රටවල් 7කින් ජිරාෆ්ලා අතුරුදහන්?

March 24, 2020

මීට අවුරුදු සීයකට කලින් අප්‍රිකානු රටවල ජිරාෆ්ලා මිලියනයකට වඩා හිටියා කියලා වාර්තා වුණත්, මේ වෙනකොට ඒ ප්‍රමාණය 100 000 දක්වා අඩු වෙලා තියෙනවා. මීට සති කිහිපයකට කලින් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතියෙන් විශේෂ වාර්තාවක් නිකුත් කළා. ඒ වාර්තාවට අනුව මේ වෙනකොට රටවල් 7කින් ජිරාෆ්ලා සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගිහින් තියෙනවා.

බකිනා ෆාසෝ (Burkina Faso), එරිත්‍රියාව (Eritrea), ගිනියා(Guinea), මාලි (Mali), මාර්ටේනියා (Mauritania), නයිජීරියාව (Nigeria) සහ සෙනගල් (Senegal) කියන රටවල් 7 තමයි ඒ වාර්තාවෙ නම් කරලා තියෙන්නෙ. ඒ අනුව දැන් ජිරාෆ්ලා ඉන්නෙ රටවල් 21ක විතරයි.

මාර්ග, දුම්රිය, විදුලි රැහැන් සහ නල මාර්ග වගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම්, මානව සංවර්ධන ව්‍යාපෘති, නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම්, හම් සඳහා දඩයම් කිරීම්, රෝග සහ ආසාදන, සිවිල් අරගල, ලැව් ගිනි, දේශගුණික විපර්යාස, මානව ජනගහන වර්ධනය සහ ජිරාෆ්ලාගේ නිජ භූමි බලෙන් අත්පත් කර ගැනීම වගේ ගොඩක් කරුණු ජිරාෆ්ලාගේ ගහණය අඩු වෙන්න බලපාලා තියෙනවා.

වඩාත්ම භයානක දේ තමයි පරිසරය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයෙන් මේ වෙනකොට ලෝකයේ ඉන්න ජිරාෆ් විශේෂ 9න්, විශේෂ 7ක්ම රතු දත්ත පොතට ඇතුළත් කරලා තිබීම.

* වැඩි විස්තර සඳහා : https://weather.com/en-IN/india/news/news/2020-02-21-giraffes-extinct-seven-countries-100000-left-fragmented-populations


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.returntonow.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.