ඇවිදින මාළු…?????

February 7, 2020

මාළුන්ට ඇවිදින්න පුලුවන් කියලා කිව්වොත්, විශ්වාස කරනවද? ඔව්. “සමහරක්” මෝර මාළුන්ට නොගැඹුරු මුහුදේ ඇවිදින්න පුලුවන්. මේ කාරණාව ගොඩක් විද්‍යාඥයන් ඈත අතීතයේ ඉදලම දැනගෙන තියෙනවා. ඒත් මේ තොරතුර දැන් ආයිත් කරලියට ඇවිල්ලා තියෙනවා.

ඒ, ගවේෂකයො කිහිප දෙනෙක්, මේ විදිහට ඇවිදින්න පුලුවන් තවත් අලුත් මෝර මාළු විශේෂ හතරක් සොයා ගැනීමත් එක්කයි. ඒ අතරින් අලුතෙන්ම හොයා ගත්ත ඇවිදින මෝර විශේෂයව නම් කරලා තියෙන්නෙ Epaulette Sharks කියලයි.

මෝරා කිව්වම අපිට දත් විලිස්සගෙන ඉන්න, Jaws වගේ චිත්‍රපටයක ඉන්න දැවැන්ත බිහිසුනු මෝරුන්ව මතක් වුණාට, මේ මෝර විශේෂය නම් බොහොම පුංචි මෝර විශේෂයක්. මෙයාලා ඉන්නෙ නිව්ගිනියාවේ වෙරළ ළග තියෙන නොගැඹුරු සාගර ජලයෙ.

මෙයාලා ඇවිදින්න භාවිතා කරන්නෙ මෙයාලගෙ වරල් වල මාංශ පේශී. ඉතින් මෙයාලා ඉන්න නොගැඹුරු මුහුදේ ජලය අඩු වෙලා ගියත්, මෙයාලට පුලුවන්කම තියෙනවා මෙයාලගෙ වරල් වලින් ඇවිදගෙන යන්න.

ඉතින් සමහරක් විද්‍යාඥයො මත පල කරනවා, මෙයාලගෙ මේ ලක්ෂණය, මෝර මාළුන්ගේ පරිණාමනයේ ඉදිරි පියවරක් කියලත්. ඒත් සමහර විද්‍යාඥයන් මේ අමුතු විපර්යාසය අද ඊයෙක වුණා කියලා පිළිගන්න සූදානම් නෑ.

එයාලා කියන්නෙ මේ විශේෂත්වය මීට අවුරුදු මිලියන 9කට කලින් ඉදලම තියෙන්න ඇති කියලයි. ඒ කියන්නෙ මීට අවුරුදු මිලියන නවයකට විතර කලින් මේ මෝර විශේෂය, “මෝරා” කිව්වම අපිට මතක් වෙන විශාල ශරීරයක් සහ දත් තියෙන, භයානක මෝරුන්ගෙන් බෙදී ගියපු (ජානමය වශයෙන්) විශේෂයක් කියලා.


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.nationalgeographic.com
* වීඩියෝව 01 : Nature on PBS | YouTube Channel
* වීඩියෝව 02 : VOA News | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.