විවාහය සහ කාලය

“මම හාමුදුරුවන්ගේ ලිපි කියවලා තියෙනවා… එව්වා තවත් අයගේ අත්දැකීම් නිසා අපට එව්වාගෙන් ගන්න තියෙන් දේවල් බොහෝමයි. ගොඩක් පිං හාමුදුරුවො ඒ කරන සේවයට.“ ඇය කීවාය. ☺️

ඇය, මා පසුව දැනගත් පරිදි ගම්පහ ප්‍රදේශයේ ප්‍රභූ පවුලක ධනවත් යුවතියකි. ඇයට ද මේ වෙනවිටත් ව්‍යාපාර 3කට වඩා තිබේ. ?

“අගය කිරීමට ගොඩක් ස්තූතියි මහත්මිය… ඉතිං… මොනවද කතා කරන්න ඕනි කීවේ…“ මම ඇසුවෙමි. ?

“මට මේකට හාමුදුරුවන්ගෙන් හොඳ උත්තරයක් ඕනි. මම හිතන විදිහ හරිද වැරදි ද කියලා දැන ගන්න තමයි මට අවශ්‍ය“… ඇය කීවාය…

“ම්ම්ම් … නොදාන්නාම කෙනෙකුට මුළ ඉදලා විස්තරයක් කියන විදිහට, මුලින්ම පටන් අරගෙන කියන්නකො…“ මම කීවෙමි.?

“මම හාමුදුරුවනේ ටිකක් හොඳට සල්ලි තියෙන පවුලක කෙනෙක්. එත් මම දැන් බඳින්න යන කෙනා පිරිවෙන් ගුරුවරයෙක්. ඒක නිසයි මට මේ ගැන හාමුදුරුවො එක්ක කතා කරන්න තවත් හිතුනේ. එයා ගණිතය උගන්වන කෙනෙක්. Maths ඉගෙන ගත්ත උපාධිධාරියෙක්. ඒයාට ඊට වඩා ගොඩක් ගොඩක් ඉහළට යන්න හැකියාව තිබ්බත්එ යා කියන්නේ, මට මේ රස්සාව වියදමට ඇති… සති අන්තයට individual classes ටිකක් කරනවා… ඒකෙන් එයාට හොඳ ගානක් ලැබෙනවා එහෙම කියලා…“ ඇය කීවාය.?

“මොකද ඉතිං එයා පිරිවෙන් රස්සාව තෝරාගෙන තියෙන්නේ….“ මම ඇසීමි.

“මුල් කාලේ campus out වෙච්චි ගමන් ගිහන් තියෙන්නේ වෙන හොඳ එකක් හම්බෙනකල් නිසා… එයාගේ හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ඉල්ලීමට… පස්සේ පොඩි සාදුලා එක්ක ඉද්දි එයාට ඒකට ආසා හිතිලා… එයා කියනවා ඒයට ඒක පිනක් නිසා… වෙනත් රස්සාවකට යන අදහස අතහැරියා කියලා…

“වැදගත්ම දේ එයා කියන, මෙතැන මට ලොකු වැඩක් නැ… මම රස්සාව කරන්නේ හරිම ‘මානසික නිදහසින්‘ කියලා…❤️

එයාට ඉන්නේ එයාගේ තාත්තා විතරයි… ඒ නිසා එයාට ලොකු පවුල් බරක් නැ නඩත්තු කරන්න…“ ඇය කීවාය.

“කොහොමද අඳුනා ගත්තේ….“ මම ඇසුවෙමි.

“එයා, අපෙ printing house එකට ආවා පිරිවෙනක banner වගයක් print කරගන්න. එයා ලස්සන කඩවසම් කෙනෙක්… එයා ඇවිත් හිටියේ තවත් පොඩි සාදු කෙනෙක් එක්ක… ඒ සාදු එයාට ‘සර්.. සර්.. “ කියලා කතා කරද්දි මට ආවේ කුතුහලයක්… ඉතිං.. එහෙම හඳුනා ගත්තු එක තමයි අද කසාදය දක්වා ගියේ..“

“එහෙම දුර දිගට සම්බන්ධය යන්න හේතුවක් තිබ්බද ? මම ඇසුවෙමි.❤️

“එහෙමයි…

එයාට වෙලාව තිබ්බා” මම කියන ඕනිම වෙලාවක මාව හම්බෙන්න… “☺️

“ඒ කීවේ…“?

“ඒ කීවේ හාමුදුරුවනේ… පිරිවෙන් තියෙන්නේ හැන්දෑවෙනේ… එයා උදේ නිදහස්… මගේ වැඩ මට ගොඩක් වැටෙන්නේ හැන්දෑවට…

ඒ වාගේම… මම ඉරිදට වාගේ ගොඩක් වෙලාවට… රෑ වෙනකල් එහෙ මෙහෙ ගියපු කෙනෙක්… මෙයාට ඒවාට වෙලාව තිබ්බ. මොකද මෙයාට සඳුදා උදේට නැගිටින්න ඕනි නෑනේ… ඇය සිනාසුනාය…“?

‘අහ්.. අපටත් උදේ වරුවේ පංසල්වල දාන මාන පිංකම් තියෙන නිසා තමයි පිරිවෙන් හවස තියෙන්නේ… ඉතිං…“ මම කීවෙමි. ?

“මට කලිනුත් සම්බන්ධකම් කීපයක් තිබ්බා… අපේ පවුල්වලින් සම්බන්ධ වෙච්චි ධනවත් අය. නමුත් ඒ අයට දෙන්න බැරිවෙච්චි ලොකුම දේ තමයි “කාලය“. මට ඕනි “කාලය“.?

“ම්ම්ම්ම් අපූරුයි…“ මම කීවෙමි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“අපේ හාමුදුරුවනේ මට තව දෙයක් කියන්න ඕනි… මගේ තාත්ති මට ගොඩක් ආදරෙයි… මට හැමදේම අරගෙන දෙනවා… මේ තියෙන car එකත් businesses එයා මට දුන්නු දේවල්… නමුත් එයා මට නොදුන්නු දේ තමයි එයාගේ “කාලය..“

මගේ අම්මට වෙනත් සම්බන්ධයකුත් තිබිලා, මම පොඩි කාලේ … ලොකු රණ්ඩුවක් වෙලා.. කාලයක් වෙන්වෙලත් ඉඳලා තමයි දැන් ආයෙත් සමාදාන වෙලා ඉන්නෙ… එයා තාත්තාගෙන් ඉල්ලුවෙත් “කාලය“. තාත්තාට එයාට, ‘කාලය‘ දුන්නේ මටත් වඩා අඩුවෙන්…“

“සල්ලි ජිවිතය කරගත්තු මිනිහෙක් නම් ඔයා බඳින්න එපා දුව’ කියන එක… එයා නිතර… නොයෙක් විදිහට මට කීවා.. “ඇති තරම් වියදමට සල්ලි නැති කෙනෙක් බඳින්න පුළුවන් ද එතකොට…?“ මම ඇසුවෙමි.?

“නෑ හාමුදුරුවනේ… මට සල්ලි නැති කෙනෙක් එක්කත් ජීවත් වෙන්න බෑ. මගේ අවශ්‍යතාත් ගොඩක් ඉහළයි… එයත් හම්බ නොකරනවා නෙවෙයි… තවම වැඩි වියදම් අවශ්‍යතාවක් නැති නිසා වෙන්නැති මාසේකට 50ට වඩා එයා හම්බ කරන්නෑ…. අද කාලේ මගේ වියදමට 50 සතියකටත් මදි. ඒ වාගේම එයා පංසල, හාමුදුරුවො.. පොඩි සාදු ඇසුරු කරන නිසා වෙන්නැති… හරිම ධාර්මික කෙනෙක්… සෑම අංශයකින් වාගේ දැනුමත් ඉහලයි…“

“එතකොට දැන් ඔබට තියෙන ගැටලුව මොකද්ද ?“ මම ඇසුවෙමි.?

“මෙයා අනාගතේදී වෙනස් වෙයි ද කියන බය තියෙනවා… ඒ වාගේම තාත්තා කැමැතිත් නෑ මෙයාට… එත් මට තනි තිරණයක් ගන්න බැරි කමක් නැ… මොකද මම හම්බ කරනවානේ… අනික තමයි…. මෙයා මට වඩා පහළින් ඉන්න එකත් මට වෙලාවකට කරදරයක්… ඇය කිවාය.?

“පහළින් කීවේ?“?

ධනයෙන් බලයෙන් තමයි… එයාට තියන්නේ පොඩි මොටර් සයිකල් එකක්… මට මගේ යාලුවන්ට එයාව අඳුන්වා දෙද්දි සමහර විට “මදි“ කියලා හිතෙනවා…“?

“ එතකොට වේළාවකට කරදරයක් කීවේ ඒකද, මොකද්ද එතකොට කරදර නොවෙන වෙලාව…“


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ධනයෙන් බලයෙන් මට පහළ නිසා ද මන්ද, එයා මට යටත් වාගේ… මම කියන දේ අහනවා… කරන්න ඕනි දේවලුත් මගෙන් අහල තමයි තීරණය කරන්නේ… හරියට මම පිරිමියා ඒයා ගෑනි වාගේ…“ ඇය කීවාය.

“එතකොට ඒක ඔබට හොඳ ද?“

“මගේ තාත්තාගේ – අම්මාගේ පවුල් ජීවිත බලද්දි, මම හරිම ආසයි එහෙම පිරිමියෙක්ට… මොකද එයාගේ ජිවිතේ අංක එක මම. එයාගේ කාලය තියෙන්නේ මට… මම කෑ ගැහුවත් සමහර විට, එයා මට කෑ ගහන්නේ නැතිම තරම්….“

“එත් මගේ හොදම යාලුවෙක් කියනවා, එහෙම පිරිමි බැඳලා වැඩක් නෑ කියලා…“

“එතකොට දැන් ඔබට තියෙන්නේ ඔය ගැටලු දෙක ද?

“එහෙමයි…“ ?

“පළවෙනි ගැටලුවට… ඒ කියන්නේ අනාගතේ දී වෙනස් වෙයිද කියන එකට නම් ඇත්තටම මේ ලොකේ කාටවත් උත්තරයක් දෙන්න බෑනේ නේද? සියල්ලම වෙනස්වෙන සුළුයිනේ… එතකොට මෙයා විතරක් වෙනස් නොවෙයි කියන එකට කාටවත් උත්තර දෙන්න බැ… කාරණය නම්… මෙයා නොවෙයි… ඔබ බඳින ඕනෑම කෙනෙක් වෙනස් වෙනවා… ඒක ලෝක ස්වභාවය… ඒකට අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙයි….“

“ දැඩිව හිතේ තියාගන්න… ඕනෑම කෙනෙක් , ඕනෑම දෙයක් වෙනස්වෙන සුළු බව… එතකොට අපි ඒ මත්තේ ඕනිවට වඩා නහින එක සහ, ඒ දෙයටක් කරදර කරන එක නවතිනවා. Depression වලටත් හේතුව ඔය වාගේ දේවල ගැන අප්‍රමාණව හිතන එක…?

“එතකොට දෙවැනි කාරණවට නම් බුද්ධාගමට අනුවම උත්තරයක් තියෙනවා…

“ඉස්සරියවොස්සාගෙන“ කියලා තමයි සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙන්නේ..?

ඒ කියන්නේ “ගෘහමූලිකයා“ කියන චරිතයක් බුදුසමය අනුව නෑ. ?

ගෘහමූලිකාවක් පමණයි ගෙදරකට සිටිනේනේ…

ඒ කීවේ… සැමියාගෙන් ඉටුවිය යුතු යුතුකම් 5න් එකක් වෙන්නේ.. තමන්ගේ භාර්යාවට ගෙදර අධිපතිත්වය පිරිනැමීම… දැනට ග්‍රාම සේවක උනත් අහන්නේ ගෘහමූලිකයා කියලානේ.. ඒ කියන්නේ තාත්තානේ…

“නෑ… බුදුසමය අනුව එහෙම එකක් නැ… අධිපතිනියක් විතරයි ඉන්නේ… එකනේ ඉස්සර තාත්තලා සම්පූර්ණ පඩිය ගෙනත් අම්මා අතට දුන්නේ…
තාත්තට වියදමට ඕනි නම් අම්මාගෙන් තමයි ඉල්ලාගන්න ඕනි… ඒ කියන්නේ පවුලක් උනාට පස්සේ බිරිඳ අංක 1. සැමියා තමයි අංක 2.

“දැන් එකේ අනික්පැත්තනේ හාමුදුරුවනේ… ගැහැනු එපැයි පිරිමින්ගේන් අවශ්‍යතාවලට කණුකුණු ගාලා ඉල්ලන්න…“?

“ඔව්… ඒ නිසා තමයි ඔබට යාලුවොත් එහෙම කියන්නේ… ඒක නිසා ඔබට ඇත්තටම සතුටුවෙන්න පුළුවන් ඔබට ගෙදර ප්‍රධානත්වය ඒ කියන්නේ ඔය දෙන්නා අතරින් ඔයා ප්‍රධාන වීම… සහ ඒක දෙන්නට ලෑස්ති ස්වාමියෙක් ලැබීම… කොහොමත් අපි අවට වටපිටාව දෙස බැලුවොත්… පවුල් අතරින් 90% විතර ඉතා හොදින් රැකිලා… දරුවො හොදට හැදිලා ඉන්නේ.. අම්මාගේ ක්‍රියාකාරම් මත තමයි. පවුල වෙනුවෙන් තාත්තලාගේ දායකත්වය මුදල් හම්බකිරීම පමණයිනේ…“ ?

“එහෙමයි…“

“ඒ නිසා ඔය හීනමානය අතහැර ගන්න… ඒ වාගේමම මගේ අවවාදය ඔහුටත් නිසි ගෞරවය ඔබ දෙන්න… ‘සැමියා – බිරිඳ’ කියන සංකල්පය අමතක කරලා දාන්න… ❤️

“ඒ කීවේ හාමුදුරුවනේ ඇය පුදුමයෙන් ඇසීය…“

“යහලුවො වාගේ හිතන්න… හොදම යාලුවා… ❤️ අපට පාසලේ කාලේ ඉදලා මැරෙනකල් ඉන්න හොදම යාලුවො ඕනි තරම් හොයාග්තතෑකි. ඒ අතර තියෙන බැඳීමත් පුදුමාකාරයි. නමුත් හොද සැමියා බිරින්දෑවරු තමයි හොයාගන්න දුර්ලභ… ‘ගෑනි-මිනිහා‘ කියලා හිතන්න ගත්තු ගමන් ප්‍රශ්න ගොඩක් තියෙනවා…“

“සඛී භාර්යා වාගේ… ඔයා හොඳම යාලුවෙක් වෙන්න එයාට… එයාවත් හොදම යාලුවා කරගන්න… ජිවිතය තව පහසුවෙයි… අනික ඔබ ඉල්ලන්නේ ඔහුගේ “කාලය“ නම්… අපි වැඩි පුරම කාලයක් ඉන්නේ යාලුවොක් එක්ක මිසක් husband & wife එක්ක නෙවෙයි.“

“ එහෙමයි හාමුදුරුවනේ… නොසිතුව පැත්තක්… ගොඩක් පිං.“

තෙරුවන් සරණයි !

සටහන
? නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.