කළු කොටි අස්සෙ සුදු ජිරාෆ්ලා

January 21, 2020

කළු කොටි අස්සෙ සුදු ජිරාෆ්ලා…?????

මේ දවස් වල ලංකාවේ මාධ්‍ය වලින් නිතරම ඇහෙන පුවතක් තමයි “වසර ගණනාවකට පසුව ලංකාවෙන් කළු කොටියෙකු දැක ගැනීම සහ ලංකාවෙන් කළු කොටියන් වඳ වී නැතැයි” කියන පුවත.  මේ කියන්න යන්නෙත් අවුරුදු දෙකකට විතර කලින් කෙන්යාවෙන් අහන්න ලැබුණු ඒ හා සමානම පුවතක් ගැනයි.

වනෝද්‍යානයක් දෙස බලා සිටි පිරිසකට දුර්ලභ වර්ගයේ සුදු ජිරාෆ් යුවලක් හමුවීමේ පුවතක් 2017 අවුරුද්දේ කෙන්යාවෙන් වාර්තා වුණා. ඒ කියන්නෙ ජිරාෆ් මවක් සහ පැටියෙක්. මීට කලින් 2016 අවුරුද්දෙ දෙවතාවක් ටැන්සානියාවේ සහ කෙන්යාවේම වනෝද්‍යාන වලින් සුදු ජිරාෆ්ලා ගැන වාර්තා වෙලා තියෙනවා. මේ, ලෝකයේ මේ වගේ සුදු ජිරාෆ්ලා ගැන හෙළි වුණු 3 වෙනි වතාවයි. 2017දි මේ විදිහට දකින්න ලැබිලා තියෙන්නෙත්, 2016දි කෙන්යාවෙන් වාර්තා වුණු ජිරාෆ්ම තමයි. හැබැයි ඒ වෙනකොට එයා පැටියෙක් බිහි කරලා. ඒ පැටියත් සුදු පාටයි.

ඇත්තටම සුදු ජිරාෆ් කියලා වෙනමම ජිරාෆ් වර්ගයක් හෝ සත්ව විශේෂයක් නෑ. මෙයාලට තියෙන්නෙ Lueucism තත්වයක්.  මේ තත්වය නිසා සමේ සෛල, වර්ණක වීම වැළකිලා සම සුදු හෝ සුදුමැලි වෙනවා.

ආයිත් ලංකාවෙ කළු කොටියාගේ ප්‍රවෘත්තියත් සමාලෝචනය කළොත්, ඇත්තටම කළු කොටියො කියන්නෙත්, මේ සුදු ජිරාෆ්ලා වගේම තමයි. එයාලා වෙනමම සත්ව විශේෂයක් නෙවේ. එයාලත් සාමාන්‍ය කොටියොම තමයි. හැබැයි සාමාන්‍ය කොටියෙක් විදිහට ඉපදුනත් මෙයාලගෙ වුණු ජාන විකෘතියක් නිසා තමයි සමට සාමාන්‍ය පාට නැතුව කළු පාට ඇවිත් තියෙන්නෙ. ඒ නිසා වර්තමානයේ වුණත්, අනාගතයේ වුණත් ඕනම වෙලාවක කළු කොටියෙක් ඉපදෙන්න පුලුවන්.

* වැඩි විස්තර සඳහා : https://dogswoofs.com/incredible-moment-rare-white-giraffes


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.dogswoofs.com
* වීඩියෝව : Guardian News | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.