මිනිසා නිසා නිශාචර වෙන සතුන්

February 17, 2020

පරිසරවේදීන්ගේ අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව සමහරක් ක්ෂීරපායී සතුන්, මිනිස්සුන්ව මග හැරීමේ අරමුණින් එයාලගෙ දෛනික කාල සටහන වෙනස් කරගෙන තියෙනවා.

සිංහයො, කොටියො, වලස්සු වගේ සත්තු දඩයම් කරන්න, සෙල්ලම් කරන්න, සංසර්ගයේ යෙදෙන්න තෝර ගන්නෙ උදේ, දවල් සහ සවස් කාලයයි. ඒත් මිනිස් ක්‍රියාකාරකම් සහ එයාලගේ දෛනික ජීවිතයට මිනිසුන්ගෙන් එල්ල වන බලපෑම් / බාධා හේතුවෙන් එයාලා උදේ, දවල් සහ සවස් කාලයේ නිදා ගන්න පුරුදු වෙලා ඉන්නවා.

ඉස්සර එයාලට හිසරදයක් වුණේ දඩයක්කරුවො විතරයි. ඒත් දැන් එයාලට සාමාන්‍ය මිනිස්සු පවා හිසරදයක් වෙලා තියෙනවා. උදෑසන, දවල් සහ සවස් කාලයන් වලදී සිදුවන මිනිසුන්ගේ ගොවිතැන්, පතල් කැණීම්, ගස් කැපීම් සහ නාගරික සංවර්ධනය වගේ ඝෝෂාකාරී සහ ආක්‍රමණශීලී කටයුතු නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. පරිසරවේදීන් මේ තොරතුරු කියන්නෙ එයාලා විසින් එක එක රටවලින් එකතු කරපු දත්ත පදනම් කරගෙනයි.

ආසියානු Sun Bear වර්ගයේ වලසුන් එයාලා අවධියෙන් ඉන්න කාලයෙන් 80%ක් වෙන් කරන්නෙ ඉර එළිය පතිත වන ස්ථාන වල ගැවසෙන්නයි. ඒත් එයාලාගේ නිජ බිම් ආක්‍රමණය කිරීම් සහ එයාලගෙ නිජ බිම් වල මිනිස් ක්‍රියාකාරකම් වර්ධනය වෙන කොට, එයාලා අවධියෙන් ඉන්න කාලයෙන් 90%ක් අදුරු ප්‍රදේශ වල සැගවිලා ඉන්න උත්සාහ කරනවා.

අප්‍රිකාවෙ ඉන්න ගොඩක් වල් අලි ආහාර සොයා ගන්න ඉර එළිය තියෙන වෙලාවන් භාවිතා කළත්, දැන් දැන් එයාලා ඒ කාල සීමාවෙන් මිදිලා, රාත්‍රී කාලයේ ආහාර සොයා ගෙන යන්න පුරුදු වෙලා ඉන්නවා.

කැලිෆෝනියාවේ සැන්ටා කෲස් කඳුකරයේ ඉන්න වෘකයො දැන් දවල් කාලයේ නිදාගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ කදු නගින මිනිසුන්ගෙන් / ක්‍රීඩකයන්ගෙන් සහ කදුකරයේ කඳවුරු / කූඩාරම් බඳින සංචාරකයන්ගෙන් ඈත් වෙලා ඉන්නයි. ඉතින් උදෑසන සහ දවල් කාල වල දඩයමේ යෙදුනු මේ වෘකයො දැන් එයාලගෙ දඩයම් වෙනුවෙන් වෙන් කරන්නෙ රාත්‍රී කාලයයි.

පරිසරවේදීන්ට අනුව ක්ෂීරපායීන් සූර්යාලෝකය තියෙන වේලාවන් වලදී අවධියෙනුත්, නැති අවස්ථා වලදී නිදාගන්නත් පුරුදු වෙලා තියෙන්නෙ අවම වශයෙන් අවුරුදු මිලියන 65ක විතර ඉදලයි. ඉතින් එයාලව මේ විදිහට නිශාචර තත්වයකට පත් කිරීමෙන් එයාලගෙ සෞඛ්‍යය පිරිහෙනවා. සෞඛ්‍යය විතරක්ම නෙවේ එයාලගෙ ශාරීරික යෝග්‍යතාවය, පරිණාමය, ජනගහන වර්ධනය වගේ දේවල් වලටත් මේ සිදුවීම භයානක විදිහට බලපානවා.

මේ වෙනස් වීම සම්බන්ධයෙන් පරිසරවේදීන් ක්ෂීරපායී සතුන් 64 දෙනෙක් යොදාගෙන වැඩි දුර පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒ හැම සතෙක්ම එයාලගෙ ජීවන රටාවෙන් 20%ක් නිශාචර වෙලා කියලා එයාලා හොයා ගෙන තියෙනවා.

ඉතින් මේ සිදුවීම ටිකක් භයානකයි. මේ ලෝකයේ ඉන්න ගොඩක් මිනිස්සු සතුන්ට ආදරය කරන අය. ඒත් මිනිසුන් හිතාමතාම සතුන්ට බලපෑම් කරන්න උත්සාහ කළේ නැතත්, මිනිසුන්ගේ යම් යම් අහිංසක ක්‍රියාකාරකම් (වනෝද්‍යාන නැරඹීම්, කූඩාරම් චාරිකා, කදු නැගීම්) නිසාත් නොදැනීම සත්තුන්ට විශාල අයහපත් බලපෑමක් වෙනවා.

* වැඩි විස්තර සඳහා – https://returntonow.net/2020/01/05/animals-are-becoming-nocturnal-to-avoid-human-contact/


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.returntonow.net

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.