ඉංග්‍රීසි හදාගන්නේ කොහොමද?

පංති කාමරයක් ඇතුලේ ඉතිහාසය, භූගෝලය වගේ විෂයන් ඉගෙන ගන්න විදිහට භාෂාවක් ඉගෙන ගන්න බෑ. භාෂාවක් ඉගෙන ගන්න ඕන ක්‍රීඩාවක් පුහුණු වෙන විදිහට. භාෂා නිපුණතාව වර්ධනය වෙන්නේ නිතර නිතර පුහුණු වු⁣⁣⁣ණොත් විතරයි. ඒ නිසා ඔබට ඉංග්‍රීසි හැකියාව ප්‍රගුණ කරගත හැකි tips 3ක් මම දෙන්නම්.


1) ඉංග්‍රීසි චිත්‍රප‌ට ඉංග්‍රීසි උපසිරැසි සමග බලන්න

කිසිම දවසක සිංහල උපසිරැසි සමඟ ඉංග්‍රීසි චිත්‍රපට බලන්න එපා.

ඔබ ඉංග්‍රීසි චිත්‍රපට බලන්නේ සිංහල උපසිරැසි සමග නම් කවදාවත් ඉංග්‍රීසි හදාගන්න බෑ. මුලදි අවුරුද්දක් විතර ඉංග්‍රීසි උපසිරැසිම පාවිච්චි කරන්න.

හැබැයි මේකටත් ඇබ්බැහි වෙන්න පුලුවන්. උපසිරැසි පාවිච්චි කරලා පුරුදු වුණාම ඒක නැතිව බෑ. අවුරුද්දක් දෙකක් විතර english subtitles එක්ක බලලා ඊට පසුව උපසිරැසි නැතිවම බලන්න.

මුලදි අමාරු වෙයි. නමුත් තේරුම් ගන්න අපහසු වුණත් උපසිරැසි නැතිව බලන්න. තේරෙන්නෙම නැතිනම් චිත්‍රපටිය දෙතුන් වතාවක් හෝ බලන්න.

ඉංග්‍රීසි චිත්‍රපටි බැලීමෙන් භාෂා නිපුණත්වය හදාගන්න ලොකු වාසියක් තියෙනවා.

කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන විට ඒ කියන දේ වටහා ගැනී‌මේ හැකියා‌ව අපට තිබිය යුතුයි.

අපි ආශ්‍රය කරන අය නිතර ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ නැත්නම් මේ පුහුණුව ගන්න අමාරුයි නේ. එහෙම අයට මේ පුහුණුව ලබා ගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි චිත්‍රපටි නැරඹීම.

මං කිව්වේ මේකත් ක්‍රීඩාවක් වගේ නිතර පුහුණු වෙන්න ඕනේ කියලා. ඉංග්‍රීසි මව්භාෂාව විදිහට පාවිච්චි කරන මිනිස්සු භාෂාව හසුරවන විදිහ ඉංග්‍රීසි චිත්‍රපටි ඔස්සේ අපට ඇහෙනවා, පේනවා.

කතා කිරීමේදී පමණක් භාවිතා කරන සමහර expressions ඉංග්‍රීසි ජාතිකයන්ගෙන්ම අපට ඉගෙන ගන්න පුලුවන්. සිංහල උපසිරැසි සමඟ බැලුවොත් අපිට ඒ නියම අරුත හඳුනගන්න බැරි වෙනවා.

මොකද සමහර english expressions සිංහලට පරිවර්තනය කළාම කිසි තේරුමක් නෑ. වචනාර්ථය සහ ඔවුන් අදහස් කරන දේ හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්.


2) Blogs කියවන්න

ඉංග්‍රීසි වාක්‍ය ගැටගහන්න වචන නොදැන සිටීම බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්.

මොකද ඉංග්‍රීසි ලියද්දි හෝ කතා කරද්දි අපිට අවශ්‍ය අදහස ප්‍රකාශ කරන්න නම් වචන දැනගන්න ඕනේ.

ඉතින් වචන අහුල ගන්න පුලුවන් හොඳම විදිහක් තමයි online blogs කියවීම.

සමහරු කියවන්න කැමති නෑ නේ. පොත් කියවනවට වඩා පුංචි articles කියවීම ලේසි නිසයි blogs කියවන්න කිව්වේ.

ඔබ නිරත වෙන ක්ෂේත්‍රයට අදාලව නැගෙන ප්‍රශ්න නිතර googleහි සොයන්න. ඊට අදාලව තියන blog articles කියවන්න.

පොත් කියවනවට වඩා online article කියවීමේ තව වාසියක් තියනවා.

LKTips කියන මේ google extention එක Chrome brower එකේ දාගන්න.

මේ හරහා වෙබ් අඩවියක ති‌බෙන යම් වචනයක් උඩ mouse point එක තැබූ විට ඒ ඉංග්‍රීසි වචනයට අදාල සිංහල වචනය එතනම පෙන්වනවා.

මේ නිසා online කියවද්දි හරි ලේසියෙන් වචන වල තේරුම දැනගන්න වගේම හැමදාම අලුත් වචනයක් ඉගෙන ගන්නත් පුලුවන්.

තුන් වෙනි tip එක තමයි වැදගත්ම.


3) ඉංග්‍රීසියෙන් කල්පනා කරන්න.

බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතා කරද්දි වචන එන්නේ නැතිව හිර වෙනවා. නැත්නම් පැටලෙනවා.

මේකට හේතුව තමයි අපි හිතන්නේ සිංහලෙන්. අපි ඉංග්‍රීසි කතා කරද්දි සිංහලෙන් හිතලා, ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තමයි කතා කරන්නේ.

එතන තියන අව්ල තමයි, අපිට කතා කරන වේගයෙන් මේ ක්‍රියාවලිය කරන්න බැරි වීම. සිංහලෙන් හිතන්නයි ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නයි ලොකු වෙලාවක් යනවා.

මේකට විසඳුමක් විදිහට ඔබ නිතර කල්පනා කරද්දි ඉංග්‍රීසියෙන් කල්පනා කරන්න.

අපි නිතරම ඉංග්‍රීසි භාෂාවෙන් කල්පනා කරද්දි ඒක අපේ කතා කිරීමේ නිපුණත්වය වර්ධනය කරගන්න ලොකු උපකාරයක් වෙනවා. නිකන් ඉන්න වෙලාවට ඉංග්‍රීසියෙන් කල්පනා කරනවා වගේම, ඉංග්‍රීසි කතා කරන්න අවස්ථාවක් ලැබුණ විට පරිවර්තනය කර කර ඉන්නෙ නැතිව ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසි කතා කරන්න.


තව bonus tip එකක් දෙන්නම්.

ඉංග්‍රීසි වචන වල තේරුම හොයන විට google dictionary භාවිතා කරන්න.

හැකි තරම් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ භාවිතය අවම කරන්න.

මෙයට විශේෂ හේතුවක් ති‌බෙනවා.

Google dictionary පාවිච්චි කළාම අපි සොයන වචනයේ තේරුම ඉංග්‍රීසියෙන් පැහැදිලි කරනවා.

ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිතා කළොත් අපි සොයන ඉංග්‍රීසි වචනයට අදාල සිංහල වචන පෙන්වීම පමණයි සිදු කරන්නේ.

නමුත් ඊට වඩා වචනයේ අර්ථය පැහැදිලි කරලා අවබෝධ කර ගැනීම වැදගත්.

ඔබට කරන්න තියෙන්නේ දැනගන්න අවශ්‍ය වචනය google හි සොයන්න විතරයි.

උදාහරණයක් විදිහට ඔබට growth යන වචනයේ තේරුම දැනගන්න අවශ්‍ය නම්,
“Growth meaning”
හෝ
“Growth definition” යන keywords යොදාගනිමින් සොයන්න.
Google පාවිච්චි කිරීමේ තවත් වාසියක් නම්, අපි සොයන වචනයේ තේරුමට අමතරව සමාන පද පෙන්වීමත් සිදුකරනවා.


මේ හැමදේම සාරාංශ ගත කළොත්,

• ඉංග්‍රීසි චිත්‍රපට නිතර බලන්න. මුලදි ඉංග්‍රීසි උපසිරැසි සමඟ බලලා යම් කාලයක් ගිය පසු උපසිරැසි නැතිව බලන්න.

• Blogs කියවන්න.

• ඉංග්‍රීසියෙන් කල්පනා කරන්න

• වචනවල තේරුම googleහි සොයන්න

චිත්‍රපටි බැලීමෙන් අසා අවබෝධ කරගන්න හැකි වෙනවා. Blogs කියවීමෙන් අපට වචන හුරුවෙනවා. කල්පනා කිරීමෙන් කථනය පුරුදු වෙනවා.

දිනපතා මේ දේවල් කරනවා නම් වසර කිහිපයක් ගිය පසු ලොකු වර්ධනයක් ඔබට දැකගත හැකි වේවි.

දවසින් දෙකෙන්, මාසෙන් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ක්‍රීඩාවක් වුවත් ප්‍රගුණ කරන්න වසර කිහිපයක් ගත වෙනවා. භාෂාවක් ද ඒ වගේ.

ඔබ වසර ගණනාවක් සිංහල ඉගෙනගෙනත් අද සිංහල භාෂා හැකියාව තියෙන්නේ කොතනද? ඉතින් කෙටි කාලයකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න අපහසුයි.

ඔබ මින් යමක් ඉගෙන ගත්තාද? එහෙනම් ඔබ ඉගෙන ගත් දැනුම තව කෙනෙක් සමග බෙදාගන්න.

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.