කොටින්ටත් කොරෝනා?

April 6, 2020

බල්ලො සහ පූසො වගේ ගෘහාශ්‍රිතව ජීවත් වෙන සත්තුන්ට COVID-19 වෛරසය හැදෙන්න පුලුවන් කියලා තහවුරු වුණත්, එහෙම හැදුනු සතුන් කිහිප දෙනෙක් පහුගිය දවස් වල හොයාගෙන තිබුණත්……. අද ඊට හාත්පසින්ම වෙනස් ප්‍රවෘත්තියක් ඇමරිකාවෙන් වාර්තා වුණා.

ඒ තමයි COVID-19 වෛරසය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ “බ්‍රෝන්ක්ස්” සත්වෝද්‍යානයේ ඉන්න අවුරුදු 4ක් වයස ගැහැණු කොටි පැටියෙකුට වැළදීමේ පුවතක්. මේ, COVID-19 වෛරසය ගෘහාශ්‍රිත නොවන සත්වයෙකුට වැළදුනු බවට තහවුරු කර ගත්ත පළවෙනි අවස්ථාව. මේ සත්වෝද්‍යානය වසා දැමෙන්නෙ 2020 මාර්තු මාසයේ 16 වෙනිදා ඉදලයි. මාර්තු මාසයේ අන්තිම සතියෙ ඉදලා මේ කොටි පැටියට වේළුනු කැස්සක් හැදෙන්න පටන්ගෙන තියෙනවා. ඒ අනුව කරපු වෛද්‍ය පරීක්ෂණ අනුව තමයි මේ සිද්ධිය හෙළි වෙලා තියෙන්නෙ.

ඒ විතරක් නෙවේ, මේ සත්වෝද්‍යානයේ ඉන්න තවත් මේ වර්ගයේම කොටින් 3 දෙනෙකුට සහ සිංහයන් 3 දෙනෙකුටත් COVID-19 රෝග ලක්ෂණ පහළ වෙලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මේ සත්ව විශේෂ හැරුණම සත්වෝද්‍යානයේ ඉන්න අනිත් බළල් කුලයේ සතුන්ට (චීටා, දිවියෝ, පූමා) තවමත් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නෑ. මේ වෛරසය හැදුනට පස්සෙ, මේ සතුන්ගේ ශරීර වල ක්‍රියා කරන්නෙ කොහොමද කියලා තවමත් පරීක්ෂණ කෙරෙමින් යනවා.

මේ වෛරසය කොටින්ට වැළදුනේ කොහොමද කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වුණත්, නව කොරෝනා වෛරසය ආසාදනය වුණු ගෘහාශ්‍රිත හෝ කැළෑ සතුන්ගෙන්, මිනිස්සුන්ට වෛරසය බෝ වෙනවා කියලා තවමත් හොයා ගෙන නෑ.

ඊට අමතරව මේ වෙනකොටත් ලෝකයේ ගොඩක් සත්වෝද්‍යාන වල ඉන්න බලධාරීන්, වානර කුලයේ ඉන්න සතුන් ගැන දැඩි අවධානයකින් ඉන්නවා. පරිසර විද්‍යාඥයන් කියන විදිහට උණ රෝග, මිනිසුන්ගෙන් වානරයන්ට බොහොම පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුලුවන්කම තියෙනවා.

* වැඩි විස්තර සඳහා – https://www.nationalgeographic.com/animals/2020/04/tiger-coronavirus-covid19-positive-test-bronx-zoo/


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.corona-covid19.be

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.