ජුරාසික් පාර්ක් මදුරුවො?

August 10, 2020

ඇමරිකාවේ ෆ්ලොරීඩා සහ ටෙක්සාස් ප්‍රාන්ත වල මෑතකදී ජාන වෙනස් කරපු මදුරුවන් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් මුදා හැරීමේ ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දුන්නා. ඒ ජෛව තාක්‍ෂණ සමාගමකින් ඉදිරිපත් කරපු යෝජනාවක් සඳහයි.

මේ ව්‍යාපෘතියෙ ප්‍රධාන අරමුණ තමයි කහ උණ, ඩෙංගු උණ සහ සිකා උණ ඇති කරන වෛරස් පැතිරීම සඳහා වගකිව යුතු ඊඩීස් ඊජිප්ටි මදුරුවන් ඉවත් කිරීම.

මේ වැඩේදි වෙන්නෙ ජානමය වශයෙන් වෙනස් කරපු විශේෂ පිරිමි මදුරුවන් හරහා එයාලගෙ ගැහැණු සතුන්ට විශේෂ ප්‍රෝටීනයක් යැවීමයි. ඒ, සංසර්ගය ඔස්සෙයි. ඊට පස්සෙ ගැහැණු සතුන් මිය යනවා.

මේ විදිහට මදුරුවන්ගේ ජනගහනය අඩු කිරීමෙන්, මදුරුවන් ප්‍රවාහනය කරන “රෝග කාරක” වෛරස් සම්ප්‍රේෂණය අඩු කරන්න පුලුවන්.

ඒ වුණත් 2020 සහ 2019 වර්ෂ වලදී ෆ්ලොරිඩාවේ සිකා රෝගීන් කිසිවෙක් වාර්තා වෙලා නෑ. ඒ වගේම වාර්තා වුණු ඩෙංගු රෝගීන් ගණන 1යි. ඒ නිසා මදුරු පාලනයට මේ වගේ දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුද කියන ප්‍රශ්නය සමහරක් අය තුළ තියෙනවා. ඒ වගේම එයාලගෙ පරිසරයට එකවර මදුරුවන් බිලියනයක් ආවම, පරිසරයේ මොන වගේ තත්වයක් ඇති වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් සමහරුන්ට තියෙනවා.

ඒ වගේම දැන් දැන්, විශේෂයෙන්ම ෆ්ලෝරීඩා වගේ ප්‍රාන්ත වල ඉන්න අයගෙන් මේ ව්‍යාපෘතියට විරෝධතා එල්ල වෙන්න පටන් ගෙන තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නෙ මේ ව්‍යාපෘතිය “ජුරාසික් පාර්ක් අත්හදා බැලීමක්” කියලයි. මොකද ඔයාලා ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාව බැලුවා නම් තේරෙන්න ඇති විද්‍යාව ඔස්සේ ස්වභාවධර්මයට අභියෝග කරන්න ගිහින්, අන්තිමට වෙන්නෙ මොනවද කියලා.

* වැඩි විස්තර සඳහා : https://returntonow.net/2020/07/06/750-million-gmo-mosquitoes-to-be-released-in-florida-and-texas


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.ktla.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.