මී මැස්සන්ව බේර ගන්න ප්‍රංශය කරපු වැඩේ

January 22, 2020

මී මැස්සො අපේ ආහාර සැපයුමෙන් තුනෙන් එකක් සහ වන සතුන්ගේ ආහාර සැපයුමෙන් 90% කට වඩා සපයනවා. ඒ, පරාගන ක්‍රියාවලිය නිසයි. ඒ නිසා ගෝලීය ආහාර නිෂ්පාදනයට සෘජු සහ ප්‍රධාන දායකත්වයක් ලබා දෙන ජීවියෙක් තමයි මී මැස්සා කියන්නෙ.  

ඒත් පහු ගිය අවුරුදු වලට වඩා, මේ වෙනකොට ලෝකයේ මී මැසි ගහණයේ විශාල අඩුවක් වෙලා තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නෙ Neonicotinoid කියන භයානක කෘමිනාශක වර්ගයයි. ඒ නිසා මී මැසි ගහණය පහත වැටීමේ හේතුවට තුඩු දුන් හැම ගොවිපලකම භාවිතා කරන සියලුම Neonicotinoid කෘමිනාශක දැඩි තහනමකට ලක් කරන්න ප්‍රංශ රජය තීරණය කළා. 

මේ කෘමිනාශකය 1990 දශකයේ දී නිර්මාණය කරපු එකක්. මේකෙන් අපේක්ෂා කරලා තියෙන්නෙ අනිත් සතුන් සහ මිනිසුන්ට හානියක් වන විෂ සහිත කෘමිනාශක සඳහා ආරක්ෂිත විකල්පයක් විදිහට භාවිතා කිරීමයි. ඉතින් ඉලක්කගත වෙන්නෙ නැති ජීවීන්ට සාපේක්ෂව අඩු අවදානමක් ඇති නිසාත්, කෘමීන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙන නිසාත්, සපුෂ්ප ගස් සහ අනිත් භෝග ආරක්ෂා කිරීමට මේ කෘමිනාශකය වැඩි වශයෙන් භාවිතා වෙන්න අරගෙන තියෙනවා.

විද්‍යාඥයන් සහ පරිසරවේදීන් පෙන්වලා දෙන විදිහට මේ රසායනය නිසා පිරිමි මී මැස්සන්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම, ප්‍රජනනය කිරීමේ වේගය අඩු වීම, මතක ශක්තිය අඩුවීම (මී වදයෙන් එළියට ගියාට පස්සෙ, ආයිත් මී වදයට එන මාර්ගය අමතකයි) සහ සේවක මී මැස්සන් මී වද සෑදීමේ කුසලතා වලින් හීන වීම වගේ අයහපත් බලපෑම් වලට මී මැස්සන් මුහුණ දෙනවා.  මේ කෘමි නාශකයෙන් මී මැස්සන් අඩු වෙන්නෙ එයාලාගේ සෞඛ්‍යය තත්වය පිරිහීමෙන් වගේම ප්‍රජනන රටාවන් සීමා වෙලා (වඳ බව) කියලත් පැහැදිලි වෙනවා.

මේ ගැටළු නිසා යුරෝපා සංගමය මී මැස්සන්ට හානි ඇති කරන භයානක කෘමිනාශක පහෙන් තුනක්ම තහනමකට ලක් කළා. ඒත් ඊට වඩා එක පියවරක් ඉස්සරහට ගියපු ප්‍රංශය, ඉතිරි කෘමිනාශක වර්ග දෙකත් ප්‍රංශය ඇතුළේ තහනම් කළා.  

* වැඩි විස්තර සඳහා : https://www.healthyfoodhouse.com/france-is-the-first-country-to-ban-all-5-pesticides-linked-to-bee-deaths


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.scitecheuropa.eu

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.