ගැඹුරු මුහුදු ගවේෂණයට Jellyfishලා….?????

January 31, 2020

මේ දිනවල ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න විද්‍යාඥයන් කිහිප දෙනෙක් එකතු වෙලා හරි අපූරු පරීක්ෂණයක් කරනවා. ඒ තමයි මිනිසාට ළගා වෙන්න බැරි සහ තවමත් මිනිසා විසින් මෙතෙක් සොයා ගෙන නැති සාගර පතුලේ ගොඩාක් ස්ථාන වල ගවේෂණ කටයුතු වලට Jellyfishලා සූදානම් කිරීමේ මෙහෙයුමකට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම. ඒකෙ පළවෙනි අදියරය තමයි “වේගය”. මේ අභියෝගය ජය ගන්න විද්‍යාඥයන් Jellyfishලා සමඟ සම්බන්ධ කළ හැකි ඉතා කුඩා, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික් ද්‍රව්‍යයක් නිපදවලා තියෙනවා.

සෙන්ටිමීටර දෙකක විතර විෂ්කම්භයක් තියෙන මේ උපකරණය Jellyfishලට සම්බන්ධ කළාට පස්සෙ, එයාලට පුලුවන් වෙනවා එයාලා පීනන සාමාන්‍ය වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් පීනන්න. ඒ කියන්නෙ තත්පරයට, සෙන්ටිමීටර 6ක වගේ දුරක්. Jellyfishලට මොළයක් හෝ වේදනා ප්‍රතිග්‍රාහක නෑ. හැබැයි එයාලා ආතතියට පත් වෙන කොට, එයාලා ශ්ලේෂ්මල ශ්‍රාවයක් පිට කරනවා. මේ පරීක්ෂණ වලදි, මේ සතුන් එහෙම කිසිම ශ්‍රාවයක් පිට කරලා නෑ. ඒ නිසා විද්‍යාඥයන් තහවුරු කර ගෙන තියෙනවා මේ උපකරණය ඒ සතුන්ට සවි කිරීමෙන්, එයාලට කිසිම හානියක් වෙන්නෙ නැහැ කියලා.

සාගරය ගවේෂණය කරනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. අද ලෝකයේ තාක්ෂණය මෙච්චර දියුණු වෙලා තිබුණත්, ඔයාලා දන්නවද සාගරයේ පරිමාවෙන් තවමත් අපි ගවේෂණය කරලා තියෙන්නෙ 5%ත් 10% අතරේ ප්‍රමාණයක් විතරයි කියලා?

දැනටමත් මේ ක්ෂුද්‍ර උපකරණ වලින් ඒ සතුන්ගෙ වේගය තුන් ගුණයකින් වැඩි වෙලා තියෙන නිසා, අනාගතයේදී මේ සතුන්ට තවත් සියුම් මිනුම් සහ සන්නිවේදක උපකරණ සවි කරලා, එයාලව ආයිත් මහ මුහුදට මුදා හරින්න මේ පරීක්ෂකවරු තීරණය කරලා තියෙනවා. ඒ අනුව අනාගතයේ මතු යම් දවසක, මේ Jellyfish ගවේෂක කණ්ඩායමෙන්, අපට තවමත් හොයා ගන්න බැරි වෙලා තියෙන සාගරයේ එක එක ස්ථාන වලට ආවේණික වෙන උෂ්ණත්ව, ලවණතා සහ ඔක්සිජන් මට්ටම් සම්බන්ධව සහ සාගරයේ තියෙන බාධා රහිත ගමන් මාර්ග ගැනත් දත්ත සහ තොරතුරු ලබා ගන්න පුලුවන් වෙයි.

* වැඩි විස්තර සඳහා : https://www.engadget.com/2020/01/30/jellyfish-prosthetic-device-caltech-stanford/


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.wonderopolis.org
* වීඩියෝව : caltech | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.