කෘෂිකාර්මික පළිබෝධකයන්ට වෛරස් වලින් පහර දීම

December 26, 2019

ලෝකයේ මිනිසා වෙනුවෙන් වගා කරන ආහාර වලින් 1/3ක් අපතේ යනවා. මේ 1/3ක ප්‍රමාණය හැදෙන්නෙ මිනිස්සු නිකරුනේ ඉවත දමන ආහාර වල ප්‍රමාණය සහ වගා කටයුතු වලදි පලිබෝධකයන් විසින් විනාශ කරන ප්‍රමණය කියන මේ දෙකේම එකතුවෙන්.

තක්කාලි, අර්තාපල්, රටකජු සහ දුම්කොළ ඇතුළු ලෝකය පුරා වගා කරන බෝග ගණනාවකට බැක්ටීරියා ආසාදනය වෙනවා. ඒ නිසා බෝග මැලවෙනවා. දිලීර හට ගන්නවා. ඔන්න දැන් මේකට විද්‍යාඥයො අලුත් විසදුමක් ගැන පරීක්ෂණ කරමින් ඉන්නවා. ඒ, බෝග වගාවන් විනාශ කරන බැක්ටීරියාවන්, වෛරසයක් මගින් විනාශ කරලා දැමීමේ ක්‍රමයක් ගැනයි.

මේ මෙහෙයුමට විද්‍යාඥයන් තෝරගෙන තියෙන්නෙ Phages කියලා වෛරසයක්. මෙයාලා බෝගයේ ඉන්න “අහිතකර” බැක්ටීරියා වර්ග විතරක් හොයාගෙන, ඒවා විනාශ කරන්න පෙළඹෙනවා. හැබැයි තවමත් මේ පරීක්ෂණ වලින් 100%ක් සාර්ථක ප්‍රතිපල පෙන්නලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නෙ.

දැනට විද්‍යාඥයන්ගේ නිරීක්ෂණ අනුව මේ වෛරසය, පලිබෝධ නාශක බැක්ටීරියාව විනාශ කරන්නෙ ක්‍රම තුනකින්. පළවෙනියටම වෛරසය කරන්නෙ, රෝගකාරක බැක්ටීරියාවන් පුලුවන් තරමක් විනාශ කරගෙන කරගෙන යන එකයි. දෙවෙනියට කරන්නෙ ඉතුරුවෙලා ඉන්න බැක්ටීරියාවලින් බෝගයට කරන හානිය අවම කිරීමයි. තුන්වෙනි පියවරේදී තවත් අපූරු දෙයක් වෙනවා.

මේ සටන්වලදි පසෙහි පාරිසරික අවකාශ විවර වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට අලුත් සහ ප්‍රයෝජනවත් බැක්ටීරියා වර්ධනය වෙනවා. එහෙම අලුතෙන් ඇති වෙන හොඳ බැක්ටීරියාත්, නරක බැක්ටීරියා වලට විරුද්ධව සටන් කරනවා. 

විද්‍යාඥයන් මේ පරීක්ෂණය සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන හිටියත්, තවත් සැළකිලිමත් විය යුතු කරුණු දෙකක් තවමත් ඉතුරුවෙලා තියෙනවා.

  1. අලුතෙන් බිහිවෙන යහපත් බැක්ටීරියා, අනාගතයේදී අයහපත් වෙයිද? නැද්ද?
  2. වෛරස ඇතුළත් කරපු කෘෂි බෝග මිළදී ගන්න පාරිභෝගිකයා සූදානම්ද? නැද්ද?

* වැඩි විස්තර සඳහා : https://arstechnica.com/science/2019/12/attacking-agricultural-pests-with-viruses


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.vaaju.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.