දුට්ඨ ගාමිණී අභය මහ රජතුමා (මහ රජ ගැමුණු)
ඒ දෙවන පෑතිස් රජිදුන්ගේ කනිටු සොයුරු අසේල රජු (රාජ්‍ය පාලනය ක්‍රි.පූ. 205-215) මරා දමා හෙළ කිරුළ පැහැරගත් චෝල දේශික ආක්රමණික එළාර රජු අනුරපුර සිහසුන අරා සිටි සමයයි. ඒ වන විට කැළණි රටෙන් මාගම රුහුණට දීග ගිය වෙහෙර දේවියගේ තුරුළෙහි එක් හෙළ දරු පැටියෙක් උණුසුම ලබමින් සිටියේය. මේ දරු පැටවා වැඩිකල් නොගොස්ම වැදූ මවත් උපන් බිමත් ස්වර්ගයටත් වඩා ඉහළින් ඇදහූ මහා දේශාභිමානී වීරයෙකු බවට පත්වූවේය. ඒ මහාවංශ වර්ණනාවෙන් ජාතියේ සංකේතීමය පීතෘ වීරවරයාගේ චරිතය උරුම කරගත් දුටුගැමුණු මහා රජිදදාණන්ය.
මහා සිංහලයේ වංශ කතාව වන මහා වංශයේ වැඩිම පරිච්ඡේද ප්‍රමාණයක් එනම් පරිච්ඡේද 35න් 6ක් වෙන්ව ඇත්තේ වීර දුටුගැමුණු වෘත්තාන්තය වර්ණනා කිරීමටය. මහා වංශයේ කියැවෙන දුටුගැමුණු පුවතේ ඇදහිය නොහැකි කතන්දර ඇතුළත් වන නමුදු, එම වෘත්තාන්තයේ බොහෝ පැතිකඩවල් වර්තමානයේ සොයාගෙන ඇති සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වේ.
දුටුගැමුණු මහ රජුගේ පියා වූ කාවන්තිස්ස ලක්බිම ගිණිකොන දෙස කතරගම පෙදෙසට වන්නට තිබූ රාජධානියක රජු වූවේය.
එම රාජධානිය මහා ගංගාවෙන් එනම් වර්තමාන ව්‍යවහාරය අනුව මැණික් ගගින් රජරට පෙදෙසින් වෙන්ව පැවතුණි. කාවන්තිස්ස රජතුමා දේවානම් පියතිස්ස රජුගේ රුහුණට පැමිණ විසූ සොයුරු, මහානාග කුමරුගේ පරපුරෙන් පැවත එන රාජකීය ලේ උරුමය ඇත්තෙකු වූවේය. එමෙන්ම රට ආක්රමණික සතුරන්ගෙන් නිදහස්කරගැනීමට නම් මුලින් රාජ්‍යය ආර්ථිකව ශක්තිමත් කළ යුතු බව වටහාගත් කාවන්තිස්ස රජතුමා තම පාලන ප්‍රදේශය බත බුලතින් සරුසාර කළේය. එමෙන්ම සේනා සංවිධානය කිරීමට ද පියවර ගත්තේය.
කාවන්තිස්ස රජුගේ සේනාවේ අසාමාන්‍ය ජවයකින් යුතු යුද සෙනෙවියන් එනම් යෝධයන් දස දෙනෙකු වීය. කාවන්තිස්ස රජතුමා එම දස මහා යෝධයන් කැදවා මෙසේ විධාන කළේය.
“තමුන් එක් එක්කෙනා ගම් දනව් පීරා ශක්තිමත්ම තරුණයන් දස දෙන බැගින් තෝරාගෙන, ඔවුන් ප්‍රබල යුද්ධ භටයන් ලෙස හොදින් පුහුණු කළ යුතුයි”… මෙසේ භටයන් 1000ක් ගොඩනැගුණි. ඔවුන් දහස් දෙනාට ද තරුණයන් දස දෙනා බැගින් සොයාගෙන ප්‍රබල ලෙස පුහුණු කිරීමට නියම විය. මෙලෙස එකොළොස් දහස් එකසිය දහයක මනාසේ පුහුණුව ලද බලකායක් ගොඩ නැංවුණි. මේ හමුදාව දුටුගැමුණු සේනාවේ ප්‍රබලම බලකාය විය.
මේ කාලය වන විට ගැමුණු කුමරු ගැටවර වියේ පසු වූ අතර කඩු හරඹ, දුණු හරඹ, අශ්වාරෝහණය, හෙල්ල පළහ භාවිත සටන්, අංගම්පොර ආදී යුද ශිල්පයෙහි ඔහු කෙළ පැමිණ සිටි අතර වහ වහා සතුරු ආක්‍රමණිකයන් සමග යුද වැදීමට හේ නොඉවසිල්ලෙන් සිටියේය. එනමුත් යුද ප්‍රවීණයෙකු වූ එළාර රජතුමා ශක්තිමත් හමුදා සමග වෙසෙන බවත්, ඇතැම් සිංහලයන් ද ඔහුට සහයෝගය දෙන බවත්, ඔහු පැරදවීමට තරම් තම පුත් කුමරු හා සේනා ශක්තිමත් නොවන බවත්, කුමරා ප්‍රමාණවත් තරම් වයසින් මෝරා නැති බවත් කාවන්තිස්ස රජතුමා දැන සිටියේය.
එනමුත් චෝල දේශික ආක්‍රමණිකයන් පැරදවීම ද අත්‍යවශ්‍ය වූයේ, නො එසේ වුවහොත් ලක්බිම රාජ්‍ය බලය දිගටම පරදේශක්කාරයන් වෙත හිමි වන බැවිනි. එළාර ධාර්මික වුව ද ඔහුගේ අනුප්රාප්තිකයන් කෙසේ වනු ඇත්දැයි නිශ්චිත නොවීය. විශේෂයෙන් එළාරගෙන් පසුව රජකම ලබෙනු ඇතැයි පෙනුන චෝල දේශික භල්ලුක කෲර ගති පැවතුම් ඇති අයෙකු වීය. අනෙක් අතින් එළාර යහපත් අයෙකු වුව ද ඔහුගේ දෙමළ සේනා අතින් විවිධ අකටයුතුකම් සිදුවීය. නන්දිමිත්ර යෝධයාගේ කතාවෙන් මේ බැව් පැහැදිළිය.
නන්දිමිත්ර එළාර රජුගේ සිංහල ඇමතියෙකුගේ ඥාති පුත්‍රයෙකු වූ අතර සැදැහැවත් බෞද්ධයෙකු ද වීය. එළාරගේ දෙමළ සෙබලුන් ඇතැම්විට බෞද්ධ සිද්ධස්ථාන වලට අලාභ හානි හා විනාශ සිදුකළ අතර , එළාරගේ පාලන තන්ත්රය හින්දු ආගම ප්‍රචලිත කිරීමට ද කටයුතු කළේය. නන්දිමිත්ර නම් කාය බලයෙන් අනූන යෝධයාට මේ තත්වය නොඉවසිය හැකි වූ අතර, හේ රැට රැට බෞද්ධ සිද්ධස්ථානවලට හානි කළ දෙමළ සෙබළුන් එකා දෙන්නා මරා දමා කැලයට විසිකොට දැමුවේය. එහෙත් මේ ක්‍රමයට ඔවුන්ගේ අකටයුතුකම් නවතාලිය නොහැකි බැව් වැටහුණ නන්දමිත්‍ර අවසානයේ රුහුණට පළාවිත් දුටුගැමුණු රජුගේ සේනාවට එක් වීය.
නාඹර දුටුගැමුණු කුමරු නැවත නැවතත් සතුරාට එරෙහිව සේනාව මෙහෙයවීමට පිය රජුගේ අවසරය පැතූ නමුදු තම ආදරණීය පුතුට විපතක් වේයැයි සැක කළ කාවන්තිස්ස රජතුමා කුමාරයාට ඊට අවසර නොදුන්නේය. මින් කෝපයට පත් කුමරු පියරජුට ස්ත්‍රී ආභරණ යවා, කොත්මලයට පැන ගියේය. දුටු ගැමුණු කුමරුට දුට්ඨ එනම් දුෂ්ඨ යන නාමය පටබැදුනේ එම දුෂ්ඨ ක්‍රියාව හේතුවෙන් බැව් වංශ කතාව පවසයි. එනමුත් මෑතකදී සොයා ගත් සෙල් ලිපියක “දෘෂ්ඨ ” එනම් “දෘඪ” යන විශේෂණය ගැමුණු රජුට භාවිතා කොට තිබේ. දුට්ඨ යන වදන ඉන් බිදී ආවක් බැව් නූතනයේ ඉතිහාසඥයන් අතර පිළිගත් මතයයි.’
කොත්මලේ සිට සේනා සංවිධානය කළ ගැමුණු කුමරු ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් ඇරඹීය. එනමුත් එම සටන සිතුවාට වඩා බොහෝ දුෂ්කර වන්නක් බව ඔහුට ප්‍රායෝගිකව ප්රත්යක්ෂ වීය. ගැමුණු කුමරුට සිදු වූයේ තැනින් තැන ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින්, නිරර්ථක සටනක නිරත වීමටය.
වරෙක සටනකින් පැරදී හෙම්බත්ව ආ ගැමුණු කුමරු නාකි ආච්චි කෙනෙකුගේ පැලකට ගොඩ වැදුනු බැව් ජනප්රවාදයේ කියැවේ. කුසගින්නේ සිටි තරුණයාට ආච්චි අම්මා උණු උණුවේ බත් කන්නට දුන්නාය. තරුණයා උණු බත් පත තැනින් තැන ගෙන ගිල දමනු දුටු ආච්චි අම්මා, “පුතේ උඹ බත් කන්නෙත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ” යැයි පැවසුවාය. එහි තෙරුම කුමක්දැයි විමසූ තරුණයාට ආච්චි අම්මා පැවසුවේ යුද්ධයක් සිදු කළ යුත්තේ තැනින් තැන අසංවිධානාත්මකව නොවන බවයි. යුද්ධය කෙලවරකින් අරඹා අනිත් කෙලවර දක්වා සංවිධානාත්මකව හා දැඩි අධිෂ්ඨානයෙන් මෙහෙය විය යුතු බවයි. ආච්චි අම්මා නොදැනුවත්ම ගැමුණු කුමරුට යුද කලාව පිළිබද හොද පාඩමක් උගන්වා තිබුණි.
පියරජුගේ අභාවයෙන් පසුව පෙරළා පැමිණ රජකම ලබාගත් දුටුගැමුණු රජතුමා කල්යල් බලා, මනා සැලැස්මකින් යුතුව පරදේශක්කාර ආක්‍රමණිකයන්ගෙන් රට- දැය- සාමය මුදාගනු වස් යුද ප්‍රකාශ කළේ “මාගේ මේ ව්‍යායාමය සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මිසෙක රජ සැප පිණිස නොවන ලද බවට” ප්‍රතිඥා දෙමිනි.
දුටුගැමුණු රජු මෑණියන්ගෙත් දෙපා වැද, මෑණියන් ද රන් දෝලාවක නංවාගෙන තිස්ස මහා විහාරයට ගොස් පිරිත් සජ්ජායනා කරමින් සේනාව සම්ගින් සේනාව සමග වැඩමවීමට භික්ෂූන්වහන්සේලා 500ක් ද කැදවාගෙන, ඇත්- අස්- රිය- පා බල සිවුරග සිංහල සේනා පිරිවරා සිය වීර චාරිකාව ඇරඹීය.රට නිදහස් කරගනු පිණිස වසර කිහිපයක් කෙරුණු දැවැන්ත සංග්‍රාමයක් ඉන් ඇළැලී ගියේය.
මහියංගනයට ලංවන විට ජත්‍ර නම් ද්‍රවිඩ සෙන්පතියා තිස් දහසක පමණ සේනාවක් සමග ගැමුණු රජුගේ හමුදාව හා සටනට එළඹියේය. දරුණු යුද්ධයක් ඇවිළ ගියේය. එනමුත් එම මහා යුද්ධයෙන් ජයග්‍රහණය කොට, සතුරන් සී සී කඩ විසුරවා දමන්නට ගැමුණු හමුදා සමත් වූහ. මෙලෙස ප්‍රථම යුද්ධය ජයග්‍රහණය කළ අතර, මහියංගනය දක්වා වූ භූමිය නිදහස් කරගැනුණි. බුදුරදුන් ජීවමානව වැඩ සිටින කාලයේ සිට අපට දායාදයක්ව තිබූ මහියංගන චෛත්‍යය ජත්රගේ හමුදා විසින් විනාශ කොට තිබුණු නිසා සටන් බිමේම හිද එය ප්‍රතිසංස්කරණය කොට අසූ රියන් උසට එය යළි ඉදි කෙරුණි.
මහියංගනයෙන් නික්මුණු දුටු ගැමුණු රජ ප්රමුඛ සේනාවන් සටන් ගණනාවක් ජය ගනිමින් විජිතපුර මහා දෙමළ බලකොටුව වෙත සම්ප්‍රාප්ත විය. මේ වන විට සෙසු සටන් වලදී හැරදා පලා ගිය දෙමළ සේනාවක් ද විජිතපුර බලකොටුවට ඒකරාශී වී සිටි අතර විජිතපුර දී දෙමළ – සිංහල සේනා අතර දරුණු සටනක් ඇවිල ගියේය. ගැමුණු රජුගේ දැවැන්ත හස්තියා වූ කණ්ඩුල ඇතා විජිතපුර බලකොටු දොරටුව බිද දැමීමට උත්සාහ කළ අතර කොටු පවුරේ සිට සිංහල සේනා වෙතට ඊ තල විදිමින් සිටි දෙමළ හමුදා කකාරවන ලද ඊයම් ලෝදිය කණ්ඩුලගේ පිටට වක්කල අතර, ඌට මාරාන්තික තුවාල ද සිදුවිය. වේදනාවට පත් ඇතු අසල වූ වැවකට පැන පිළිස්සීමෙන් ඇති වූ තුවාල වලින් නැගි ඒ වේදනාව සමනය කර ගත්තේය. ඉන් පසුව ඒ සතාට පශු වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර කෙරුණි.
විජිතපුර බලකොටුව අත්පත් කරගැනීමට මාස හතරක් යුද වැදීමට සිදු වූ අතර, එහි තීරණාත්මක අවසාන අදියරේදී හරක් හම් තට්ටු කිහිපයක් කණ්ඩුල ඇතුගේ සිරුර වටා බැද ඌ විජිතපුර බලකොටු දොර බිදීමට මෙහෙයවුණි. විජිතපුර බලකොටුවේ දැවැන්ත අයෝමය ද්වාරය බිද දැමීමට කණ්ඩුල සමත් වූ අතර, මහා ද්වාරය බිදී කැරකී හස්තිරාජයා දෙසටම පැමිණියේය. එහි සිටි නන්දමිත්‍ර යෝධයා වහාම ඉදිරියට පැන තම යෝධ ශක්තිය යොදවා තම වම් උරහිසින් දොරටුව ඉවතට තල්ලු කර දැමුවේය. එය කණ්ඩුල හස්තිරාජයා මතට පෙරලීම වැළකී ගියේය.
මින් පෙර අතීතයේ දිනෙක යුද සංදර්ශනයකදී වරක් නන්දමිත්‍ර යෝධයා කණ්ඩුල හස්තියාගේ දල වලින් අල්ලා තල්ලුකොට ඌගේ පසුපසින් ඉන්දා ඌ පැරදවූ බැව් කියැවේ. මින් ලැජ්ජාවටත් කෝපයටත් පත් කණ්ඩුල මේ සිද්ධිය සිය දීර්ඝකාලීන ඇත් මතකයේ රන්දාගෙන කවදා හෝ නන්දමිත්රගෙන් පළිගැනීමට ගලක් තම හක්කේ රදවාගෙන සිටි බැව් කියැවේ. තමාට සිදු කළ මේ උපකාරය හේතුවෙන් කණ්ඩුල එම ගල ඉවතලා, තරහ ද අමතක කොට නන්දමිත්‍ර සමග මිතුරු වූවේය. විජිතපුර මහා සංග්‍රාමය සිංහල සේනාවල ජයග්රහණයෙන් අවසන් විය. ඉන්පසුව සිංහල සේනා අනුරාධපුරය වෙත සම්ප්‍රාප්ත වූහ.
එහි පැමිණි විට පැන නැගුණු ප්රශ්නය වූයේ මේ සා විසල් නුවරක් යුද්ධයෙන් ජයගන්නේ කෙසේද යන්නයි. මෙහිලා අන් සෑම අවස්ථාවක මෙන්ම විහාරමහා දේවිය ඉතා ප්රඥාගෝචර යුද උපක්‍රමයක් ගැමුණු කුමරුට කියා දුන්නාය. සතුරා ප්‍රබල වූ නගරය ආක්‍රමණයට නොගොස්, සතුරා නගරයෙන් පිටතට යුද්ධයට පැමිණීමට පොළඹවා ගත යුතු බැව් ඕ පැවැසුවාය. ඕ උපදෙස් දුන්නේ අනුරපුර ශක්තිමත්ම ද්වාරය ඉදිරිපිට පවුරු වළලු තිස් දෙකකින් යුතු මහා බලකොටු පංතියක් ඉදිකිරීමටය. මැටි බැම්මෙන් සාදන ලද මෙම පවුරු තුළ හමුදාව රැදවිය යුතු බැව් ඕ කීවාය. මේ පවුරු එක එකක් මත ගැමුණු රජතුමන්ගේ ජීවමාන ලෙස පෙනෙන පිළිම තිස් එකක් සාදවා තැබුණි. සෑම පිළිමයක්ම එකකින් එකකට වෙනස් ඇදුම් ආයිත්තම් වලින් සරසා තිබුණු අතර එක් එක් පිළිම පවුර තුළ තබා තිබුණේ ද විවිධ ස්ථානයන්හීය. රජතුමාගේ ප්‍රතිමා දෙපස මුර භටයන් ද රදවා තිබුණි. රජතුමා සැබැවින්ම සිටියේ අවසාන පවුර තුළය. මේ යුද්ධෝපාය ඉතා සාර්ථක වීය.
සිංහල හමුදාවන්ගේ පෙළඹවීම හමුවේ සටනට ආක්‍රමණශීලීව අවතීර්ණ වූ දෙමළ හමුදාව පළමු බල කොටුව ආක්‍රමණය කළහ. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ එහි සිටින රජතුමාව අල්ලා ගැනීමය. එසේ ප්‍රහාරය එල්ල වන විට සිංහල හමුදාව මදක් දුරට සටන් කොට දෙවන කදවුරට පසු බැස්සහ. මේ ක්‍රියාදාමය සෑම පවුරක් සම්බන්ධයෙන්ම සිදු විය. මෙසේ පවුරෙන් පවුර ආක්‍රමණය කරමින් පැමිණි දෙමළ හමුදාව සෑම පවුරක් මතම තිබූ රජ පිළිම ද සුණු විසුණු කළහ. එනමුත් අවසන් පවුරු වෙත පැමිණෙන විට දෙමළ සේනාව වෙහෙසට පත්ව සිටියහ.
අවසාන පවුරේදී වෙහෙසට පත්ව සිටි ආක්රමණික හමුදාව ගැමුණු රජු හා දසමහ යෝධයන් විසින් මෙහෙයවන ලද ප්‍රබල සිංහල යුද හමුදාවට මුහුණ දුන්හ. මේ සටනින් දෙමළ සේනාවන් දරුණු පරාජයකට ලක් වූ අතර, එළාර රජුගේ මහා සේනාධිපති දීඝජන්තු යෝධයා ද මරා දැමුණි. පළා යන සතුරන් හඹා ගොස් මරා දමනු දුටු දුටුගැමුණු රජ තෙමේ වහාම යුද බෙර හඩවා ඒ ඝාතනය නැවැත්වීය. නිකරුනේ මිනිස් ජීවිත විනාශ වීම වළක්වා යුද්ධයේ තීරණය ගනු පිණිස ඉක්බිති හේ එළාර රජුට ද්වන්ද සටනකට ආරාධනා යැවීය.
මේ අභියෝගය පිළිගත් එළාර රජු, ද්වන්ද සටනට පැමිණියේය. යුද ශූරයෙකු වුව ද ඒ වන විට එළාර රජු (පාලන සමය ක්‍රි.පූ.205 – 161) වයස් ගත අයෙකු වීය. එළාර රජු සිය පර්වත ඇතා මතින් ද, දුටුගැමුණු රජු සිය කණ්ඩුල ඇතා මතින් ද සටනට එළඹියහ. කරට කර පැවැති සටනේ අවසානයේදී කණ්ඩුල ඇතු, පර්වත ඇතාව දන ගැස්සූ අතර, දුටුගැමුණු රජු එල්ල කළ කුන්ත පහරකින් එළාර රජු මැරී වැටුණේය.
මේ සතුරා හේතු සහිතව මරා දැමූ මුත්, දුටුගැමුණු රජතුමා දැහැමි පාලකයෙකු වූ එළාරට ගරු කරමින් ඔහු නමින් සෑයක් බන්දවා ඒ අසළින් පංච තූර්ය නාදයෙන් යුතුව යාමත්, හිස් පා වැසුම් පැළද යාමත් තහනම් කළේය. ඉතිහාසයේ වෙනත් රටවල වීරවරු තම සතුරාගේ මළ මිනියට ද අගෞරව කළ බැව් ලියැවී තිබේ.
උදාහරණ ලෙස ඉලියඩ් ඉතිහාස කාව්‍යයේ කියැවෙන ලෙස ට්‍රෝයි පුරයේ ඔටුන්න හිමි කුමරු වූ හෙක්ටර් මරා දැමූ ග්‍රීක ආක්රමණික සෙනවි ඇකිලීස් හෙක්ටර්ගේ මළ මිනිය ද තම රථයේ ගැට ගසාගෙන ඇදගෙන ගොස්, ඊට අගෞරව කළේය. මේ අතින් දුටුගැමුණු රජතුමා සිදු කළේ ශ්‍රේෂ්ඨ වීර ක්‍රියාවකි. මේ සිද්ධිය පිළිබදව පොන්නම්බලම් රාමනාදන්තුමා සිය Sketches of Ceylon History කෘතියේ මෙසේ පවසයි.
“ සිංහලයන්ට තම ඉතිහාසයෙත් සදහන් වන මෙම උත්කෘෂ්ඨ ගති ලක්ෂණ පිළිබදව නිසැකවම ආත්මාභිමානයක් උපදවා ගත හැකිය. මෙම ගරු සම්මානය විවාදයකින් තොරවම දිගින් දිගටම පවත්වාගෙන එන ලදී. මේ සිරිත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව 1818 කැරැල්ල මෙහෙය වූවන් පළා ගිය අවස්ථාවේ දී ඉටු කළ බව ටෙනන්ට් ගේ ඉතිහාස වාර්තා දක්වයි. පරාජය කරන ලද ඹටුන්න හිමි පුද්ගලයා එම සථානයට ආසන්න වනවාත්ම තම වෙහෙස ද නොතකා දෝලාවෙන් බැස ගමන් ගත් අතර, නිශ්චිතවම එළාර සොහොන පිහිටි ස්ථානය පිළිබදව අවබෝධයක් නොවූ නිසා එම පුරාණ සොහොන පසු කළේ යැයි සැක හැර සිතෙන්නට හැකි දුරක් ඔහු පා ගමනින් ගිය බව ද ටෙනන්ට් විසින් වාර්තා කර තිබේ. “
පි.26 Sketches of Ceylon History සිංහල පරිවර්තනය
-ලංකා ඉතිහාසයේ කටු සටහන්
දුටු ගැමුණු රජතුමා දෙමළ විරෝධියෙකු නොවීය. එසේ වූවානම් හේ වේළුසුමන වැනි ද්‍රවිඩ සෙනෙවියෙකුට තම යුද්ධ සේනාංකයක් භාර නොදෙන්නේය. ගැමුණු රජතුමා ද්‍රවිඩ විරෝධියෙකු වූවානම් තම සේනාව ලවා ඉතුරුව සිටි සියලු ද්‍රවිඩයන් සමූල ඝාතනය කරවීමට තරම් හේ ප්රබලව සිටියේය. එනමුත් එළාර සේනා හා පසුව රට නැවත ආක්‍රමණය කළ භල්ලුකගේ දෙමළ සේනා පරාජයකොට රට එක්සේසත් කළ පසු හේ ඉතුරු වී සිටි සතුරන්ට සමාව දානය කළේය.
දුටුගැමුණු රජතුමා තම සෙන්පතියන්ට හා සොල්දාදුවන්ට නිර්ලෝභීව ත්‍යාග පිරිනැමූ අතර සටනේදී මිය ගිය භටයන්ගේ හා අඹුදරුවන්ට ද, තුවාල ලැබූ භටයන්ට ද එසේම ආධාර උපකාර කළේය. ඔවුන් වෙනුවෙන් නිවාස ඉදි කළේය.
ඉන් පසුව දස රාජ ධර්මයට අනුව රට කරවමින් රට සශ්‍රීක කොට මහා ජාතික ශාසනික සේවාවක් ඉටු කළේය. දුටු ගැමුණු රජතුමා ගිලනුන් සදහා ශාලා ඉදි කරවූ අතර, මහළු අය සදහා රැකවරණ නිවාස ඉදි කරවූයේය.
අනුරාධපුරය අලංකාර මෙන්ම ඵෙතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරීමට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුනු මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකල පළවෙනි නිර්මාණය වන මිරිසවැටිය ඉතා වැදගත්ය. (මරිචවට්ටි ස්ථූපය)
ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමඟ දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.
ලෝහ මහා පය එනම් ලෝවාමහාපාය නම් වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුනු ලැගුම්ගෙය ද මෙතුමාගේ වැදගත් නිර්මාණයකි. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී.
තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. සෘද්ධි බල ඇති භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලද බව කියැවේ. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.
රජතුමාගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින් ද හැදින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා නිදන් කොට බව කියැවේ. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි.
මහා ස්තූපය ඉදි කිරීමේදී ගල් නියම ස්ථානයට ඇදීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටුගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ අසිරිමත් පෙළහර මැද ධාතුන් වහන්සේලා තැන්පත් කරන අයුරු ද බලා සිටි බව කියැවේ.
රුවන්වැලි ස්ථූපය උසම දාගැබ් වලින් එකක් වන අතර 20 වන සියවසේ ප්රතිසංස්කරණයෙන් පසුව උසින් අඩි 338 ක් වේ. වට ප්‍රමාණය (මුල් පේසාවේ) අඩි 942 ක් වෙයි. වට ප්‍රමාණය (ගර්භයේ මුල)අඩි 807 කි.(20 වන සියවසේ ප්රතිසංස්කරණයෙන් පසුව)
කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවැසි වැව් අමුණු බැන්දවූ එතුමා මුළු රටම බත බුලතින් සරු කළේය.
දුටුගැමුණු රජුගේ දිවිය සැම අතින්ම ආදර්ශවත් වීය. උදාහරණයක් ලෙස හේ පිටරටින් රන්දෝලියක් ගෙන්වා නොගත්තේ කොත්මලේ සිටියදී පාවාගත් ඌරු පැළැල්ලේ ගම්මැහැගේ දියණිය රන් මැණිකා අග මෙහෙසිය කොට ජීවිතාන්තය තෙක්ම ඇය හා යුග දිවිය ගත කළේය.
එනමුත් ජනප්රවාදයේ කියැවෙන්නේ දුටුගැමුණු රජු වරක් නාග කන්‍යාවක් බලෙන් පාවා ගත් හෙයින් පලි ගැනීමට නාගයන් කළ දෂ්ඨයකින් රජු අකාලයේ මිය ගිය බවකි. මෙය බෞද්ධ සාහිත්‍යයේ සදහන් අද්භූත නාග ලෝකය හා සැබැදි අද්භූත කතාවකි.
කෙසේ වුව ද ක්‍රි.පූ. 161 -137 දක්වා රජ කළ දුටුගැමුණු රජු මරණාසන්න වූවේය. යුද්ධයෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනය පිළිබදව කවදත් පසුතැවුණු අතර එම පසුතැවිල්ල මේ අවස්ථාවේදීත් මතුව ආවේය. මේ අවස්ථාවේ දී සිවුරු හැර යුද්ධයට එක් වී යුද්ධයෙන් අනතුරුව නැවතත් පැවැදිව අරහත්වය සාක්ෂාත් කළ ථේරපුත්තාභය රහතන් වහන්සේ හා මහ සග රුවන දුටුගැමුණු රජුගේ සිත සනසාලුවේය. අනතුරව තමන් කළ පින් ලියා තැබූ පින් පොත කියවද්දී, ඊට සවන් දෙමින් රුවන් වැලි සෑ රදුන් නමදිමින්, මේ මහා වීරයා අවසන් සුසුම් හෙළුවේය. දුටුගැමුණු මහ රජතුමා, තමන් සිදු කළ මහා පුන්යස්කන්ධයේ විපාකය ලෙස තවුතිසාවේ උපන් බවත් , ඔහු අනාගත මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක හිමි ලෙස ඉපිද සසර කෙළවර කරන බවත් මහාවංශය පවසයි.