පැටවුන්ට ලේ පොවන කුරුල්ලෙක්?

March 3, 2020

මීට දවස් කිහිපයකට කලින් ෆ්ලෙමින්ගෝ යුවලක් තමන්ගේ පැටියව පෝෂණය කරන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඒකට හේතුව වුණේ ඒ අය තමන්ගෙ පැටවව පෝෂණය කළේ අමුතුම අමුතු ක්‍රමයකට නිසයි.

ඒ වීඩියෝවෙ එක ෆ්ලෙමින්ගෝ කුරුල්ලෙක්, තව ෆ්ලෙමින්ගෝ කුරුල්ලෙක්ගෙ ඔළුවට හොටෙන් ඇනලා සිදුරු කිරීමක් කරනවා. ඒත් එක්කම ගැහැණු ෆ්ලෙමින්ගෝ කුරුල්ලගෙ ඔළුව දිගේ රතු පාට ද්‍රවයක් වැගිරෙනවා. ඒ රතු පාට ද්‍රවය තමයි ෆ්ලෙමින්ගෝ පැටවා පානය කරන්නෙ. ගොඩක් අය මේ වැගිරෙන්නෙ රුධිරය කියලා කලබල වුණත්, ඇත්තටම ඒ රුධිරය නෙවේ.

ඒ, ෆ්ලෙමින්ගෝ පක්ෂියාගෙ කිරි. ඒවා රතු පාටයි. ටිකක් උකුයි. මේදය සහ ප්‍රෝටීන් බහුලයි. සමහරක් කුරුලු වර්ග අලුත ඉපදුනු කුරුළු පැටවුන්ට දවස් කිහිපයක් යනකන් ඒ විදිහට කිරි ලබා දෙනවා. කුඩා පැටවුන්ට කිරි ලබා දෙන අනිත් කුරුල්ලො විදිහට පෙන්ගුයින්ලා, කොබෙයියො සහ පරෙවියන්ව හදුන්වන්න පුලුවන්.

මේවායේ ක්ෂීරපායීන්ගේ කිරි වල වගේ කැල්සියම් සහ කාබෝහයිඩ්‍රේට් නෑ. මේ කිරි වල සංඝටක ගොඩක් වෙලාවට තීරණය වෙන්නෙ ඒ කුරුලු වර්ගය කෑමට ගන්න ආහාර වල ස්වභාවය මතයි. ඒ වගේම ඒ කිරි වල පාටත් ඒ කුරුළු විශේෂය අනුව වෙනස් වෙනවා.

ඒවායෙත් සුදු, කහ, රතු, අළු, දුඹුරු වගේ පාට ගොඩාක් තියෙනවා. මේ සතුන් පැටවුන්ට මේ කිරි ලබා දෙන්නෙ හොටට හොට ළං කරලා, වැමෑරීමක් කරන ගමන්.

ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගෙ නම් ආහාර ජීර්ණ පද්ධතියේ ග්‍රන්ථි වල තමයි මේවා නිපදවෙන්නෙ.

වඩාත්ම වැදගත් දේ තමයි මේ වීඩියෝවේ විශාල ෆ්ලෙමින්ගෝ කුරුල්ලා පහළ ඉන්න කුරුල්ලගෙ ඔළුව හිල් කරනවා වගේ පෙනුනත්, ඒ කුරුල්ලා තමයි මෙතනදි කිරි වැමෑරීම කරන්නෙ. හොට තියන්න ආධාරකයක් විදිහට තමයි පහළ ඉන්න ෆ්ලෙමින්ගෝ කුරුල්ලගෙ ඔළුව භාවිතා කරන්නෙ.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.stockfootage.com
* වීඩියෝ : StockFootage.com | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.