කොරෝනා රෝගීන්ට, කොරෝනා රෝගීන්ගෙම ප්ලාස්මා?

February 17, 2020

පසුගිය සතියේ චීනයේ ජ්‍යේෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් නව කොරෝනා වයිරසයෙන් සුව වුණු පුද්ගලයින්ට රුධිර ප්ලාස්මා පරිත්‍යාග කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට හේතු වෙලා තියෙන්නෙ ඒ රුධිර ප්ලාස්මා වල, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන වටිනා ප්‍රෝටීන් සංඝටක අඩංගු වෙලා තියෙන්න පුලුවන් කියන සොයා ගැනීමයි.

මේ ප්‍රතිදේහ වලින් බරපතල විදිහට රෝගාතුර වුණු රෝගීන් 10 දෙනෙකුට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ ප්‍රතිකාර වලින් පැය 12ත් පැය 24ත් අතර කාලය තුළ ඒ හැමෝගෙම වේදනාව අඩු වෙලා තියෙනවා.

ප්‍රතිදේහ කියලා කියන්නෙ වෛරස්, බැක්ටීරියා වගේ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කරන්න, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්ම නිපදවන ප්‍රෝටීනයි. එක එක වෛරස් වලට, එක එක බැක්ටීරියා වලට, ඒවාටම විශේෂ වුණු ප්‍රතිදේහ තියෙනවා.

ශරීරයට පළවෙනි වතාවට වෛරසයක්, බැක්ටීරියාවක් ඇතුළ් වුණොත්, ඒකට විරුද්ධව ප්‍රතිදේහ නිපදවන්න, ශරීරය යම් කාලයක් අරගන්නවා. හැබැයි ඒ වෛරසයම හරි බැක්ටීරියාවම හරි අනාගතයේදී ආයිත් ශරීරයට ඇතුළ් වුණොත්, ඒවත් එක්ක සටන් කරන්න අවශ්‍ය නිසා, පළවෙනි අවස්ථාවේ ප්‍රතිදේහ මතකයේ තියාගෙන ඉදලා, දෙවෙනි අවස්ථාවේදී ශරීරය ඉක්මනින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා.

ඉතින් මේ නව කොරෝනා වෛරසයෙන් මෑතකදී සුවය ලබපු අයගෙ රුධිරයේ තවමත් කොරෝනා වෛරසය එක්ක සටන් කරන්න අවශ්‍ය කරන ප්‍රතිදේහ සංසරණය වෙනවා. තවමත් කොරෝනා වෛරසයෙන් පීඩා විදින රෝගීන්ට ඒ ප්‍රතිදේහ එන්නත් කළාම, ඒ ප්‍රතිදේහ ඒ අයගේ ශරීරයට ඇතුළ් වෙලා, කොරෝනා වෛරසයට විරුද්ධව සටන් කරනවා.

චීනයේ මීට කලින් දරුණුවටම පැතිරුණු උණ වසංගත වලදිත් මේ ක්‍රමයම භාවිතා කරලා තියෙනවා.

* වැඩි විස්තර සඳහා – https://www.livescience.com/blood-plasma-cured-patients.html


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.livescience.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.