පිරිසිදුකම (Obsessive Compulsive Disorder?)

“අහ්.. විකුම් මලයා… අප්පේ… දැක්ක කාලයක්…”?

“අපෙ හාමුදුරුවො…” කමක් නැද්ද මාත් මෙතැන ඉදගත්තාට…”?

බොරැල්ලෙන් බසයට නැග්ග මට, ඔහු හමුවූයේ වසර 3ට පමණ පසුව විය යුතුය.

“කමක් නැ කමක් නැ… මල්ලි, ස්ත්‍රීලිංග නෙවෙයිනේ…” ? යැයි මම ඔහුට විහිළුවක් කරමින්, පූජ්‍ය පක්ෂයට තිබෙන ආසනයේ හිඳගැනීමෙන් වැලකී, ඊට වම්පසින්, ඉදිරිපස දොරට මුහුණලා ඇති ආසනයේ විකුම් මල්ලී සමඟ වාඩිවූයේ පූජ්‍ය පක්ෂය ආසනයේ මේ වෙලාවට දැඩි අව්රශ්මියක් වැටෙන බව දන්නා හෙයිනි.

“ඉතිං Aquinas යන කාලේ දැක්කට පස්සේ නේද මේ…”?

“එහෙමයි අපේ හාමුදුරුවො… අපෙ හාමුදුරුවො නම් දැන් lecturer කෙනෙක් කියලා ආරංචි…” ?

“එකනේ… මලයා දැන් මොකො කරන්නේ…”?

“Japanese course එකක් කරනවා හාමුදුරුවො, මෙහෙ ඉදලා වැඩක් නැ අප්පා…”?

ඔහු, ඒතරම් කෙට්ටු කෙනෙක් නොවේ. ඒහෙත් ඔහුත් මාත් ඉදගත් බස් ආසනය, දෙදෙනකුට පමණක් ඉදගත හැකි වුවත්, මැද තවත් කෙනෙකුට ඉදගත හැකිවන සේ ඔහු ඉඩ තබාගෙන අපහසුවෙන් අසුන්ගෙන සිටින බවක් පැහැදිලිව පෙනේ. ?

“මොකද මලයා… ඇගෙ ගෑවුනොත් ලෙඩක් බෝ වෙයි කියලාද ඈතින් ඉන්නේ. ?… ?

“අනේ නෑ… අපේ හාමුදුරුවො…

අපේ හාමුදුරුවොයි මායි ඉතිං අවුරුදු කීයක් Aquinas canteen එකේ තේ බීපු අයනෙ“?

මා ඔහුව කලක් දන්නා පරිද, ඔහුගේ මුහුණෙ මීට වඩා එළියක්, සිනහවක් නිතර ඇදී තිබුණි. අද එය අතුරුදන්ව ඇති සෙයක් දක්නට ලැබේ.

“අපේ හාමුදුරුවො… මං ගාව දාඩිය ගඳ ද?”

ඔහු එකවර ඇසු ප්‍රශ්නයෙන් මට මුවට සිනාවක් නැගුණි. ?

“පිස්සු ද කොල්ලො… ඔය එන්නේ හොඳ scent සුවඳක්…”

“එහෙනම්… කට ගඳක් ?”?

“මොකද මලයො… මේ… කවදාවත් නැතුව… නෑ… එහෙම එකක් නැ…”?

ඉන්පසු හරිබරි ගැසී ඉදගත් ඔහුගෙන් මම නැවතත් මෙසේ ඇසීමී.

“මලයා… මොකද වුනේ කියන්න… මූණත් ඇදවෙලා වාගේ…”?

ඔහුගේ මුහුණ ඇඩුම් එමට තරම් කළු වී ඇත. නිහඩව විනාඩි කීපයක් සිටි ඔහු, “අද මගෙ love එකට, bye කීවා හාමුදුරුවො…” යැයි කියා ඔහු ජනේලයෙන් ඉවත බලාගත්තේය.?

ඔහු විසින් මනසේ, දැඩි වේදනාවක් හිරකරගෙන ඇති බව මුහුණින් දක්නට ලැබිණි. ‘පියෙහි විප්පයොගො’-‘ප්‍රියයන්ගෙන් වෙන්වීම’ ලොව ඇති ප්‍රබලම දුකකි. වේදනාවකි. ?

මෙය ප්‍රශ්නයක් කතා කිරීමට හැකි තැනක් නොවේ. හැකී සෑම විටකම තවත් මනුෂ්‍යයෙකු වෙනුවෙන් කාලය කැපකිරීම උතුම්ම කියාවකි. ‘පරත්ථං පටිපජ්ජථ’ ?

“මල්ලි… කාලෙකින්නේ හම්බුනේ… අර ඉස්සරහා juice bar එකෙන් මොනවාහරි බොමු ද” යනුවෙන් කියා මා ඉස්සරවුයේ… ඔහුප්‍රතික්ෂේප කරන්නටත් පෙරය.

දැඩි අවුරස්නය සහිත මේ වේලෙහි A.C කරන ලද juice bar එක, කථාවට අපූරු තැනකි. එක් යුවලක් ඇරුනුකොට වෙනත් කවුරුත් නොමැති වීම කතාවට තවත් සහනයකි. ඕනෑම ගැටලුවක් කතා බහ කිරීමට, සුදුසු පරිසරයක්, වෙලාවක්, තැනක් නිදහසක් තිබීම, මූලික කාරණයකි. බොහෝ ගැටලු දුරදිග යන්නේ, සුදුසු නැති තැන කතා කරන්නට යාමෙනි.?

“ඉතිං… මල්ලි…”

“අවුරුද්දට වැඩිය ආශ්‍රය කරා හාමුදුරුවො… අද නැවැත්තුවා… එපා වෙනවා… එයාගේ ඕනිවට වඩා තියෙන පිරිසිදුකම…” ?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වාන් දොරටුව හැරියාක් මෙන් ඔහු තමන්ගේ වේදනාව එළියට දාන්නට විය. ගැහැණු-පිරිමි බේදයකින් තොරව, තමන්ට විශ්වාසී කෙනෙක් මුණගැසුණු විට අභ්‍යන්තර ප්‍රශ්න එලියට දැමීමට, ඉන් සහනයක් ලැබීමට සැමදෙනාම කැමතිය. චීවරය යනු ඒ විශ්වාසය පමණටත් අධිකව ගෙන එන දෙයකි. යාළුකම ඊට තවත් රුකුළකි. ?

“මට තේරෙන්නෑ මල්ලි, මුල ඉදලා කියමු ද?”

“මම Japanese course එක කරද්දි තමයි ඒයාව හම්බුනේ… එයා, සකුරාමලක් වාගේ ලස්සනට පිළිවෙලට හිටියා හැමදාම…” මම එයාගේ ගොඩක් කැමැති වුනේ.එයාගෙ තියෙන පිළිවෙල පිරිසිදුකම නිසා. එයා නිතරම අත් හෝදන කෙනෙක්… කොයි වෙලෙත් අතේ ලෙන්සුවක් තියාගෙන අත පිහදානවා… අතට දාඩිය දානවා කියලා… යාලුවෙච්චි අලුත එයා කැමැති වුනේ නැ මම එයාගේ අතින් අල්ලනවාට…“ ? මම ඉතිං හිතුවේ ඒක එයාගේ හැටි වෙන්නැති කියලා… එයා එයාගේ අම්මා එක්ක ඔක්කම කියන නිසා, මට එන්න කියලා තිබ්බා එයාගේ ගෙදර…

එයාගේ අම්මා මට විස්තරය කීවා, එයා අධිකව පිරිසිදුකම ගැන හිතන කෙනෙක්… කාමරය උනත් හරිම පිරිසිදුයි…“ ගෙදර හරියට රණ්ඩුකරනවා කිවා… පිළිවෙල නැතිවුනොත්…? හූණු බෙට්ටක් එයාගේ කාමරේ තිබුණොත්… මුළු කාමරයම mop කරන ජාතියේ කෙනෙක් කියලා… අම්මා කිවේ… “ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න… කරදරයක් කියලා හිතලා දාලා යන්න එපා කියලා… ?

ඊට පස්සේ තමයි මම දැනගත්තේ… මට කලින්, දෙන්නෙක්ම… එයාගේ මේ අනවශ්‍ය පිරිසිදුකම නිසා එයා එක්ක ඉන්න බැරිව දාලා ගිහිල්ලා කියලා… මම එයාගේ කාමරයට ගිහිල්ලා ඉදගෙන හිටියේ එයාගේ ඇඳ උඩ. මම නැගිටලා එලියට එනකොට… එයා මුළු ඇඳම, එක රැල්ලවක් නැතිවෙන්න ආයේ හැදුවා…“ ඒක පිරිසිදුකම පිළිවළද ලෙඩක් ද කියලා හිතන්න බැ… ?

හරිම කරුණාවන්ත කෙනෙක්… අනවශ්‍ය කිසිම දේකින් හිත රිද්දන්නෑ… සැක කරන පුරුදු… තරහා වෙන දේවල් මා එක්ක තිබිලා නැ… මට එපා වෙන්න ගත්තේ… අපි කට්ටිය trip එකක් ගියපු දාක… මෙයා යන්න බෑම කීවා. හේතුව විදිහට කිවේ ඒවාගේ ගිහිල්ලා ඒ තියෙන toilet වලට යන්න බැ කියලා.. ඇත්තටම මෙයා හරියට වතුරවත් බීවේ නැ… උදේ ගියපු ගමන රෑවෙලා ගෙදර, එයාගේ toilet එකට යනකල්ම හිටියා… ?

එදා නම් මට මෙයා එක්ක ජිවිතයක් නැ… කියලා මම අයින් වෙලා හිටියත්… පහුගිය දවසක නැවත යාලුවෙලා…අද මේ film hall එකකට ගිහිල්ලා එනගමන්… ?

එත් හාමුදුරුවො විශ්වාස කරනවාද අවුරුද්දක් ගිහිල්ල… තවම එක kiss එකක් දීලා නැ… ? අද මම ඒක කීවාම… බොහෝම කැතට අප්‍රසන්න විදිහට තමයි හැසිරුණෙ… එයා කියනවා ඒවා නොකර ඇසුරු කරන්න බැරි ද කියලා… අපි ගැන ගෙවල් වලිනුත් දන්නවා… අපි එකටමයි ජපන් යන්නත් ඉන්නේ… ඒ තියෙද්දි තවත් මොනවද තියෙන අවිශ්වාසය කියලා…

මම අද එයාව cab එකකට දාලා… ආයේ මට කතා කරන්න එපා. මේක ඉවරයි කියලා පිටත් වෙලා ආවේ…? එහෙම ඉද්දි තමයි හාමුදුරුවො bus එකේදි හම්බුනේ…“

ඔහු එක හුස්මට කියාගෙන ගියේ වාං දොරටු හැරියා සේය. හිතේ විශාල බරක් හෑල්ලු කරාක් මෙන් ලොකු සුසුමක්ද පිට කළ ඔහු මගේ මූණ දිහා බැලුවේ… මගේ අදහස විමසන්නටය.

“මල්ලි… මේක පිටින් ඉඳන් බලනකොට… අධික පිරිසිදුකම විදිහට පෙනුනට… මෙක උපදේශනයට යොමුවිය යුතු කාරණයක්… ඕකට කියන්නේ O.C.D කියලා… සිංහලෙන් ග්‍රස්තිය කියලත් කියනවා…? මම කියන නිසා… සම්බන්ධය නවත්තන්න හදිස්සි නොවී… මම phone number එකක් දෙන්නම්… ඒ ආයතනයට ගිහිල්ලා කතා කරලා ඉන්න… ? එයා හිතන්න කැමැති නැතුව ඇති ඒක රෝගයක් කියලා… නමුත් ඔයා කීවොත් ඒවි… ඔයාට තියෙන ආදරයට…“

“හරි මම යනගමන් දෙන්නම් number එකයි විස්තරෙයි. “ අන්න තව 154ක් එනවා…“ අපි යමු එහෙනම්…“?

සටහන
? O.C.D (Obsessive-Compulsive Disorder) හෙවත් ග්‍රස්තිය යනු ප්‍රතිකාර සහිත රෝගී තත්ත්වයකි.

? කරදරකාරී සිතුවිලි වලින් යුක්තවීම එක් රෝග ලක්ෂණයක් ලෙස දැක්විය හැක. එනම්, චිත්තරූප මැවීම, විෂබීජවලට ඇති බිය වැනි දෑය.

? ඒ හේතුවෙන් දිගින් දිගටම පවතින අත්නොහැරිය හැකි චර්යා ඇතිවීම ඊළඟ තත්වය වේ. ඉහත වැනි කරදර කාරී සිතුවිලි වලින් මිදීම සඳහා තාවකාලික පිළියම් යොදනු ලැබේ. උදා- විෂබීජවලින් මිදීමට යැයි සිතා නිතර නිතර අත සේදීම, කාමර අතුපතු ගෑම mop කිරීම දැක්විය හැක.

? එමෙන්ම, එම කරදරකාරී සිතුවිලි වලින් මිදීම සදහා නොයෙක් උපක්‍රම ද භාවිත කරේ. විෂබීජ පවතනි හෙයින්, පොදු වැසිකලි හො හොටෙල්වල වැසිකිලි ආදි කිසිවක් භාවිත නොකර ගෙදරම වැසිකිලිය භාවිත කරන හෙයින්, දිනකට වැඩි ගමන් බිමින් වලින් ද වැලකීසිටිම දැක්විය හැක.

? එතෙකුදුවුවත්, මෙම ක්‍රමවේදය සාමන්‍ය දෛනික චර්යාවට අතිශයින්ම බාධාපමුණුවන හෙයින්, නිතර මානසික පීඩනයෙන් යුක්තව ගත කරේ.

? බුද්ධභාෂිතය අනුව, වැඩියෙන්ම ලෙඩ වන්නේ ගත නොවේ මනසය. බුදුදහම යනු මානසික ලෙඩට ඔසු සපයන දහමකි. එබැවින් පළමුකොටම, කය මෙන්ම මනස ද ලෙඩ වන බවත්, කය බෙහෙත් ගැනීමෙන් සුව වන්නා සේම, මනස ද බෙහෙත් ගැනීමෙන් වෘත්තීය මය උපදෙශකයන් හා මනො වෛද්‍ය වරු මුණගැසීමෙන් සුව වන බවද විශ්වාස කළ යුතුය.

? එනම් බෙහෙත් මඟින් කය සේම මනස ද සුවපත් කළ හැකි බවය.

? නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.