ජාත්‍යන්තර පිළිකා දිනය

February 4, 2018

පෙබරවාරි මාසයේ 04 වන දිනට ජාත්‍යන්තර පිළිකා දිනය යෙදිලා තියෙනවා.

2000 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ වගේ දිනයක් ප්‍රකාශයට පත් කරන්න තීරණය කරලා තියෙන්නෙ, මේ රෝගය සම්බන්ධව තියෙන වැරදි තොරතුරු පෙන්වා දීම, මිනිසුන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, මිනිසුන්ගේ අවධානය යොමු කිරීම සහ මෙම රෝගයට ගොදුරු වූවන් ගැන තියෙන දුර්මත බිඳීම සහ ඒ අයට සහයෝගය දැක්වීම වගේ අරමුණු ඇතුවයි.

පිළිකාවෙන් වෙන්නෙ ශරීරයේ සෛල පාලනයකින් තොරව අසාමාන්‍යව වර්ධනය වීමක්. මේක ශරීරයේ ඕනෑම අවයවයක හෝ පටකයක ආරම්භ වෙන්න පුලුවන් රෝගයක්. ඊට පස්සෙ ශරීරයේ අනිත් කොටස් වලටත් මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. ලෝකයේ සිදු වෙන රෝගී මරණ අතින් දෙවන ස්ථානයේ ඉන්නෙ පිළිකාවයි.

පිරිමි අයට හැදෙන්න පුලුවන් පිළිකා වර්ග අතරින් පෙනහළු, පුරස්ථි, කොලරෙක්ටල්, ආමාශය සහ අක්මා පිළිකා ප්‍රධානයි. කාන්තාවන්ට හැදෙන්න පුලුවන් පිළිකා අතින් පියයුරු, කොලරෙක්ටල්, පෙනහළු, ගැබ්ගෙල සහ තයිරොයිඩ් පිළිකා ප්‍රධානයි. දැන් අපි පිළිකා සම්බන්ධව සංඛ්‍යාලේඛන සහ තොරතුරු කිහිපයක් ඉතා කෙටියෙන් අධ්‍යනය කරමු.

* ලෝකයේ මරණ 6කින් 1ක් සිදුවන්නේ පිළිකාවන් නිසයි
* පිළිකා රෝගීන්ගෙන් 30% – 50% අතරේ ප්‍රමාණයක් සුව කළ හැක
* සෑම වසරකම වයස අවුරුදු 0ත් 19ත් අතරේ පසුවන දරුවන් 300 000කට පිළිකාව සෑදෙයි
* ඒ අතරින් බොහෝමයක් දරුවන්ගේ පිළිකා සුව කළ හැක
* පළමු ලෝකයේ රටවල පිළිකා රෝගී දරුවන්ගෙන් 80%ක් සුව කළ හැකි මට්ටමක ඇත
* දෙවන සහ තුන්වන ලෝකයේ රටවල පිළිකා රෝගී දරුවන්ගෙන් සුව කළ හැකි මට්ටමේ සිටින්නේ 20%ක් පමණි

ලෝකයේ සමස්ථ පිළිකා මරණ සංඛ්‍යාවෙන් 30% ත් 50% ත් අතර ප්‍රමාණයක්, යහපත් සෞඛ්‍ය පුරුදු වලින් වළක්වා ගන්න පුලුවන්. ඒවායෙන් කිහිපයක් අපි දැන් ඉගෙන ගමු.

* සිගරට් සහ දුම් රහිත දුම්කොළ ඇතුළු දුම්කොළ භාවිතයෙන් වැළකීම
* නිරෝගී බරක් පවත්වාගෙන යෑම
* පළතුරු සහ එළවළු බහුල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කිරීම
* නිතිපතා ව්‍යායාම කිරීම
* මත්පැන් භාවිතයෙන් ඈත් වීම හෝ සීමා කිරීම
* ආරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වා ගැනීම
* Hepatitis B සහ හියුමන් Papiloma වෛරසයට (HIV) එන්නත් ලබා ගැනීම
* පාරජම්බුල කිරණ සහ අයනීකරණ විකිරණවලට නිරාවරණය වීම අඩු කිරීම
* නාගරික වායු දූෂණය අවම කිරීම සහ ගෘහස්ථ දුම් සහ ඉන්ධන භාවිතයෙන් වැළකීම
* නිතිපතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ ඒවා පිළිපැදීම


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.stbaldricks.org

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.