් තමන්ට නැති දේවල් ගැන හිත හිතා දුක් වෙවී කාලය කා දමන්නේ නෑ. තමන්ට පුළුවන් විදියට තමන්ගේ ගමන යන්න පාරක් හදගන්නවා.

අද අත් පා හතර හොදට තිබිලත් අවුරුදු විස්ස පැනලත් අම්මා තාත්තා මත යැපී යැපී ඔවුන්ගෙන්ම මුදලින් සැපවත් ජිවිත ගෙවමින් නිකම් කාලය ගත කරන තරුණ පිරිස් කොච්චර නම් සමාජේ ඉන්නවා නේද? තමන්ටවත් සමාජයටවත් කිසිම වැඩක් නැතිව පාරවල් හන්දි ගානේ නිකරුනේ් රාස්තියාදු ගහන පිරිස් , කිසිදු ආදායමක් නැති වුනත් ගෙදරින්ම Data Card එකට පවා සල්ලි ගන්න පිරිස අතරේ නික් කියන්නේ ඇත්තටම වැඩකාරයෙක්. අත් පා නොමැති වුවත් කාටවත් බරක් නොවී තමන්ගේ වැඩ ටික තනියම කරගෙන ජිවිතේ අඩියෙන් පටන් ගෙන අද වෙද්දි රටක් ලොවක් දන්න පුද්ගලයෙක්.

පුංචි දෙයක් තියෙනවා කියන්න. ඒක තමයි නික්ගේ කාමරයේ තියෙනවා පාවහන් යුගලක්. දැන් ඔයාලාට හිතෙනවා ඇති මොකටද මේ පාවහන් යුගලක් කියලා. පාද අහිමි කෙනෙක්ට ඇත්තටම පාවහන් යුගලක් තියාගන්න තරම් පිස්සුද? නෑ ඇත්තටම එහෙම පාවහන් යුගලක් තියාගන්න හේතුව නික්ගෙන් ඇහුවම නික් දීපු උත්තරේ තමයි මේ “ මේ ලොකේ Miracles ගොඩක් සිද්ධ වෙනවා. අන්ධ පුද්ගලයන්ට පෙනීම ලැබීලා ඔවුන් ලෝකයේ ලස්සන දකිනවා. කන් නොඇසෙන පුද්ගලයන්ට ඇසීම සලස්වන උපකරණ තියෙනවා. ඔවුන් එයින් ලෝකයේ තියෙන ලස්සනම සංගීතයන් අහනවා.

ඒ වගේම මටත් විශ්වාසයි කෙදිනක හෝ මගෙත් අත් පා වර්ධනය වෙයි කියලා. අන්න එදාට මං මේ පාවහන් යුගල පැළද ගෙන ලෝකේ වටේම ඇවිදින්න යනවා. ලෝකයේ සුන්දරත්වය විදිනවා “ කියලා.

මේකෙන් කියවෙන්නේ ඔහු තමන් ගැන විශ්වාසයක් තදින්ම තිබුණු කෙනෙක් කියලා. අද අපිට නැත්තෙත් ආත්මවිශ්වාසමයි. අන් අයව හිස මුදුනින් තියාගෙන විශ්වාස කරනවා. ඒත් මන් ගැන තමන්ට නැති වු දෙයක් කවදා හෝ ලැබෙයි කියන තැන ඉදන් ජිවිතේ සැලසුම් කරන විදිය අපි සැලසුම් කරන්නේ නෑ. නික් තමන්ට නැති වූ දේවල් ගැන හිතලා දුක්වෙවී හිටියේ නෑ. ඒ දේවල් කවදා හෝ ලැබෙයි එතකන් ජිවිතේට සාර්ථකව මුහුණ දෙන්න ඔහු කටයුතු කළා.

අද වෙද්දී නික්ට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම නික් ඇය සමග විවාහ වෙලා ඔවුන්ට දරුවන්ද ලැබිලා ඔවුන් ඉතා සතුටින් ජිවත් වෙනවා. දෛවය ඔබට දෙන්නේ කිසිම හැඩයක් නැති මැණිකකි. ඒ මැණික තමයි ඔයාගේ ජිවිතේ. ඔබ තමා එය ඔප දලා ලස්සන මැණිකක් කරන්න ඕන. නික්ගේ ජිවිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ රාශියක් තියෙනවා. ඉන් කිහිපයක් මං මේ විදියට සාරාංශ කරන්නම්‍.

1. කායික ආබාධ තමන්ගේ ජිවිතයට ආබාධයක් කරගන්න එපා
2. තමන් තමන්ව විශ්වාස කරන්න
3. ජිවිතයට අභියෝග එද්දී එයින් මිදීමට ලේසීම ක්‍රමය ලෙස ජිවිතේ හානි කරගන්න යන්න එපා
4. තමන්ට නැති දේවල් ගැන හිතන්න එපා. ඒ දේවල් ලැබෙයි කියලා විශ්වාස කරන්න
5. තමන්ගේ වැඩ තනියම කරන්න උත්සාහ කරන්න
6. ධානාත්මකව හිතන්න



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ ආදර්ශ කිහිපයක් විතරයි. මේ කතාවෙන් ඔයාලාට ගන්න දේවල් නම් ගොඩක් තියෙනවා. තරුණවියේ ඉන්න තමන්ගේ හීන, ඉලක්ක, අභියෝග නිසා අතහැරපු යාළුවන්ටමයි නික් ගැන ලියන්න හිතුවේ. කායික ආබාධ අමතක කර තමන්ගේ ජිවිතේ සාර්ථකත්වයට ආපු පුද්ගලයෙකුගේ ජිවිත කතාව තුළින් පාඩමක් ඉගෙන ගෙන ඔබත් ජිවිතේ සාර්ථකත්වයට පත් කර ගනී යැයි මගේ විශ්වාසයයි.

මගේ කලින් ලිපි සියල්ලම කියවා ඇති කියලා හිතනවා. එවායේ අඩුපාඩු , ගුණදොස් ඇත්නම් අනිවාර්යයෙන්ම Comment කරන්න. මමත් ආසයි ඔයාලා මගේ ලිපි ගැන මොකද හිතන්නේ කියලා දැනගන්න. 06 වෙනි ලිපියෙන් ඊළග සතියෙත් හමුවෙමු. අමතක නොකර ලිපියේ හොද නරක කියන්න. ඒ දේවල් ඔයාගේ ජිවිතේටත් ආදේශ කරගෙන වෙනස් වුනු ජිවිතේ ලබපු අත්දැකීම්, ලබපු සාර්ථකත්වයත් අපිත් එක්ක බෙදාහදා ගන්න අමතක කරන්න එපා. ඉක්මනින් හමුවෙමු. පරිස්සමින් ඉන්න. ජයෙන් ජය !

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....