පියාඹන කාර් යුගය අත ළගයි?

August 31, 2020

ජපානයේ SkyDrive කියන මෝටර් රථ නිෂ්පාදන සමාගම එයාලා 2023 අවුරුද්ද වෙනකොට එළිදක්වන්න සැලසුම් කරලා තියෙන අපූරු වාහනයක මුල් සැලසුමක් පහුගිය දවසක පරීක්ෂා කළා. මේක එසේ මෙසේ වාහනයක් නෙවේ. මේක ඇවිල්ලා පියාඹන වාහනයක්. එහෙමත් නැත්නම් පොළෝ මට්ටමේ ඉදලා අඩි කිහිපයක් උඩින් යන්න පුලුවන් මෝටර් රථයක්.

පළවෙනි උත්සාහයේදීම හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු මල් පල ගන්වමින්, පරීක්ෂණය අතිසාර්ථක වුණා. මේ පරීක්ෂණයේදී රියදුරුට පුලුවන් වුණා මිනිත්තු හතරක කාලයක් මේ මෝටර් රථය පොළෝ මට්ටමේ ඉදලා අඩි කිහිපයක් උසින් රදවා තබා ගන්න.

මේ පරීක්ෂණයෙන් ලබපු සාර්ථකත්වය අනුව තමන්ගෙ ව්‍යාපෘතියේ හරි දිශාවකට ගමන් කරනවා කියලා තමයි SkyDrive සමාගම ප්‍රකාශ කරන්නෙ.

ලෝකයේ පියාසර මෝටර් රථ නිර්මාණය කිරීමේ ව්‍යාපෘති 100කට වැඩි සංඛ්‍යාවක් තිබුණත්, මෝටර් රථය ඇතුළට රියදුරෙකුත් ඇතුළත් කරලා කරපු පරීක්ෂණ තියෙන්නෙ බොහොම අඩු සංඛ්‍යාවක්. ඒ අතරට SkyDrive ව්‍යාපෘතියත් දැන් අලුතින්ම ඇතුළත් වෙනවා.

මේ වාහනය අයිති වෙන්නෙ VTOL නොහොත් Vertical Take Off කියන කැටගරියටයි. සිරස් අතට ගොඩබාන්න සහ නග්ගන්න පුලුවන් වෙන යාන හෝ වාහන අයිති වෙන්නෙ මේ වර්ගීකරණයටයි.

මේ පරීක්ෂණයේ ඊළග පියවර තමයි මෝටර් රථය ගුවනේ රදවන්න පුලුවන් කාලය වැඩි කිරීම. ඒ අනුව පළවෙනි අදියරය විදිහට මේ කාලය විනාඩි 30ක් දක්වා වැඩි කරන්නත්, ඒ ඔස්සේ කුඩා දුරවල් වලින් සමන්විත රටවලට භාණ්ඩ අපනයනය කරන්නත් මේ වාහනය යොදා ගන්න මෙයාලා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඉදිරි අනාගතයේදී මේ වාහනය නිසා රථවාහන සහ ගුවන්තොටුපලවල් වල පවතින තදබදයත් අඩු කරගන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

ඒ වගේම 2030 වෙනකොට වාණිජමය භාවිතය පුළුල් කිරීම, දුර බැහැර ප්‍රදේශ සම්බන්ධ කිරීම සහ විශේෂයෙන්ම ආපදාවන්හි ජීවිතාරක්ෂාව සැපයීම වගේ ඉසව් සඳහත් මේ වාහන භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වුණත් ඒ වැඩසැලසුම් ක්‍රියාත්මක කරන්න නම්, ඒ වෙනුවෙන් වාහන්යේ බැටරියේ ප්‍රමාණය, ගුවන් ගමනාගමන පාලනය සහ යටිතල පහසුකම් ගැනත් හිතන්න වෙනවා.

ජපන් විශ්ලේෂකයන් කියන විදිහට ලෝකයේ පළවෙනි වතාවට ගුවන් යානා සහ ජංගම දුරකතන හදුන්වා දුන්නායින් පස්සෙත්, ඒවාට මිනිස්සුන් අතරේ පිළිගැනීමක් ලැබෙන්න සහ විශ්වාසයක් දිනාගන්න විශාල කාලයක් ගිහින් තියෙනවා. ඒ නිසා මේ පියාඹන මෝටර් රථ වර්ගය වෙළදපලට මුදා හැරියත්, මේවාටත් පිළිගැනීමක් ලැබෙන්න සහ විශ්වාසයක් දිනාගන්න යම් කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.dailymail.co.uk/news/article-8676587/Tokyo-flying-car-firm-company-lift-vehicle-feet-ground.html


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.somagnews.com
* වීඩියෝව : Daily Mail | YouTube Channel
* ඡායාරූපය 02 : www.alternativeafrica.com
* ඡායාරූපය 03 : www.japantimes.co.jp

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.