ස්පීකරයෙන් පිරිත් වාදනය කිරීම දහමට උචිත නොවේ

සමහර දායකයන්ට ස්පීකරයෙන් පිරිත් වාදනය කිරීම වදයකි, ඒ දායකයන් අපට හිතින් බනිනවා විය යුතුය.

සමහර දායකයන්ට නම් ගමට ඇහෙන්න පිරිත් දාන එක සැපයකි. ඔවුන්ට අනුව නම්, ස්පීකරයෙන් පාන්දර 5.00ට පිරිත් නොදැමීම, අපව කම්මැලියන් සේ සැලකීමට හේතුවකි.

නමුත් සූත්‍රාගත අදහස නම් මෙසේය
🔴 තථාගතයන් වහන්සේ අතිශයින්ම නිහඩ බව අගය කළ සේක. එය ස්වකීය සව්වන්ටද පුරුදු කළ සේක. බුදුන් වහන්සේ පමණක් නොව භික්ෂූන් ද අතිශයින් නිහඩබව ප්‍රිය කළේය. එහෙයින් 1250ක පිරිසක් සිටින තැනකට කියා ජීවකයා සමග පැමිණි අජාසත් රජ තුමා ද බියට පත්විය.

“කථඤ්‌හි නාම තාව මහතො භික්‌ඛුසඞ්‌ඝස්‌ස අඩ්‌ඪතෙළසානං භික්‌ඛුසතානං නෙව ඛිපිතසද්‌දො භවිස්‌සති, න උක්‌කාසිතසද්‌දො න නිග්‌ඝොසො’’ති. (සාමඤ්ඤඵල සූත්‍රය – දීඝනිකාය)

“කොහොමද භික්ෂූන් 1250 සිටින තැනක කිවිසුමක හඩක් කහින හඩක් වත් නොමැත්තේ?“

පසුව අජාසත් රජ – “ස්වාමීනී, මේ භික්ෂූණ් තුළ තියෙන නිහඩ බව මගේ පුතු වෙන උදායි භද්‍ර තුළත් තිබුණා නම් යැයි ප්‍රකාශ කලේය.“

🔴 උන්වහන්සේ නිහඩතාව අගයන කෙනෙක් බව භික්ෂූන් පමණක් නොව, අන්‍යආගමිකයෝ ද දැන සිටියේය. (අන්‍ය ආගමිකයො යනු දේව වාදීන් නොවේ. වෙනත් පැවිදි කොටඨශයන්ය) දැන සිටියා පමණක් තථාගතයන් වහන්සේ වඩින විට, තමන්ගේ ශාවකයන්ට නිහඩවන්නට ද කීවේය. මේ පෝට්ඨපාද නම් පරිබ්බාජකයා තම ශ්‍රාවකයන්ට කී කථාවය.

‘‘අප්‌පසද්‌දා භොන්‌තො හොන්‌තු, මා භොන්‌තො සද්‌දමකත්‌ථ. අයං සමණො ගොතමො ආගච්‌ඡති. අප්‌පසද්‌දකාමො ඛො සො ආයස්‌මා අප්‌පසද්‌දස්‌ස වණ්‌ණවාදී. අප්‌පෙව නාම අප්‌පසද්‌දං පරිසං විදිත්‌වා උපසඞ්‌කමිතබ්‌බං මඤ්‌ඤෙය්‍යා’’ති (පොට්ඨපාද සුත්‍රය – දීඝ නිකාය)

“ඔබලා අඩුවෙන් කතා කරන්න, සද්ද නොකර ඉන්න. මේ ශ්‍රමණ ගෞතමයන් පැමිණෙනවා. ඔහු නිහඩතාව වර්ණනා කරන කෙනෙක්.“
යැයි කියා තම පිරිස නිහඩ කර ගනී.

🔴 වරෙක ආනන්ද හිමියන් කොසඔෑ නුවරදී සන්දක නම් පරිබ්බාජකයා හමුවන්නට වැඩියේය. එහිදී සන්දක තෙමේ පිරිසට කියනු ලබන්නේ ද?
“— අයං තෙසං අඤ්‌ඤතරො සමණො ආනන්‌දො. අප්‌පසද්‌දකාමා ඛො පන තෙ ආයස්‌මන්‌තො අප්‌පසද්‌දවිනීතා අප්‌පසද්‌දස්‌ස වණ්‌ණවාදිනො;—“ (සන්දක සූත්‍රය – මජ්ඣිම නිකාය)

“‍….මේ ශ්‍රමණ ගෞතමයන්ගේ එක් ශ්‍රාවකයෙක් වෙන අනන්ද ශ්‍රමණයා. ඔහුත් නිහඩතාව ප්‍රගුණ කළ කෙනෙක්, …. “ යනුවෙන් ඉහත පොට්ඨපාද පරිබ්බාජකයා කළ ප්‍රකාශයම කරනු ලැබේ.

🔴 බුදුන්වහන්සේ හා භික්ෂූන්ට පමණක් නොවේ, ගිහියන්ටද එම ගෞරව ලැබී ඇති බව ඔබ දන්නවාද? නිගෝ‍රධ නම් අන්‍ය ආගමික පරිබ්බාජකයා සන්ධාන නම් ගිහි ගෘහපතියාට (උදුම්බරික සූත්‍රය – දීඝනිකාය) සහ අනේපිඩුසිටුතුමාට ද (කිංදි්ඨික සූත්‍රය – අංගුත්තර නිකාය) මේ ගෞරවයම පුදුනු ලැබුවේය.

“අයං අනාථපිණ්‌ඩිකො ගහපති ආරාමං ආගච්‌ඡති සමණස්‌ස ගොතමස්‌ස සාවකො. යාවතා ඛො පන සමණස්‌ස ගොතමස්‌ස සාවකා ගිහී ඔදාතවසනා සාවත්‌ථියං පටිවසන්‌ති, අයං තෙසං අඤ්‌ඤතරො අනාථපිණ්‌ඩිකො ගහපති. අප්‌පසද්‌දකාමා ඛො පන තෙ ආයස්‌මන්‌තො අප්‌පසද්‌දවිනීතා අප්‌පසද්‌දස්‌ස වණ්‌ණවාදිනො“

“මේ ගිහිව වාසය කරන අනාථපිණ්ඩිකායා ශ්‍රමණ ගෞතමයන්ගේ සව්වෙකි. ඔහුත් නිහඩතාව ප්‍රිය කරනු ලැබේ. නිහඩ වන්න ඔබලා, සද්ද නැතුව සිටින්න. “ යනුවෙන් වෙනත් ආගමිකයන් බුදු සසුනේ ගිහියන් ගැනද ගෞරවයෙන් බලා තිබේ.

නිගමන
🔻 කිසිදා බුදුන් ගැන පැහැදීමක් නොමැති අජාසත් රජු, බුදුන් ගැන පළමුවෙන් පහදින්නේ 1250 භික්ෂූ සංඝයාගේ ඇති නිශ්ශබ්ද බව නිසාමය. ඒ නිහඩ බව තමන්ගේ පුතාටත් ලැබේවා යැයි පැතුවේය. (තමන්ගේ ප්‍රිය වස්තුව වූ පුතුට නිර්වාණය හෝ බුද්ධත්වය නොපැතුවේය. නිහඩ සංයමය පැතුවේ.)

🔻 වෙනත් පරිබ්බාජකයො පවා තමන්ගේ කෑකො ගහන සව්වන් නිහඩ කරගන්නේ තථාගතයන් වහන්සේ නිහඩතාව අගය කරන කෙනෙක් බව කියාය.

🔻 තථාගතයන් වහන්සේගේ භික්ෂූන් ද නිහඩතාව රකිනා අය හැටියට වෙනත් ආගමිකයන් ද ගරු කළේය.

🔻 තථාගතයන් වහන්සේ සහ භික්ෂූන්ට පමණක් නොවේ, වෙනත් ගිහියන්ට පවා අන්‍යාගමිකයන් ගරු කරනු ලබන්නේ “නිහඩතාව අගය කළ පිරිසක් හා එබදු ශාස්තෘවරයෙකුගේ ගොලයන් නිසාය. එය කොයිතරම්ද කිවහොත්, තමන්ගේ ගෝලබාලයන්ටත් නිහඩව හිදින්නට කියන්නට තරම් උතුම් කාරණයකි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

🔈🔇🔉🔊🔔🔕📣📢

එහෙත්…… අප
පාන්දර 5ට, වැඩකර වෙහෙස වූ මිනිසුන් හොදට නිදාගන්නා වෙලාවට, ළමයින් පාඩම් කරන වෙලාවට, මහ හයියෙන් පළාතම ගුගුරුවා පීකර් මගින් ‘පිරිත්‘ බලෙන් අස්සවනු ලැබේ.

🔇 ශබ්දය පීඩාකාරී වූ රෝගීන් සිටිනවා විය හැක.

🔇 එමෙන්ම පීකර යනු ශබ්ද දූෂකයකි.

🔇 දැන් තාක්ෂණය දියුණුය එබැවින් තමන්ට අවශ්‍ය නම් ගෙවල්වල පිරිත් අසන්නට හැකිය. හැම රේඩියොවකම එය විකාශනය වේ.

🔇 ඉස්සර පිරිත් ගම් පළාත් දෙදරවමින් පළකරන්න පීකර් තිබුනේ නැත. ඉතිං මේ අලුත් දේවල් අනවශ්‍ය ය.

🔇 සිල්වත් ගුණවත් භික්ෂූන් විසින් අවශ්‍යතාව ඇති බෞද්ධයෙකුට, අර්ථය මෙනෙහි කරන පිරිත් දේශනාවක ගුණ ඇත්තේය.

🔇 එසේ නොමැතිව, පීකරයකින් බලෙන් ඇස්සවීම නිසා ඇතිවෙන කෙහෙල් මලක් නැත.

‍🔇 කරුණකර තථාගතයන් වහන්සේ අනුගමනය කරන්න. පිරිත් කිය කියා ගම වටෙ යනවාට වඩා, එහි අර්ථය වටහාගෙන කටයුතු කරන්න. නිහඩතාව ප්‍රිය කරන්න.

🔇 පිරිතේ ගුණ ඇත්තේ, දේශකයා හා ශ්‍රවකයා එය ප්‍රගුණ කරන තරමටමය. නැතුව පිරිත් යනු මන්ත්‍ර විශේෂයක් නොවේ.

🔇 එබැවින් භික්ෂූන් විහාරස්ථානයන්හි සිටිමින් රතන සූත්‍රය සජ්ජායනා කළ යුතුය. ගිහියන් ගෙවල්වල සිට සජ්ජායනා කළ යුතුය. ඒ අර්ථය මෙනෙහි කරමින් මිසක, මන්ත්‍ර කියන්නා සේ නොවේ. පීකරයෙන් ද නොවේ.


උපුටා ගැනීමකි

තවත් ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.