සිරියානු සිවිල් යුද්ධයට වසර 10 යි

2021 මාර්තු 15 වනදාට සිරියානු සිවිල් යුද්ධයට වසර දහයක් සපිරෙනවා. මෙසේ සැලකෙන්නේ සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව විශාල පරිමාණයේ උද්ඝෝෂණ ආරම්භ වූයේ 2011 මාර්තු 15 වනදා වන හෙයින්. මුලින්ම මතුවූ උද්ඝෝෂණ සහ ඊට ආරක්ෂක අංශවලින් එල්ල වූ ප්‍රතික්‍රියා සමග කෙටි කලකින් එය බරපතල සන්නද්ධ අරගලයක් කරා ව්‍යාප්ත වුණා.

වසර දහයක් තුළ මෙම සටන්වලින් මියගිය පිරිස ලක්ෂ හයකට ආසන්න බව ඇතැම් ඇස්තමේන්තු විසින් සඳහන් කරනවා. එමෙන්ම මිලියන ගණනක් ජනයා සටන් හේතුවෙන් අවතැන් වුණා. මිලියන පහක් ඉක්මවූ සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස වෙනත් රටවල් කරා ඇදී ගියා. එය යුරෝපයේ සරණාගත ගැටළුවට විශාල හේතුවක් වූ අතර යුරෝපයේ දේශපාලනය ද විශාල විපර්යාසයකට භාජනය කිරීමට මෙම ගැටළුව ඉවහල් වුණා.


2021 මාර්තු 15 වනදා වනවිට සිරියාවේ තත්ත්වය. රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශ රතු පැහැයෙන්. (South Front)

සිරියානු සිවිල් යුද්ධයේ සන්නද්ධ ගැටුම් පටන් ගැනුණේ කුමන දිනයකදැයි නිශ්චිතව කිව නොහැකියි. නමුත් 2011 ජූලි 29 වනදා නිදහස් සිරියානු හමුදාව (Free Syrian Army) පිහිටුවාගැනීමත් සමග සන්නද්ධ ගැටුම්වල දෙපාර්ශවය සලකුණු වුණා. නිදහස් සිරියානු හමුදාව නිර්මාණය වුණේ බෂාර් අල්-අසාද් පාලනයට එරෙහිව සිරියානු ආරක්ෂක අංශ හැරගිය පුද්ගලයන්ගෙන්. කෙසේ වෙතත් සිරියානු සිවිල් යුද්ධය මේ ආකාරයෙන් පාර්ශව දෙකක් අතර දියත් වූවක් නෙවෙයි. විවිධ පාර්ශව සහ පිටස්තර බලවතුන් ද මීට විවිධ අයුරින් දායක වුණා.

පමා වූ වසන්තය
සිරියාවේ සිවිල් යුද්ධය ඇරඹුණේ 2010 දෙසැම්බරයේදී ටියුනීසියාවෙන් ඇරඹී අරාබිකරය පුරාම පැතිරගිය අරාබි වසන්තය නමින් හඳුන්වන විරෝධතා ව්‍යාපාරයන්ගේ දිගුවක් ලෙසයි. කෙසේ වෙතත් අරාබි වසන්තය ඇරඹී මාස දෙක තුනක් ගතවනතෙක් සිරියාවේ නොසන්සුන්තාවයන් හටගත්තේ නැහැ. මීට හේතු ලෙස විවිධ කෞණු ඉදිරිපත් කෙරෙනවා. එකල ඇතැම් විචාරකයන් සිරියාව අරාබි වසන්තයට හසුවීනේ ඉඩකඩ අවම බව ප්‍රකාශ කළා. සිරියානු රාජ්‍ය අංශයන් කාර්යක්ෂම එස ජනතාවට නැගිටීමේ අවස්ථා වසාගෙන සිටින බවයි ඔවුන්ගේ තර්කය වුණේ. තවද විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතරේ ජනාධිපති බෂාර් අල්-අසාද් ජනප්‍රිය බවට තර්කයක් ද මතුවුණා.


බෂාර් අල්-අසාද් (kremlin.ru)

ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගත් ගැටවරයකු මියයාම ආදී සිද්ධින් හේතුවෙන් ජනතාව වීදිබැසීම මෙම තත්ත්වය වෙනස් කළා. කෙසේ වෙතත්, ස්ථාවරව පැවති සිරියාව ව්‍යාකූල කිරීම පිටුපස වෙනත් බලවේග සිටින බවට සැකයන් ද මතු වුණා.

ආයුධ සන්නද්ධ ගැටුම් ඇතිවූ පසු බටහිර රටවල් විශේෂයෙන්ම නිදහස් සිරියානු හමුදා වෙත ආධාර කිරීමට පටන් ගත්තා. කෙසේ වෙතත් ඍජු හමුදාමය ක්‍රියාදාමයක් සඳහා ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය හෝ යොමු වුණේ නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් එවන් යෝජනාවක් පරාජය කරනු ලැබුණා.

ඉස්ලාමීය ත්‍රස්තයින්
රජයට එරෙහිව නැගී සිටි කණ්ඩායම් එක් කාණ්ඩයකට අයත් වූයේ නැහැ. සිරියාවේ උතුරුදිග ජීවත් වූ කුර්දි ජාතිකයන් විසින් ජනතා ආරක්ෂක ඒකක (YPG) නම් සංවිධනය පිහිටුවා ගත්තා. නිදහස් සිරියානු හමුදාව තුළ ද විවිධ කණ්ඩායම් දක්නට තිබුණා. මීට අමතරව තුර්කියේ සහය ලබන සටන්කාමී සංවිධාන, ඉස්ලාමීය සංවිධාන ආදී වශයෙන් විවිධ කණ්ඩායම් නිර්මාණය වුණා.

එමෙන්ම, ඔවුන් සැමවිටම එක ආකාරයෙන් පැවතුණේ නැහැ. ඇතැම්විට මෙම සංවිධාන එක්ව සන්ධානගත වුණා. ඇතැම්විට බෙදුණා. YPG සංවිධානය ප්‍රමුඛව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකා (SDF) පිහිටුවාගැනීම එහිදී වැදගත් පියවරක් වුණා.

ගැටුම් ඉදිරියට ඇදෙද්දී දෙපාර්ශවයටම හානි සිදුවුණා. රජය පර්ශවයට ඉරානයේ සහ හිස්බුල්ලා සංවිධානයේ සහය ලැබුණා. නිදහස් සිරියානු හමුදා සාමාජිකයන්ට ද බරපතල හානි සිදුවුණා. යුද්ධයේ මුල් වසර කිහිපය තුළම, ප්‍රධාන නගර ගණනාවක සිදුවූ සටන් මෙන්ම එම ප්‍රදේශයන්ට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් එම නගර විනාශ වී තිබුණා.

2013 මැද භාගය වනවිට රජයට එරෙහි කඳවුරේ ප්‍රමුඛ ස්ථානයකට කෙමෙන් කෙමෙන් ළඟාවන්නන්ට අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයන්ට හැකි වනවා. විදේශයන්ගේ සිට පැමිණෙන සටන්කාමීන් ද ඔවුන් වෙනුවෙන් සටනට සම්බන්ධ වීම ඔවුනට අමතරව ශක්තියක් ලැබීමට හේතු වුණා. මෙම සංවිධාන අතර අල් කයිඩා සංවිධානයට සම්බන්ධ අල් නුස්රා පෙරමුණ මෙන්ම ISIS සංවිධානයද වුණා. සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායම්වලට බටහිර රටවලින් එවන ලද අවි ආයුධ ඇතුළු ආධාර මොවුන්ටද ළඟා වුණා.

2013 දී ISIS ත්‍රස්තයන් රඛා ප්‍රදේශය සිය අණසකට යටත් කරගන්නට සමත් වුණා. 2014 මුලදී නැගෙනහිර සිරියාවේ සැලකිය යුතු ප්‍රදේශයක් අල්ලාගත් ඔවුන් 2014 ජූනි මාසයේදී ඉරකයට ද කඩාවැදී විශාල ප්‍රදේශයක් අල්ලාගත්තා. සිරියාවේ ද ඔවුන් තවදුරටත් සිය බලය ව්‍යාප්ත කරමින් සිටියා. එමෙන්ම “ඉස්ලාමීය රාජ්‍යයක්” නිර්මාණය කරන බව පවසමින් වෙනත් රටවල අන්තවාදී පිරිස් සිරියාව වෙත ගෙන්වාගන්නට ද ISIS සංවිධානය පටන් ගත්තා.


2014 දී රඛා නගරයේ රිය පෙරහරක් යන ISIS සාමාජිකයන් (AP)

මේ අතර සිරියානු රාජ්‍ය විරෝධී කඳවුරේම භේදයන් නිර්මාණය වෙමින් තිබුණා. YPG සහ තුර්කි සහය ලබන සංවිධාන එකිනෙකාගේ එදිරිවාදීන් වුණා. තම රටතුළ ජීවත්වන කුර්දි ජාතිකයන් ශක්තිමත් වේය යන අදහස හේතුවෙන් සිය දේශසීමාවේ ප්‍රබල කුර්දි සංවිධානයක පැවැත්ම තුර්කිය රිස්සුවේ නැහැ. මේ අතර, කුර්දීන්ගේ නිදහස්කාමී ජීවිත රටාව අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තයින් ද රිස්සුවේ නැහැ. එහෙයින් ISIS ත්‍රස්තයින් කුර්දීන් සතු ප්‍රදේශ අල්ලාගැනීමට උත්සාහ කළා. කොබානේ නම් නගරයට එල්ල වූ ISIS ප්‍රහාර පරාජය කිරීමට කුර්දීන් සමත් වීම සිරියානු සිවිල් යුද්ධයේ එක් සන්ධිස්ථානයක් වුණා. පළමු වතාවට ISIS සංවිධානය ප්‍රධාන පෙළේ නගරයක් අල්ලාගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ කෙරුණේ කොබානේ ප්‍රදේශයේදී යි.

රුසියාවේ ආගමනය
රුසියාව දිගටම බෂාර් අල්-අසාද් පාලනයට සහය දැක්වූ බව නොරහසක්. කෙසේ වෙතත් ඔවුන් සිරියානු සිවිල් යුද්ධය ඇරඹී වසර හතරක් යනතුරු ද ඍජුව සටන්වලට සම්බන්ධ වූයේ නැහැ. නමුත් 2015 සැප්තැම්බර් 30 වනදා රුසියාව ගුවන් හමුදා එවීමෙන් සටනට සම්බන්ධ වුණා. රුසියානු ගුවන් හමුදාවට අමතරව විශේෂ බලකා ද යුධ බිමට දායකත්වය පැවසූවා.

රුසියනු ගුවන් හමුදා හා විශේෂ බලකාවල සහය ඇතිව සිරියානු රජයේ හමුදා ලබාගත් පළමු ජයග්‍රහණයක් වූයේ පැල්මයිරා නගරය අල්ලාගැනීම යි. ඓතිහාසික පැල්මයිරා නගරය 2015 මැයි මාසයේදී ISIS ත්‍රස්‍තයන් අතට පත්වුණා. එම වසරේම ජූලි-අගෝස්තු මාසවල නගරය අල්ලාගැනීමට සිරියානු හමුදා කරන ලද උත්සාහය අසාර්ථක වුණා. රුසියානුවන් යුද්ධයට පැමිණීමෙන් පසු 2016 මාර්තු මාසයේදී නගරය නැවත අල්ලාගැනීමට සිරියානු හමුදා සමත් වුණා. එම වසරේම දෙසැම්බරයේදී ISIS ත්‍රස්‍තයින් නැවතත් එම ප්‍රදේශය අල්ලාගත්තා. යළිත් වරක්, 2017 මාර්තුවේදී සිරියානු හා රුසියානු හමුදා එම නගරය අත්පත් කරගත්තා.


පැල්මයිරා හි බිම් බෝම්බ ඉවත් කරන රුසියානු සෙබළෙක්. (Ministry of Defence, Russia)

මේ අතර ඇමරිකන් සහය ලබන කුර්දි YPG සංවිධානය ප්‍රමුඛ SDF සංවිධානය ද ISIS ත්‍රස්තයින්ට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටියා. ඔවුන් 2017 ඔක්තෝබරයේදී රඛා නගරය අල්ලාගත්තා. 2018 වනවිට ISIS ත්‍රස්තයින් සතු සියළු ප්‍රදේශ SDF හෝ සිරියානු හමුදා අතට පත්ව තිබුණා. 2019 දී ඇමරිකන් ප්‍රහාරයකින් ISIS නායක අබුබකර් අල්-බග්දාදි මරණයට පත්වීම ද සිරියානු යුද්ධයේ වැදගත් අවස්ථාවක් වුණා.

කලාපීය බල අරගල
කුර්දිවරුන් සහ සිරියානු හමුදා එකිනෙකාට එදිරිවාදීන් වූ නමුත් රුසියානුවන්ගේ ද මැදිහත්වීම ඇතිව ISIS සංවිධානය සමග සටනේදී එකිනෙකා හා ගැටුම්වලට නොයා සිටීමේ අවබෝධතාවයකට දෙපාර්ශවය එළඹ තිබුණා.

SDF සංවිධානය ශක්තිමත් වීම පිළිබඳ කලබලයට පත් වූ තුර්කීන් 2018 සිට SDF සංවිධානයට එරෙහිව සටන් ඇරඹුවා. ඔවුන් අෆ්‍රින් ප්‍රදේශයේ ඇතුළු සිය දේශසීමාව ආසන්නයේ ප්‍රදේශයක බලය තමන් අතට පත්කර ගත්තා.

SDF භටයින් රඛා නගරය අසළදී (AFP)

රුසියාව සහ තුර්කිය 2016 වනතුරු සිටියේ පසමිතුරු තත්ත්වයකයි. එකල තුර්කි ජනාධිපති රචෙප් තයෙප් එර්දොවාන් කටයුතු කළේ බෂාර් අල්-අසාද් බලයෙන් නෙරපන අටියෙන්. කෙසේ නමුත් පසුව රුසියාව සහ තුර්කිය අතර සබඳතා යහපත් අතට හැරුණා. ඒ අනුව තුර්කි සහය ලබන සිරියානු විරෝධී සටන්කාමී සංවිධානවල කටයුතු කලින්ට වඩා සංකීර්ණ අතට පත්වුණා.

රුසියාව විසින් සිදුකරන ලද බල සමතුලිතතාවයට තවත් උදාහරණයක් වූයේ ඊශ්‍රායලය සහ ඉරානයේ කටයුතුයි. ඉරානය සිරියානු රජයට කෙලින්ම සහය දක්වන රාජ්‍යයක්. එරට හමුදා ද සිරියාවේ රැඳී සිටිනවා. මේ පිළිබඳ ඊශ්‍රායලය දැක්වූයේ ඍණාත්මක ප්‍රතිචාරයක්.

ඔවුන් අදටත් සිරියාවේ ඉරාන ඉලක්ක වෙත පහර දෙනවා. කෙසේ වෙතත් රුසියාව මැදිහත්වීමෙන් ඉරාන හමුදා ඊශ්‍රායල දේශසීමාව අසළ ප්‍රදේශයන්ට යෙදීමෙන් වළකින බවට මීට කලකට පෙර එකඟතාවයක් ඇතිකරගත්තා.

වර්තමානය වනවිට බෂාර් අල්-අසාද් පාලනය නැවත සිරියාවේ විශාල ප්‍රදේශයක සිය අණසක පතුරවාගෙන තිබෙනවා. මේ අතර සිරියානු සිවිල් යුද්ධයට මැදිහත්වීමෙන් පසුව, මැදපෙරදිග කලාපයේ බල සමතුලිතයේ ප්‍රබලම සාධකය බවට රුසියාව පත්ව තිබෙනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.