දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු

දුරකථන සම්ප්‍රේෂණ කුළුණු නිසා අසල ප්‍රදේශයට අකුණු අනතුරු වැඩිවේද යන පැනය කරලියට එන්නේ අනුව දශකය අග භාගයේදීය. ඉන් පසු දෙදදහස මුල් දශකයේදී මම ශ්‍රීලංකා විදුලි සංදේශන නියාමන කොමිසම (SLTRC) සමග මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ලංකාව පුරා දේශන සහ වැඩමුළු පැවැත්වුයෙමි. වසර 2007 දී පමණ TRC ආයතනය මගින් සන්නිවේදන කුළුණු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශන මාලාවක් ගොඩනැගීම ඇරඹු අතර මම එහි අකුණු ආරක්ෂණය පිලිබඳ කොටසෙහි මූලිකත්වය ගෙන කටයුතු කලෙමි. වසර 2008 හෝ 2009 මුල් භාගයේදී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මූලික වැඩ අවසන් වුනු අතර එම වසර අවසානයේ මම ලංකාවෙන් නික්මුනෙමි.

සම්ප්‍රේෂණ කුළුණක් වැනි උස ලෝහ සැකිල්ලක් ඉදිකළ විට වෙනදා ඒ අවට වෙනත් ස්ථානවලට යොමු වූ අකුණුද එම සැකිල්ලට ආකර්ශණයවේ (මෙහිදී ආකර්ෂණය යන වචනය යෙදීම තාක්ෂණිකව නුසුදුසුය). කුළුණ කඳු ගැටයක් වැනි උස් ස්ථානයක පිහිටියේ නම් මෙම වපසරිය තවත් වැඩිවිය හැක. මේ නිසා ඇත්තෙන්ම සම්ප්‍රේෂණ කුළුණක් අවට ඇති නිවසකට ඍජු අකුණු ප්‍රහාරයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේ.

නමුත් මෙහිදී ඇති වැදගත්ම කාරණය නම් වෙනදාට වඩා වැඩි අකුණු ප්‍රමාණයක් කුළුණ ඇති ස්ථානයට ඇදී ඒමයි. මේ අනුව කුළුණට ඉතා ආසන්නයේ (මීටර 20-30 දුරින්) ඇති නිවාස සහ ගොඩනැගිලි වලට නොයෙකුත් අතුරු අන්තරා ඇතිවිය හැක. ඒ බොහෝ විට පොළව හරහා ගමන් කරන ධාරාව හා නිවසේ විදුලි රැහැන් පද්ධතියේ ඇතිවන ප්‍රේරිත වෝල්ටීයතාවයන් නිසාය.

කුළුණේ භූගත කිරීම නියමාකාරයෙන් සිදුවී නැත්නම් (භූගත ප්‍රතිරෝධය ඉහල නම්) අවට නිවාසවලට වන හානිය හා පුද්ගල අනතුරුද වැඩි වෙයි. මෙබඳු අවස්ථාවක අවට නිවාසවල ඇති පේනුගත විදුලි උපකරණ හානි වීම, විදුලි පැනලය තුල පිපිරීම් ඇතිවීම හෝ ගිනි පුපුරුම් පැනීම, විදුලි උපකරණ භාවිත කරමින් සිටින්නන් අවදානමට ලක්වීම ආදී තත්වයන් ඇතිවිය හැක. මීට අමතරව එළිමහනේ සිටින පුද්ගලයන් (විශේෂයෙන්ම පාවහන් නොපැළඳගෙන) පියවර විභවයට පාත්‍ර වීම නිසා ක්ලාන්ත වී වැටීමට (සමහර විට මරණයට පවා පත්වීමට) ඉඩ ඇත.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.