වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නා හිමි

වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නායක හාමුදුරුවන් උපත ලබන්නේ 1679 අවුරුද්දේ මැයි මාසයේ 29 වෙනිදා, මාතර වැල්ලබඩ පත්තුවේ තියෙන වේහැල්ල කියන ගම්මානයට අයත් බෙත්මේ වලව්වේ. ඒ, විජයසිරිගුණතිලක වික‍්‍රමරත්න දිසානායක අප්පුහාමි කියන නමින්.

වයස අවුරුදු 14දී පැවිදි දිවියට එළඹෙන ධම්මදින්න හාමුදුරුවන්ව, සසුන්ගත කරනු ලබන්නේ තිස්සමහාරාම විහාරයේදී. ඒ කදුරුපොකුණේ බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්. මුල් කාලයේ ඉදලම වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගෙන් අධ්‍යාපනය ලබන්න තරම් උන්වහන්සේ වාසනාවන්ත වෙනවා. වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන්ට ඒ වාසනාව උපතින්ම හිමි වුණා කිව්වොත් නිවැරදියි. මොකද වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන් කියන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක්.


Photo Credits : Silumina : 2017/12/09

මේ කාලයේදී අපේ රටේ රාජ්‍ය පාලකයා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ධර්ම දේශනා පවත්වන්නත් ධම්මදින්න හාමුදුරුවන්ට අවස්ථාව ලැබෙනවා. මේ නිසා රජතුමාගේ ප්‍රශංසාව සහ අනුග්‍රහය ධම්මදින්න හාමුදුරුවන්ට නිරතුරුවම ලැබෙනවා.

ධම්මදින්න හාමුදුරුවන්ගේ උපසම්පදාව සිදු වෙන්නේ 1753 අවුරුද්දේ. ඒ, මල්වතු මහා විහාරයේදි. ඊට පස්සේ ධම්මදින්න හාමුදුරුවන් ආයිත් තමන්ගේ ගම් පළාතට වැඩම කරන්න තීරණය කරනවා.

මේ කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ට ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය පිරිනමනවා. ඒ විතරක් නෙවේ සබරගමු පලාත් සංඝනායක ධූරයත්, පහතරට මහානායක ධූරයත් පිරිනමලා කුට්ටාපිටියේ නින්ද ගමකුත් පූජා කරනවා.

මේත් එක්කම සරණංකර සංඝරාජ හාමුදුරුවෝ, ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇතුළු ඒ සියලුම තනතුරුත්, ඒ නින්ද ගමත් තමන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වුණු වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවන්ට පවරනවා.


Photo Credits – Deshal Pandithage

ඊට පස්සේ ධම්මදින්න හාමුදුරුවෝ සබරගමුවේ පැල්මඩුලු පුරාණ දාගැබ් රාජමහා විහාරයේ (ගල්පොත්තාවල රජමහා විහාරය) වාසය සදහා වැඩම කරනවා.

ඊට පස්සේ ආගමික සහ ශාස්ත්‍රීය කටයුතුවල නිරත වෙන ගමන් තමන්ගේ ශිෂ්‍යරත්නය වුණු කඹුරුපිටියේ හාමුදුරුවෝ ලවා කරන්ගොඩ පොත්ගුල් විහාරය ඉදි කරවනවා. වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න මහා නායක හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ අධිපති ධූරය දරණු ලබන්නේ 1753ත් 1775ත් අතර කාලයේදියී.

කසාගල විහාරස්ථානයේ මුල්ම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විදිහටත් පරණ පොත්පත්වල සදහන් වෙන්නේ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න මහා නායක හාමුදුරුවන්ගේ නාමයයි. පහතරට සංඝ මූලස්ථානය විදිහට සැළකුණු වේළුවනාරාම විහාරස්ථානයේ නිර්මාතෘ විදිහට සැළකෙන්නෙත් ධම්මදින්න හාමුදුරුවන්ම තමයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන්ගේ ප්‍රධානම ගෝලයන් දෙනමක් විදිහට කිරිනැලියේ රතනසාර සහ කදුරුපොකුණේ සුවණ්ණජෝති ස්වාමීන්ද්‍රයානන් වහන්සේලාව හදුන්වන්න පුලුවන්. කිරිනැලියේ රතනජෝති හාමුදුරුවන් කියන්නේ වේහැල්ලේ ධම්මදින්න හාමුදුරුවන්ගේ ඥාති පුත්‍රයෙක්. උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම තමයි ගාල්ලේ මේධංකර හාමුදුරුවෝ.

ගාල්ලේ මේධාංකර නාහිමියන්ගේ ශිෂ්‍යයන් විදිහට රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ සහ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කරපු වලානේ ශ‍්‍රී සිද්ධාර්ථ සහ හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නායක හිමිවරුන් පෙරමුණේ ඉන්නවා. මාතර වේරගම්පිට විහාරය නිර්මාණය කරපු කදුරුපොකුණේ සුවණ්ණජෝති හාමුදුරුවෝ තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්.

ඒ අනුව කරතොට ධර්මාරාම හිමියන් අයත් වෙන්නෙත් වේහැල්ලේ සඝ පරපුරටම තමයි. ධම්මදින්න හිමියන්ගේ උපන් ගම මාතර වුණත්, උන්වහන්සේගේ ගිහි පරපුරේ උදවිය ගාල්ලෙත් ඉන්නවා.

වැලිවිට සරණංකර සහ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න පරපුර අතරේ ඥාතීත්වයක් තියෙනවා වගේම, වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න සහ කරතොට ශ්‍රී ධර්මාරාම පරපුර අතරෙත් ඥාතීත්වයක් තියෙනවා. ඒ අනුව මේ සංඝ පරම්පරා තුනම එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ.

ශ්‍රී පාදස්ථානයේ පළවෙනි විහාරාධිපතිධූරය හොඹවපු වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න හාමුදුරුවන්ගේ අපවත් වීම සිද්ධ වෙන්නේ 1775 අවුරුද්දේ මැයි 28 වෙනිදා. ඒ, අවුරුදු 96ක් ආයු වළදලා.

සම්බන්ධිත ලිපි
විශිෂ්ඨතම සිංහල කවිය…?????

මූලාශ්‍ර
01. ලංකාදීප – රසවිත (2015.06.14) : {වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දකුණේ ඥාති පරපුර – පුෂ්ප එපිටකඩුව}

02. රසවාහිනිය (1957) : {කරතොට නාහිමියන්ගේ ගිහි පරපුර – ජස්ටින් විජයවර්ධන}

03. හස්තිනාපුර : {ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 1 ) – දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}

04. හස්තිනාපුර : {ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 2 ) – දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}

05. හස්තිනාපුර : {ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 3 ) – දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන}

06. දිවයින විශේෂාංග (2011.09.11) : {දෙව් බඹුන් වන්දනා කරන ශ්‍රී පාදස්‌ථානයේ අධිපති පදවිය – උදය ඇමිටියගොඩ}

07. මව්බිම (2012.12.07) : {මෙවර ශ්‍රී පාද වන්දනා කරන සැදැහැවතුන්ට පහසුකම් රැසක් – විමල් රූබසිංහ}

08. මිරිස්ස නාලන්දා නැණසල : {වෙ‍හෙරක වරුණ – කවීෂා මිහිරංගි}

09. සිළුමිණ විශේෂාංග (2011.10.02) : {ශ්‍රී පාදස්ථානයට අධිපති හිමි නමක් පත්කරන්නේ මෙහෙමයි – රමණී සුබසිංහ}

10. ඉන්ද්‍රඛීලය : {අපේ මෑත පිරිවෙන් සම්ප්‍රදායේ නැගීම සහ බැසීම}

11. wikipedia.org : {කසාගල පූරාණ රජමහ විහාරය}

12. සස්රුත : {වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි}

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.