මේ කෝට්ටේ ස්මාරක 4 ගැන ඔබ දැන සිටියාද?

ඔයාලට මතක ඇති මීට මාස කිහිපයකට කලින් අපි “කෝ කෝට්ටේ නටබුන්?” කියන ලිපියෙන්, කෝට්ටේ රාජධානියේ නටබුන් ගැන සාකච්ඡා කළා. ඒ ලිපියෙ අපි වැඩි අවධානයක් යොමු කළේ, “අනිත් රාජධානි වලට සාපේක්ෂව, කෝට්ටේ රාජධානියේ නටබුන් දකින්න නැත්තෙ ඇයි?” කියන ප්‍රශ්නයටයි.

අද ලිපිය, ඒ ලිපියේ දෙවෙනි කොටස කියලත් හඳුන්වන්න පුලුවන්. ඔයාලට මතක ඇති ඒ ලිපියේදී අපි කෝට්ටේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ නටබුන්, අලෞකික සහ ලෞකික කියලා කොටස් දෙකකට බෙදුවා. අද ලිපියෙන් අපි ගෙන එන්නෙ කෝට්ටේ රාජධානියේ අපට දකින්න ලැබෙන අලෞකික ස්මාරක අතරින්, ස්මාරක හතරක් ගැන විස්තර…

 

1. අලකේශ්වර පුරාවිද්‍යා ස්ථානය :
පිටකෝට්ටේ හන්දියේ ඉදලා රාජගිරිය පැත්තට යනකොට දකුණු පැත්තෙන් හම්බ වෙන ‘අලකේශ්වර මාවතෙන්’ හැරිලා ටික දුරක් යනකොට ‘දේවාල පාර’ කියලා පාරක් හම්බ වෙනවා. මේ පාර දිගේ ගියාම අපිට අලකේශ්වර මාළිගාව හම්බ වෙනවා.

යාපනය රාජධානියේ ආර්යචක්‍රවර්තීන් බලවත් වෙලා, සිංහල රාජධානියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරපු නිසා සිංහල රාජධානිය යාපහුවෙ ඉදලා කුරුණෑගලටත්, කුරුණෑගල ඉදලා ගම්පලටත් විතැන් කරන්න සිද්ධ වුණා. කෝට්ටේ බලකොටුව සහ රාජධානිය, ගම්පල රාජධානිය පවතින කාල වකවානුවක තමයි නිර්මාණය වුණේ. මොකද යාපනයෙන් ආයිත් ප්‍රහාරයක් එල්ල වුණොත්, රජතුමාගේ ආරක්ෂාවට කෝට්ටේ බලකොටුව සහ මාළිගාව පාවිච්චි කරන්න පුලුවන් නිසා.

ගම්පල යුගයේ මුල් භාගයේ ඉදලම වංශවත් ප්‍රභූ පැලැන්ති දෙකක් ගැන සදහන් වෙනවා. එකක් තමයි සේනාධිලංකාර පරම්පරාව. අනිත් එක තමයි අලගක්කෝනාර පරම්පරාව. මේ දෙකම කාලෙන් කාලෙට, එකෙක් පරයා නැගී සිටිමින්, තමන්ට හිතවත් කෙනෙක්ව රාජ්‍යත්වයට පත් කර ගැනීමේ බල අරගලයක සහ සීතල යුද්ධයක නිරත වෙලා තියෙනවා. ඒ නිසා එක වෙලාවකට සේනාධිලංකාර පරපුරට උරුමකම් කියන, හිතවත් කෙනෙක් රජ වුණා. තවත් වෙලාවකට අලගක්කෝනාර පරපුරට උරුමකම් කියන, ඒ පරපුරට හිතවත් කෙනෙක් රජ වුණා.

අලගක්කෝනාර පරම්පරාවටම තමයි අලකේශ්වර පරම්පරාව කියලත් කියන්නෙ. අලකේශ්වර පරම්පරාව 13 වන සියවසේ ඉන්දියාවෙන් මෙහාට ආපු, ප්‍රබල සහ වංශවත් පරම්පරාවක් කියලා තමයි කියවෙන්නෙ. පස්සෙ බුදු දහම වැළදගෙන අපේ රටේ සමාජ පරිසරයට හැඩ ගැහිලා තියෙනවා. ඒ පරපුරෙන් අපේ රටට ආපු පළවෙනි සාමාජිකයා තමයි නිශ්ශංක අලගක්කෝනාර කියන්නෙ. නිශ්ශංක අලගක්කෝනාර තමයි කෝට්ටේ රාජධානිය නිර්මාණය කරන්න මූලිකත්වය අරගෙන තියෙන්නෙ. පස්සෙ කාලෙක නිශ්ශංක අලගක්කෝනාරගේ දැක්ම හරි යනවා. යාපනයෙන් ගම්පොල රාජධානියට දැවැන්ත ආක්‍රමණයක් එල්ල වෙනවා.

නිශ්ශංක අලගක්කොනාර ජීවත් වුණු මාළිගාව / නිවස තමයි මේ භූමියේ පිහිටලා තියෙන්නෙ. අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නෙ කබොක් ගල්වලින් හදපු, එකිනෙකට වෙනස්, හතරැස් හැඩයක් සහිත, ගොඩනැගිලි අත්තිවාරම් කොටස් දෙකක් විතරයි. මේ නිශ්ශංක අලගක්කෝනාරගේ සොහොන කියලත් මතයක් තියෙනවා. හැබැයි මේ භූමියෙන් හම්බ වුණු ඇඹරුම් ගල්, ජල පෙරණ (Water Filter) වගේ ගෘහ උපකරණ නිසා, ඒ මතය ප්‍රතික්ෂේප වෙලා යනවා.

 

2. වෙහෙරකන්දේ නටබුන් :
ඇතුල්කෝට්ටේ සහ පිටකෝට්ටේ අතර දිවෙන මාර්ගයේ තියෙන බංගලා හංදිය ළග තියෙන බැද්දගාන පාරෙන් හැරිලා ටික දුරක් ගිහින් වමට හැරිලා, ආයිත් දකුණට හැරිලා කෙලින්ම යන කොට පාර කෙලවරට වෙන්න මේ ස්ථානය දකින්න පුලුවන්.

මේ ස්ථානයේ සෘජුකෝණාස්‍රාකාර වේදිකාවක් උඩ ඉදි කරපු විෂ්කම්භය අඩි 30ක් සහ 24ක් වෙන කුඩා ප්‍රමාණයේ ස්ථූප දෙකක් දකින්න පුලුවන්. ස්ථූප දෙකේම පේසා වළලු 3ක් තියෙනවා. වේදිකාවට උතුරින් සහ බටහිරින් කබොක් ගලින් හදපු පඩිපෙළවල් දෙකකුත්, වේදිකාව උඩින් පිළිම ගෙයක පාදමකුත් දකින්න පුලුවන්.

මේ ස්ථානය ගැන මත ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් කියන්නෙ මේ පුරාණ විහාරස්ථානයක නටබුන් කියලා. ඒත් සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහස අනුව නම් මේ තියෙන්නෙ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ සහ එතුමාගේ බිසවගේ (රන් මැණිකා) සොහොන් කොත්. ඊට අමතරව මේ ඉපැරණි කතරගම දේවාලයක නටබුන් කියලත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා.

 

3. කෝට්ටේ පිටදිය අගල
කෝට්ටේ රාජධානියේ පිටදිය අගලේ ශේෂ කොටස්, UNP පක්ෂ කාර්යාලය (සිරිකොත) අයිනෙන් සහ ඉදිරිපසින් දැක ගන්න පුලුවන්. කෝට්ටේ රාජධානියට ආරක්ෂාව සපයන්න නිර්මාණය කරලා තියෙන මේ පිට දිය අගල, එක එක ගැඹුරින් සහ පළලින් යුක්ත වෙනවා. මේක හදලා තියෙන්නෙ ඇතුළුදිය අගල ගමන් කරන දිශාවට සමාන්තරවයි.

 

4. පිටකෝට්ටේ ගල් අම්බලම
මේ ඓතිහාසික අම්බලම කෝට්ටේ රජමහා විහාරයට සහ නගරයට එන මගීන් වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. අඩි 15ක් දිග, අඩි 20ක් පළල මේ අම්බලමේ ගල් කණු 10ක් දකින්න පුලුවන්. එව්වා කැටයම් කරලා නෑ. මේ කණු 10 උඩ තමයි අම්බලමේ වහලෙ ගහලා තියෙන්නෙ. වටේ තියෙන බිත්ති නම් පස්සෙ කාලෙක නිර්මාණය කරපුවා. පිටකෝට්ටේ හංදියට ගියොත් මේ ගල් අම්බලම ඔයාලට දැක ගන්න පුලුවන්.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.