අපේ වාපි ශිෂ්ටාචාරය

රජරට ශිෂ්ටාචාරය කියලා හදුන්වන්නෙ අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානි දෙක පිහිටි කලාපයට. ඒ වගේම ඒ රාජධානි දෙක කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුණු ප්‍රෞඩ ශිෂ්ටාචාරයට. රජරට එහෙමත් නැත්නම් අනුරාධපුර පොළොන්නරුව රාජධානිවල ආර්ථිකය, අධ්‍යනයේ පහසුවට කොටස් හතරකට බෙදන්න පුලුවන්.

01. කෘෂිකර්මාන්තය
02. සත්ව පාලනය
03. වෙළදාම
04. කර්මාන්ත

ඒත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නෙ අපේ “වාපි සoස්කෘතිය” ගැන. තේරෙන භාෂාවෙන් කිව්වොත් “වැව්” ගැන. මොකද මේ කියපු ආර්ථික රටාවන් හතරටම මූලාශ්‍රය වෙන්නෙ වාරිකර්මාන්තයයි. වාරිකර්මාන්තය නැතුව මේ හතර සිද්ධ කරන්න බෑ.

ඒ කාලයේ මිනිස්සු ඕනෑම පාලකයෙකුගෙන් බලාපොරොත්තු වුණේ කාරණා දෙකයි.
01. ආගම සoවර්ධනය කිරීම
02. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම

රට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මය. කෘෂි කර්මයෙන් සහල් නිෂ්පාදනය වෙනවා. සහල් කියන්නේ බත්. අපි “කන්න” තුනක් වගා කරලා තුන් වේලටම බත් කාපු ජාතියක්. කෘෂිකර්මයට ජලය ඕන. ජලය නැතුව කරන්න බෑ. ජලය සැපයෙන්නෙ වැව්වලින්. වර්ෂාව නැති කාලයක් වුණත්, කුඹුරු කරන්න පුළුවන් වැව් ජලයෙන්. මේ තමයි අපේ රටේ ආර්ථිකය. ඒ තරමට වැව් වැදගත්.

කාලිoග මාඝ අපේ රටට ආපු ගමන් කළේ වැව් ටික කඩාගෙන කඩාගෙන ගියපු එකයි. වතුර නැති වුණා. කෘෂි කර්මය කර ගන්න බැරි වුණා. කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නෙ මෙව්වා ගැනම හිත හිතා හිටියා, යුද්ධ කරන්නෙ නැතුව. මාඝ නිකන්ම රටේ බලය අල්ල ගත්තා.

සරලවම කිව්වොත් වැවක් නිර්මාණය කරන්නෙ ගලා යන ගoගාවක් හරි දිය පාරක් හරි හරස් කරලා, ඒකට බාධකයක් විදිහට වේල්ලක් බැදලා. අපේ රටට වැස්ස ලැබුණෙ එක් කාල සීමාවකට විතරයි. ඉතින් ඒ කාල සීමාවෙ පොළොවට වැටෙන වර්ෂා ජලය මේ වැවට එකතු වෙලා, වැවේ ගබඩා වෙනවා. ඒ නිසා වැස්ස නැති කාලයක වුණත් කෘෂිකර්මාන්තය කර ගෙන යෑමේ හැකියාව අපිට තිබුණා. කෘෂිකර්මාන්තය මුලින්ම ගoගා පදනම් කරගෙන කළත්, ජනගහන වර්ධනයත් එක්ක වැඩියෙන් ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවයක් මතු වෙනවා. ඒ නිසා තමයි අපේ රටේ වැව් නිර්මාණය වෙන්න ගන්නෙ.

අපේ රටේ පළවෙනි වතාවට වැවක් නිර්මාණය කළේ “පණ්ඩුකාභය රජතුමා” කියලා තමයි අද සමාජය පිළි අරගෙන තියෙන්නෙ. ඒ “අභය වැව” හෙවත් “බසවක්කුලම” කියන වැව. ඒත් පණ්ඩුකාභය රජතුමාට කලින්, විජය රජතුමත් අපේ රටේ වැව් දෙකක් නිර්මාණය කළා කියලා පරණ පොත්පත්වල සදහන් වෙනවා. ඒ වැව් දෙක මේ වෙනකන් හරියාකාරව අදුරගෙන නෑ. ඒත් අපේ රටේ වාරි කර්මාන්තය, විජයාවතරණය සිද්ධ වෙන්නත් කලින් ඉදලම තිබිලා තියෙනවා.

අපේ රටේ වැව් වර්ග ප්‍රමාණය සහ ප්‍රයෝජනයට ගත්ත ආකාරය අනුව කොටස් 3කට බෙදනවා.
01. ගම් වැව් (කුඩා වැව්)
02. දාන වැව් (වැවකින් වැවකට ජලය රැගෙන යන වැව්)
03. මහා වැව් (විශාල වැව්)

අපේ රටේ වැව් හදපු පාලකයො අතර දේවානම්පියතිස්ස, සද්ධාතිස්ස, වසභ, මහාසේන, ධාතුසේන, 2 වෙනි මුගලන්, 1 වෙනි අග්බෝ, 2 වෙනි අග්බෝ, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු වගේ රජවරු ප්‍රධාන තැනක් ගන්නවා. නිශ්ශoකමල්ල රජතුමත් වැව් හැදුවා කියලා තිබුණට මේ වෙනකන් හදුනාගෙන නෑ. වසභ රජතුමා අපේ රටේ ඉතිහාස පොතට එකතු වෙන්නෙ “මහා පරිමාණයේ වැව්” නිර්මාණය කිරීමේ ආරම්භක පාලකයා විදිහට.

අපේ රටේ වාරි තාක්ෂණය ගැන කතා කරනවා නම් වැවක තියෙන අoග ගැන අධ්‍යනය කළ යුතුමයි. අපි ජීවිතය ගත කරන කොට, පොඩි පොඩි ප්‍රශ්න ආවම එව්වට උත්තර හොයාගෙන යනවා. හැබැයි හරිම සරල ප්‍රශ්න. ඒ සරල ප්‍රශ්නෙට අපි සරල උත්තර හොයනවා.

උදාහරණයක් විදිහට ගෙදර තියෙන දොර හැම තිස්සෙම, හුළගට වැහෙනවා. දොරට පොඩි ගඩොල් කැටයක් හේත්තු කරලා තියනවා. දැන් හුළගට දොර වැහෙන්නෙ නෑ. බොහොම සරල විදිහට ප්‍රශ්නෙ විසදුනා.

අන්න ඒ වගේ වැව් හැදුවායින් පස්සෙ වැවේ එක එක ප්‍රශ්න මතු වෙන්න ගත්තා. ඒ වගේම වැව නිසා ප්‍රශ්න මතු වෙන්නත් ගත්තා. ඉතින් මෙව්වා විසදන්න අපේ මිනිස්සු උත්තර හෙව්වා. වැවට එක එක අoග එකතු කළා. එදායින් පස්සෙ ආයිත් ඒ ප්‍රශ්න මතු වුණේ නෑ වගේම, උත්තර හොයන්න ඕන වුණෙත් නෑ.

01. වැව් බැම්ම
වැවක පැවැත්ම තීරණය වෙන්නෙ වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන ප්‍රමිතිය අනුවයි. එකිනෙකට ළoව පිහිටලා තියෙන කදු ගැට දෙකක් හරස් කරලා තමයි ගොඩක් වෙලාවට බැම්ම හදන්නෙ. කදු නැති තැන්වල නම් පොළොවේ පිහිටීම අනුව හදනවා. හරියට චාපයක් විදිහට (ඉoග්‍රීසි C අක්ෂරයේ හැඩය අනුව). යෝධ වැවේ වැව් බැම්ම සැතපුම් 7ක් දිගයි. පරාක්‍රම සමුද්‍රයේ දැනට හදුනාගෙන තියෙන විදිහට සැතපුම් 8 1/2ක් දිගයි. වැව් බැම්ම හදන්නෙ ඇතුන් ලවා පාගලා, තලපු පස් වලින්. එහෙම තලපු පස්වල ශක්තිය ගබඩා වෙලා තියෙනවා. වැව් බැම්ම හදන කොට පොළවේ පාෂාණවල සoයුතිය ගැනත් සැළකිලිමත් වෙලා තියෙනවා. මින්නේරිය වැව හදලා තියෙන්නෙ පොළවේ “ක්වාට්සයිට්” පාෂාණවල විහිදීම අනුවයි. ඒ වගේම ස්ථරවල පිහිටීම (සමොච්ච රේඛාවල විහිදීම) ගැනත් බලලා තියෙනවා. වැව් බැම්ම නිසා වතුර එළියට කාන්දු වෙන්නෙ නෑ.

02. සොරොව්ව
සොරොව්වකින් වෙන්නෙ ජලය කෙත්වතුවලට ගෙන යෑමේ සහ ඇළවල්වලට මුදා හැරීමේ කාර්යය ඉටු කිරීමයි. විශාල ප්‍රමාණයේ වැව්වල තියෙන සොරොව් කළු ගල්වලින් හදපුවා. සොරොව්වෙ වැවට සම්බන්ධ කරලා තියෙන සිදුර පුoචි වුණත්, ඇළ මාර්ගවලට සම්බන්ධ කරලා තියෙන සිදුර ගොඩක් ලොකුයි. ඒ නිසා කොච්චර වේගයකින් වතුර පාර ආවත්, සොරොව්ව නිසා පීඩනය අඩු වෙනවා. ඒකෙන් වැව් බැම්ම පුපුරලා යෑමේ අවදානම වගේම ඇළ මාර්ග හෑරීමත් නැති වෙනවා. සොරොව්වෙන් වැවේ තියෙන අන්තිම වතුර බිoදුව වෙනකන් තියෙන ඔක්කොම වතුර ටික වුණත් පිට කරලා දාන්න පුලුවන්. වැස්ස වැහැලා ජල මට්ටම වැඩි වෙලා තියෙන කොට, අතිරික්ත ජල මට්ටම, ඇළ මාර්ගවලට පිට කරන්නෙත් සොරොව්වෙන්. වැස්ස දිගටම තිබ්බොත් සොරොව්වෙන් දිගටම අතිරික්ත වතුර ප්‍රමාණය පිට කරනවා. වැවක සොරොව් වර්ග දෙකක් තියෙනවා.
* ගොඩ සොරොව්ව
* මඩ සොරොව්ව (වැවට එකතු වෙන රොන් මඩ සෝදා හැරීම)

03. සලපනාව
රළපනාව, රළ පැන්නුම කියලා හදුන්වන්නෙත් සලපනාවම තමයි. සලපනාව කියලා කියන්නෙ වැව් බැම්ම ඇතුළේ නිර්මාණය කරලා තියෙන කළු ගල් ඇතිරියකට. වැවේ රැල්ලෙ වේගය නිසා වැව් බැම්ම සේදිලා යන්නෙ නැති වෙන්න තමයි, සලපනාව නිර්මාණය කරලා තියෙන්නෙ.

04. බිසෝ කොටුව
වැවක තියෙන විශිෂ්ඨතම නිර්මාණය තමයි බිසෝ කොටුව කියලා කියන්නෙ. බිසෝ කොටුව කියන්නෙ වැවේ පතුලෙ නිර්මාණය කරලා තියෙන හරි හතරැස් ලිදකට. ලිදේ එක පැත්තක තියෙන සිදුරකින්, වැව් ජලය ඇතුල් වෙනවා. ඊටම ප්‍රති විරුද්ධ දිශාවේ තියෙන සිදුරෙන් ඒ වැව් ජලය, ගල් නළයක් හරහා සොරොව්වට යනවා. බිසෝ කොටුව හැම වෙලේම වතුරෙන් පිරිලා තියෙන්නෙ. සොරොව්ව අරිනකොට, බිසෝ කොටුව ස්වයoක්‍රීය විදිහට ලීවරයකින් (මොහොල) ක්‍රියා කරන්න ගන්නවා. ඊට පස්සෙ සොරොව්වට ජලය ගෙනියනවා. බිසෝ කොටුව නිසා වැවේ වතුර ගලාගෙන යෑමේ වේගය පාලනය වෙනවා. ඒ කියන්නේ වතුර පීඩනයට බාධකයක් එල්ල කරනවා. ඒකෙන් වැවේ බැම්ම ආරක්ෂා වෙනවා.

05. පිටවාන
පිටවාන හදලා තියෙන්නෙ කළු ගල්වලින්. ඒ, වැව් බැම්මට මීටර් 2ක් විතර පහළින්. සාමාන්‍යයෙන් පිටවානක් නිර්මාණය කරලා තියෙන්නෙ වැව් බැම්මේ කෙළවරින්. වැස්ස නිසා වැව පිටාර ගලන්න එනකොට, ඒ අතිරික්ත ජලය පිටවානෙන් එළියට යනවා. ඒ නිසා වැව් බැම්ම කැඩී යෑමේ අවදානම නැති වෙනවා. ඒ වගේම වැව ඉතිරිලා පිටාර ගැලීමේ අවදානමත් නැති වෙනවා. පිටවානෙන් එළියට යන අතිරික්ත වතුර ජන ශූන්‍ය ප්‍රදේශයක, ස්වභාවික බස්නාවකට වැටෙන්න හරවලා තියෙනවා. විශාල වැව්වල නම් පිටවානවල් 3ක් දකින්න පුලුවන්.

06. ඇතුළුවාන
ඇතුළුවානෙන් වෙන්නෙ වැවට භාහිරෙන් ජල සැපයුමක් එක් කිරීම. මේ ජල සැපයුමට ජලය ගන්නෙ තවත් ඒ වගේම වැවකින් (කලා වැවේ වතුර, තිසා වැවට යෑම). ඇතුළුවානෙම නිර්මාණය කරලා තියෙන “දියවල” කියන උපකරණයෙන් රොන් මඩ වැවට එන්න නොදී රදවා ගන්නවා.

07. ඉස්වැටි
ඉස්වැටිය තියෙන්නෙ වැව ඉස්මත්තෙ. උස් බිම්වල අඩි 2 – 3 අතර ප්‍රමාණයකින් නිර්මාණය කරලා තියෙනවා. “පෝටා” කියලත් හදුන්වනවා. උස් බෑවුම්වලින් එන වැලි, ගල්, කොළ රොඩු, රොන් මඩ ඉස්වැටි නිසා වැවට එකතු වෙන්නෙ නෑ. ඒ වගේම තෙතමනයත් වළක්වනවා.

08. කුළු වැව්
කුළු වැව් කියන්නෙ කුඩා වැව්වලට. ප්‍රධාන වැවක් පිටාර ගලනකොට, ඒ වතුර කුළු වැව්වලට එකතු වෙනවා. කුළු වැව් සහ ප්‍රධාන වැව එකිනෙකට සම්බන්ධ කරලා තියෙන නිසා, ප්‍රධාන වැව පිටාර ගලන්න යනකොට, ඒ අතිරික්ත වතුර වැවේ ශාඛා විදිහට බෙදිලා බෙදිලා යනවා. කුළුවැව් තියෙන ප්‍රදේශය නම් කරලා තියෙන්නේ “ජලාධාර කලාපයක්” විදිහට.

09. කලිගු බැමි (නූස් බැමි)
කලිගු බැම්ම හදලා තියෙන්නෙ පිටවානට ලම්භකව, පිටවානට වඩා උසින්. පිටවාන කැඩුණත්, කලිගු බැමි නිසා වෙන්න තියෙන විනාශය අවම කරනවා.

10. තාවුල්ල
තාවුල්ල කියන්නෙ වැවේ උපරිම ජල මට්ටම සළකුණු කරන ස්ථානයට. තාවුල්ල වටේ කුඹුක් වගේ විශාල ගස්, තෘණ සහ පැළ වර්ග, විශාල වනාන්තර, වන සත්තු, කුරුල්ලො දකින්න පුලුවන්. සෞන්දාර්යාත්මක ප්‍රදේශයක් දකින්න පුලුවන්.

මේ අoග වැව්වලට විතරක් නෙවේ. පස්සෙ කාලෙක අපේ රටේ පොකුණුවලට, ජල උද්‍යානවලට, ඇළ මාර්ගවලටත් එකතු වෙනවා. මේ වගේ දේවල් වෙන රටවල්වල නෑ. වැවක ඇති අoගවලින් හොදටම පේනවා අපේ අය කොච්චර දුරට හිතුවද කියලා. ඒ වගේම අපේ අය ළග කොච්චර විශාල තාක්ෂණික ශිල්ප ක්‍රම සහ ශිල්පීය ඥානයක් තිබුණද කියලා.

අපේ රටේ වැව්වලින් ගොවිතැන් කටයුතු සිද්ධ කරපු කෙත්වතුවලට වතුර ගෙනාවෙ ඇළ මාර්ග වලින්. ඒත් අපේ රටේ සමහරක් පොකුණු, ජල උද්‍යානවලට වතුර වැව්වලින් ගෙනාවෙ උමo මාර්ග හරහා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද..????

​උදාහරණයක් විදිහට අනුරාධපුරයේ තියෙන කුට්ටම් පොකුණු දෙකට වතුර එන්නෙ උමo මාර්ගයකින්. ඒ උමo මාර්ගය කොහේ ඉදන් එනවද කියලා කවුරුත් දන්නෙ නෑ. දැනට තියෙන මතය අනුව කුට්ටම් පොකුණුවලට වතුර එන උමo මාර්ගය, තිසා වැවට සම්බන්ධ කරපු එකක්. වැස්ස කාලෙට තිසා වැව, පිරිලා ඉතිරිලා ගියත්, කුට්ටම් පොකුණුවලට සැපයෙන වතුර ප්‍රමාණය ඉහළ යන්නෙ නැතුව ස්ථාවරව තියෙනවා.

ඒ වගේම 1980 අවුරුද්දෙ “මහවැලි සoවර්ධන ව්‍යාපෘතිය” යටතේ මාදුරු ඔය කේන්ද්‍ර කරලා, “මාදුරු ඔය ජලාශය” නිර්මාණය කරනවා. ජලාශයක් නම් කොහොමත් සොරොව්වක් ඕන. ඉතින් අපේ ඉoජිනේරුවො එක එක උපකරණ අරන් මැනලා මැනලා, සොරොව්ව හදන්න සුදුසු තැනක් හොයා ගත්තා. ඊට පස්සෙ එතන සොරොව්ව හදන්න පස් කපන කොට, රජරට ශිෂ්ටාචාරය තිබුණු යුගයේ ඉදි කරපු සොරොව්වක් මතු වෙනවා. ඒ අය මීට අවුරුදු දහස් ගාණකට කලින් සොරොව්වක් හදන්න සුදුසු තැනක් විදිහට, මේ තැන අදුර ගෙන තියෙනවා.

සැරට පායන කාලවල්වල වුණත් සමහරක් වැව් හිදෙන්නෙ නැතුව තියෙනවා. “රාජතරoගණී” කියන පොතේ සදහන් වෙනවා අවුරුදු දහස් ගාණකට කලින් කාශ්මීරයේ ඉල්ලීමකට අනුව, කාශ්මීරයේ වැව් හදන්න අපේ ඉoජිනේරුවො කාශ්මීරයට ගියා කියලා. ඒ වගේම අපේ රට ආක්‍රමණය කරපු “කරිකාල” කියන චෝළ ආක්‍රමණිකයා, අපේ රටේ මිනිස්සුන්ව බලෙන් ගෙනියනවා, චෝළ රාජ්‍යයටත් වැවක් හදන්න.

අපේ මිනිස්සු කෘෂිකර්මාන්තයට අමතරව උෂ්ණත්වය පාලනය කරන්න, සිසිලස ලබා ගන්නත් වැව ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම ආරක්ෂාවටත් වැව් උපකාරි කර ගත්තා. උදාහරණයක් විදිහට පොළොන්නරුව රාජධානිය වටේට තියෙන වැව් වලින්, පොළොන්නරුව ආරක්ෂා වෙනවා. ඒ මහා වැව් තරණය කරන්න ආක්‍රමණිකයන්ට බෑ.

වැව්වල නඩත්තුවට සහ පරිපාලනයට නිළධාරී මණ්ඩලයකුත් ඒ කාලයේ පත් කරලා තියෙනවා. ඒකෙන් පේනවා මේවා කරන්න කොච්චර හොදට සoවිධානය වෙලා තියෙනවද කියලා.

* ආණහික (වාරි මාර්ග ඉoජිනේරුවරයා)
* අඩි තර උතර (වාරි මාර්ග නඩත්තු කරන්නා)
* පියොවදාරන්නන් (වාරි මාර්ග පරීක්ෂකවරු )
* තලා අරැක්ක (ඇළ මාර්ග සහ වැව් ආරක්ෂා කරන්නා)

ඒ වගේම වැව්වල නඩත්තුවට එක එක බදු වර්ගත් අය කරලා තියෙනවා.

* බොජකපති
* දසභාගය
* උදකපති
* තිසබුරුවත

වැව අපේ ආර්ථිකයට විතරක් නෙවේ, අපේ සoස්කෘතියටත් සම්බන්ධ වෙනවා. “වැවයි දාගැබයි ගමයි පන්සලයි” කියන සoකල්පය මේකට හොද උදාහරණයක්.

දිය කැපීම කියන චාරිත්‍රය සිද්ධ කරන්නෙ වැව කේන්ද්‍ර කරගෙන. ඒ වගේම ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතුවලට පැන් ගන්නෙ තිසා වැවෙන්. ඒ චාරිත්‍රය දේවානම්පියතිස්ස යුගයේ ඉදන් අද වෙනකන් අඛන්ඩව සිද්ධ කරනවා. අපේ මිනිස්සු විශ්වාස කළා නාගයා ආරක්ෂාවේ සoඛේතයක් විදිහට. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ගේ ජීවනාලිය වෙච්ච වැව් ටික ආරක්ෂා කරන්න, හැම වැවක් ළගම නාගයෙක් කැටයම් කරපු ගල් පුවරුවක් ස්ථාපිත කළා.

අපි මේ ලිපිය ආරම්භ කරනකොටම කිව්වා, කාලිoග මාඝ වැව් විනාශ කරපු එකෙන් මේ රාජධානියට වෙච්ච වින්නැහිය ගැන. මේ වැව් විනාශ කරපු නිසා අපේ රටේ ආර්ථික පද්ධතියක් කඩන් වැටුණා. රජරට ශිෂ්ටාචාරයේ පරිහාණියට මේක තදින්ම බලපෑවා. කැඩිලා ගිය වැව් අමුණුවලින් කාන්දු වෙච්ච වතුර, තැන තැන රැදුනු නිසා මේ ශිෂ්ටාචාරය තුළ වසoගත රෝග ව්‍යාප්ත වෙන්න ගත්තා. මේ නිසා මිනිස්සු අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශ අතෑරලා දාලා, වෙනත් වෙනත් ප්‍රදේශවලට සoක්‍රමණය වුණා.

​”මට අයත් රාජ්‍යයේ අහස් දියෙන් නිපදවන ගොයම් බිම් හැර නුසුන් දිය යුත් නදීන්ගෙන් හා මහා වැව් නිසා පැවති කෙත් ස්වල්පයකි. බොහෝ වූ පර්වත වලින්ද, වන ලැහැබින්ද, මඩ ගොහොරුවෙන්ද මෙම රාජ්‍යය අතිශයින් සම්බාධකයි. මෙබදු දේශයේ වැස්සෙන් හටගත් ජලය මදකුත් ලෝකෝපකාරයෙන් තොරව කිසි කලෙකත් මුහුදට නොවැටෙත්වා” – මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව 1153)

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.