මානසික ආතතියට තිත – දෙවන කොටස

පසුගිය වාර්ථාව තුළින් මං ඔයාලාට පොරොන්දු වුණා වගේම මානසික ආතතිය ගැන තව වැඩි විස්තර කතා කරමින් ඒ ගැන තවත් ඉදිරි කොටසක් මේ විදියට අද මාතෘකාවට ගෙන්න තීරණය කළා. එදා මං කතා කළේ මානසික ආතතිය ඇති වෙන්න බලපාන හේතූ හා අපි කොහොමද මානසික ආතතිය දුරු කරගන්නේ කියන කාරණා දෙක ගැනයි.

මානසික ආතතිය කියන්නේ අද වන විට මඟහැර ඉන්නට නොහැකි දෙයක්. රූපවාහිනිය ක්‍රියාත්මක කළත්, දුරකථනය අතට ගත්තත් ඒ හැම මාධ්‍යයකින් ම නොමිලේ ම ආතතියෙන් පිරී ඉතිරී යන්නට ඔබට දොරටු විවරවී තිබෙනවා.

හැබැයි ඉතින් වරද ඒවාටම පටවන්නත් බැහැ. ගින්දර ඕනෑතරම් තිබුණාට ඒක අල්ලලා කෙනෙක් පුළුස්සා ගත්තොත් එහි වරද ගින්දරෙහි නොවෙයි. ආතතිය වුණත් ටිකක් ගින්දර වගේ ම තමයි. ඔබේ එදිනෙදා කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නංවාලන්නට එය උත්ප්‍රේරකයක් ලෙසින් භාවිතා කළ හැකි වගේ ම ඔබ එය හිස මතට අරගෙන කිසිවක් නොකර සිටියොත් ඉන් පිළිස්සී අළුවී යන්නටත් පුළුවන්.

මෙන්න මෙහෙම ආතතිය නිසා ඔබ පීඩාවට ලක්වෙනවා නම් ඒක ශරීරයෙන් පිටතට ද පෙන්නුම් කරන්නට පටන් ගන්නවා.

ඒ වගේම අද කතා කරන්නේ ඔබ ආතතියෙන් පෙළෙන විට ඔබේ ශරීරයේ සිදුවන වෙනස්වීම් හතක් ගැන ප්‍රධානවම කතා කරන්න කැමතියි.
1. සමේ පැල්ලම් ඇතිවීම
2. දහදිය දැමීම වැඩිවීම
3. දවස පුරා දැනෙන වෙහෙස
4. හැලී යන කොණ්ඩය
5. රුධිර සීනි මට්ටම පහත වැටීම
6. දෑතේ වෙවුලන ස්වභාවය
7. නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව

සමේ පැල්ලම් ඇති වීම ගැන කතා කළොත් මානසික ආතතියට ලක්වී වැඩි වේලාවක් සිටීමෙන් පසුදින පමණ වන විට වෙනදාට වඩා සමේ පැල්ලම්, කුරුලෑ වැනි ඉලිප්පීම් වැනි දේ දකින්නට ලැබෙනවා. මෙය ආතති හෝමෝනයක් වන කෝටිසෝල් නිසා ඇතිවන අතර එමගින් සමේ ඡිද්‍රවල හැකිලීයාම සිදුවෙනවා.මේවා ඇති වෙන්නට එක ම හේතුව ආතතිය ම නොවෙයි; ඇතැම් විට ඔබේ ආහාර වේල, ලබා ගන්නා ඖෂධ හෝ කාලගුණය ඊට බලපාන්නට පුළුවන්. ඒත් ඔබ ආතතියට ලක්වීමෙන් පසු මෙවන් දෙයක් අත්විඳින්නට සිදුවුණොත් ඉන් පුදුම වන්නට දෙයක් නැහැ.

දෙවන ලක්ෂණය වන්නේ වැඩ වැඩි වුණාම ඒවා කොහොම ඉවර කරගන්න ද කියලා හෝ කරපු වැඩ ටිකක් නැවතත් මේසයට පැමිණ ඇති විට ඔබට දහඩිය දමන්නට පටන්ගෙන තිබෙනවාද? කොතරම් වායු සමීකරණය කළ කොටසක ඔබ සිටියත්, අනිත් අයට නොදැනෙන රස්නයක් සමඟ ශීඝ්‍ර දහදිය දැමීමක් මේ සමඟ අපේක්ෂා කරන්නට පුළුවන්. සම සුදු පැහැ අයගේ විශේෂයෙන් කම්මුල් රතුවී යනවා. වෛද්‍ය නිකී මාර්ටිනස් පවසන පරිදි මෙම තත්වයට හේතු වන්නේ හෘද ස්පන්දන වේගය වැඩි කරමින්, ආශ්වාස ප්‍රාශ්වාස වේගය ඉහළ යවමින් සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා ආතතියෙන් බාධා පැමිණවීමයි.

තුන්වන ලක්ෂණය ලෙස කාර්යබහුල දිනයක් අවසානයේ දැනෙන වෙහෙස සාමාන්‍යයි. ඒත් දවස පුරා ම කිසිම හේතුවක් නැතිව මහත් විඩාවක් ඔබට දැනෙනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. ලබාගත් ඖෂධයක බලපෑමක් නොවෙයි නම්, මෙම තත්වයට හේතුව වන්නේ අධිවෘක්කවල ඇතිවන විඩාවයි. කෝටිසෝල් හෝමෝනය අධිවෘක්ක ග්‍රන්ථිවල එක්රැස්වීමෙන් මෙම වෙහෙසකාරී බව දනවන අතර එක දිගට පවතින මානසික ආතතිය නිසා මෙය හට ගැනෙනවා. හැබැයි ඉතින් දවසේ ම නිදිමත බවක් දැනෙනවා නම් ඒකට වෛද්‍ය විද්‍යාව කෙසේවෙතත්, සාමාන්‍ය ව්‍යවහාරයේ නම් කියන්නේ කම්මැලිකම කියලා.

හතරවන ලක්ෂණය වන්නේ කොණ්ඩය හැලීයාම, දුර්වර්ණ වීම සහ සවිමත් බව නැතිවී යාම කියන්නේ නූතනයේ ඉතා බහුලව දක්නට ලැබෙන ආතතියේ ප්‍ර‍තිඵලයක්. ආතති තත්වයන් ඉතා ඉහළ ප්‍ර‍මාණයන්ට ගිය විට කොණ්ඩය හැලීයාම නිතර දකින්නට ලැබෙන්නට පුළුවන්. ඔබේ කාර්යාල මේසය මත කොණ්ඩ ගස් රැසක් දකින්නට ලැබීම හෝ ස්නානය කරන විට කොණ්ඩය ගැලවී යන හැටි මෙහිදී දැකිය හැකි වෙනවා. දිගු කාලයක් ආතතියෙන් සිටීම නිසා තුනී බව වැඩි කොණ්ඩයෙන් හිස් කබල වැසී යනවා. එහෙත් මෙම තත්වයට බිය විය යුතු නැහැ. පරම්පරානුගත ලක්ෂණයක් නොවේ නම් මෙසේ ආතතිය නිසා නැතිවී යන කොණ්ඩය ආතති මට්ටම අඩුව යාමත් සමඟ නැවතත් ලැබෙනවා.

පස්වන කරුණ ලෙස අපි කතා කරන්නේ ඉහළ ආතති මට්ටම් ඔබේ රුධිරයේ සීනි මට්ටම බෙහෙවින් පහත හෙලනවා. මේ නිසා වෙවුලන අප්‍රාණික ගතිය, දුර්වල බව සහ බිස්කට් ආදිය කෑමට දැඩි ආශාවක් ඇති කරවනවා. වැඩි වශයෙන් නිදි වැරීම හෝ උදෑසන ඇතිවන කෝටිසෝල් මට්ටම් නිසා ද මෙම තත්වය ඇති වෙනවා. හැඟීම්වල ඇතිවන ක්ෂණික වෙනස්වීම්, හිටි හැටියේ ඇතිවන බියසුළු භාවය, හිසකැක්කුම, කැරකැවිල්ල සහ අවධානය ඒකාකාරීව පවත්වාගැනීමේ අපහසුතා මෙම අඩු රුධිර සීනි මට්ටම් නිසා ඇති වෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

හයවැනි කරුණ වන්නේ ඇඟිලිවල සහ දෑතේ ඇතිවන වෙවුලන ස්වභාවය සඳහා ද ආතතිය වගකියනවා. කාර්යබහුල බව වැඩි විටකදී වතුර පානය කරන්නට හෝ දුරකථනය අතට ගත් විටදී ඔබට දෑතෙහි එක දිගට වෙව්ලීමක් දැනිය හැකි අතර පෑනක් භාවිතා කරමින් කටයුතු කරන කෙනෙක් නම් එය භාවිතයට ද අපහසුතාවයන් ඇති වන්නට පුළුවන්. මෙය ද සෞඛ්‍යමය වශයෙන් මහත් අගතියක් සිදු නොකළත් තව දුරටත් කාර්යාලයීය කටයුතු කිරීමට බාධාවක් විය හැකි නිසා සිත තැන්පත් කරගෙන කළ යුතු දේ වෙත අවධානය යොමු කිරීම හෝ කෙටි විවේකයක් ලබා ගැනීම කළ යුතුයි.

අවසන් ලක්ෂණය ලෙස ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය බිමට ඇද දමන්නට තරම් හැකියාවක් මානසික ආතතියට තිබෙනවා. එමගින් විශබීජවලට ඔබේ ශරීරයේ ආධිපත්‍යය ලබාගන්නට ඉඩ සලසා දෙන නිසා මානසික ආතතිය ඉහළ මට්ටම් වලින් අත්විඳීමේදී සෙම්ප්‍රතිශ්‍යාව සහ පසුව උණ රෝගයන් ද නිතර ඇතිවීමේ සම්භාවිතාවය ඉහළ යනවා. වෛද්‍ය කැරොලින් ඩීන් පවසන්නේ, “ඔබේ ප්‍රතිශක්තිය, කාය බලය, සංස්ථිතිය සහ සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්නට නම් අධිවෘක්ක ඉතා හොඳින් ක්‍රියාකාරී මට්ටමේ පවත්වා ගත යුතුයි.


Click on the Image

ඉතින් ඔබ මානසික ආතතිය පාලනය කරගෙන අඩු කරගතහොත්, ලෙඩවෙලා වැඩටික අවසන් කරගන්නට නොහැකි වේයැයි නැවතත් ආතතිය ඇති කරගන්නවා වෙනුවට කරන්නට ඇති දේවල් එකින් එක අවසන් කරගෙන කාර්යාලයේ හොඳ නමක් වගේ ම හොඳ සෞඛ්‍යමත් ජීවිතයකටත් දොරගුළු හැරගන්නට හැකිවේවි.

දැන් ඔබට තේරෙනවා ඇති නේද? මානසික ආතතිය අපි සැහැල්ලුවට ගත්තද මේ නිසා අපේ ශරීරයේ බාහිර හා අභ්‍යන්තරව සිදුවන වෙනස්කම් නම් සුළුවෙන් තකන්නට බැරි බව. මම ගිය ලිපිය තුළ මානසික ආතතිය අඩු කරගැනීම සදහා විශේෂ ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කළ බව ඒ ලිපිය කියෙව්වා නම් ඔබට මතක ඇති.

ඔබ මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් මේ ක්‍රියාකාරකම් පුහුණු කිරිම කරන්න. එය දෛනික ජිවිතය සදහා වඩාත් උපකාරී වනු ඇත. මේ ක්‍රියා තුළින් ඔබේ මානසික ආතතිය සුව නොවන තත්වයට උඩුදුවා ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුයි.

මානසික ආතතිය තවත් ආතතියක් කර නොගෙන සැහැල්ලුවෙන් ජිවිතේ ගෙවන්න හැකිවේවා. ඔබට ජය !

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....