ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය

මොකක්ද මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ? දැනට පවතින මතය අනුව නම් ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නෙ “ලේඛන කලාව ආරම්භ වීමට පෙර යුගය”යි. මානව විද්‍යාව අධ්‍යනය කළ උගත් මහාචාර්යයවරු අධ්‍යනයේ පහසුවට මානව පරිණාමනය යුග තුනකට බෙදනවා.

01. පැලියෝලිතික යුගය (පූර්ව ශිලා යුගය)
02. මෙසෝලිතික යුගය (මධ්‍ය ශිලා යුගය)
03. නියෝලිතික යුගය (නව ශිලා යුගය)

මානව පරිණාමනයේ ප්‍රධානතම අවධි
01. හෝමෝ හැබිලිස්
02. හෝමෝ ඉරෙක්ටස්
03. හෝමෝ සේපියන්
04. හෝමෝ සේපියන් සේපියන් (වර්තමාන)

01. පැලියෝලිතික යුගය (පූර්ව ශිලා යුගය)

මෙතෙක් කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම්වලින් අපට හමු වූ සාධක අනුව, අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ බවට තොරතුරු ලැබෙනවා. පූර්ව ශිලා යුගයෙන් හමු වූ සාධක අනුව, අපේ රටේ ඉතිහාසය අවුරුදු 125 000කටත් (රත්නපුර සoස්කෘතිය) පෙර යුගයට දිව යනවා. අපේ රටේ ආදීතම මානවයා අයත් වෙන්නේ මේ යුගයටයි.

පූර්ව ශිලා යුගයේ ජනාවාස පැතිරිලා ගිහින් තියෙන්නේ බූන්දල, බෙල්ලන්බැදි පැලැස්ස, පතිරාජවෙල ආදී ප්‍රදේශවලයි. ආදී මානවයා විසින් භාවිතා කරපු මෙවලම් රැසකුත් මේ වන විට සොයා ගෙන තිබෙනවා.

02. මෙසෝලිතික යුගය (මධ්‍ය ශිලා යුගය)

අපේ රටේ ප්‍රාග් ඓතිහාසික ස්ථානවලින් වැඩිම ප්‍රමාණයක් හමු වෙන්නෙ “මධ්‍ය ශිලා යුගයෙන්”. අවුරුදු කිහිපයකට උඩදි නම් ක්‍රි.පූ 125 000ත් – ක්‍රි.පූ 900 දක්වාත් කාලයයි. දැන් නම් ක්‍රි.පූ 500 000ත් – ක්‍රි.පූ 900ත් අතර කාලයක්… කැණීම්වලින් මේ යුගයට අයත් මානව හා සත්ව අවශේෂ, ශිලා මෙවලම්, පාෂාණ වර්ග සොයා ගන්න පුළුවන් වුණා. බූන්දල, බට දොඹ ලෙන, පාහියන්ගල ලෙන, අළු ලෙන, බෙල්ලන්බැදි පැලැස්ස කදිම නිදසුන් විදිහට ගන්න පුළුවන්.

මෙසෝලිතික යුගයෙන්, කැණීම් කණ්ඩායම්වලට හමු වූ ශිලා ආයුධ අර්ධ චන්ද්‍රාකාර, ත්‍රිපීසියමාකාර, ත්‍රිකෝණාකාර ස්වභාවයක් ගන්නවා. ඊට අමතරව සත්ව ඇට කොටස්ද ආයුධ ලෙස භාවිතා කරලා තියෙනවා. සමහරක් මෙවලම් සකසලා තියෙන්නේ (ඇඹරුම් හා තැලුම් ගල්), කහද සහ තිරුවානා වගේ විශේෂ පාෂාණ වලින්.

බලංගොඩ ආශ්‍රිත ප්‍රදේශයෙන් මේ අපූරු සභ්‍යත්වය හමු වුණු නිසා දැරණියගල මහතා විසින් “බළංගොඩ මානව සංස්කෘතිය” විදිහට මේ කාල වකවානුව නම් කළා. බළංගොඩ මානව ඇටසැකිල්ල (හෝමෝ සේපියන්), මෙම යුගයෙන් අපට හුමු වුණු වටිනා සම්පතක්.

ශරීර ලක්ෂණ
​01. ඉදිරියට නෙරූ නළල් තලය
02. ශක්තිමත් පුළුල් ඇට
03. පස්සට නෑඹුරු වූ නිකට
04. විශාල දත්
05. මුක්කන් නහය

ආහාර
01. මුහුදු මාළු
02. මුහුදු ඌරන්
03. ගෝන්නු
04. ඉත්තෑවෝ
05. මුගටියන්
06. තලගොයින්
07. ඉබ්බන්
08. බෙල්ලන්
09. මිරිදිය මසුන්
10. කැකුන ඇට
11. වල් කෙසෙල් ​​
12. වල් දෙල්
13. පළතුරු
14. එළවළු

ඒ වගේම ඒ අවට ස්ථාන වලින් ආහාර ගැනීමට භාවිතා කරපු “ගෑරප්පු” සොයා ගෙන තියෙනවා. මානව වාසස්ථාන අවටින් හමු වෙච්ච අලු ස්ථර සහ ලිප්වලින් ඔප්පු වෙනවා, ඔවුන් ගින්දර භාවිතා කළා කියලා. ගින්දර භාවිතය මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් කියන එක අපි කවුරුත් දන්න කරුණක්.

ඒ වගේම තමයි, මස් මාංශ අමුවෙන් කනවා වෙනුවට පුළුස්සා ආහාරයට අරගෙන තියෙනවා. ඒ කියන්නෙ ඒ කාලයේ ඉදන්ම BBQ System එක තිබිලා තියෙනවා. දියුණු අභිචාර විධි අනුගමනය කරලා තිබෙනවා. මේ යුගයට අයත් සොහොන් පිට්ටනි රැසක්ම සොයා ගෙනත් තිබෙනවා. ඔවුන් මළවුන් පිළිබදව, පුනර්භවය සහ පුනරුත්පත්තිය පිළිබදව විශ්වාස කළා. ඔවුන්ගේ අභිචාර විධි (කෙනෙක් මිය ගිය විට අනුගමනය කරන ක්‍රමවේද) තුනක් දැක ගන්න පුලුවන්.

01. මිය ගිය පසු භූමදානය කිරීම
02. භූමදානය කර මස් කුණු වූ පසු නැවත භූමදානය කිරීම
03. මළ මිනිය දෙදනින් නමා වකුටු කර භූමදානය කිරීම

ඕනෑම අයෙක් එක ප්‍රදේශයක ඉතාමත් දීර්ඝ කාලයක් වාසය කරන කොට, ඒ අයගේ ශරීරවල, ඒ ඒ පරිසරය අනුව අභ්‍යන්තරික සහ භාහිර වශයෙන් වෙනස්කම් හට ගන්නවා. බලංගොඩ මානවයා කියලා කියන්නේ 500 000 – 900ත් අතර කාලයක් තිස්සේ අපේ රටේ වාසය කළ අයෙක්.

03. නියෝලිතික යුගය (නව ශිලා යුගය)

පූර්ව ශිලා යුගයෙන් මිදෙන මිනිසා මධ්‍ය ශිලා යුගය පසු කරමින්, නව ශිලා යුගයට පැමිණෙනවා. දැන් සියලු ක්‍රමවේදවලින් වෙනස් වෙලා. දඩයමෙන් ජීවත් වූ මිනිසා, නිෂ්පාදන කාර්යයට යොමු වෙනවා. තමන්ට අවශ්‍ය දේ තමන්ම නිපදවා ගන්න යුගයක්. විවිධ කර්මාන්ත සහ නිෂ්පාදන බිහි වෙනවා. තැනින් තැන ඇවිදිමින්, සංචාරක ජීවිතයක් ගත කළ මිනිසා, නිවාස ගොඩ නගා ස්ථීර ජනාවාස ඇති කර ගන්න පටන් ගන්නවා.

මෙම යුගයට අයත් මෙවලම් රැසක් කැණීම වලදී සොයා ගැනුණා. ඇදුම් සහ ආභරණ භාවිතය, නිදහස් චින්තනය, පරිසරය කෙරෙහි නැඹුරු වීම, සාගරික සම්පත් ප්‍රයෝජනයට ගැනීම, සංවිධානාත්මක පාලනය මේ කාලයේදී දක්නට ලැබෙන විශේෂ අවස්ථා ලෙස ගන්නට පුළුවන්.



උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : By Microgen | Envato
* ඡායාරූපය 01 : www.allyouneedisbiology.wordpress.com
* ඡායාරූපය 02 : www.thinglink.com
* ඡායාරූපය 03 : www.english-heritage.org.uk
* වීඩියෝව 01 : ශ්‍රී ලංකා පුරාවිද්‍යා හා ඉතිහාසය | YouTube Channel
* වීඩියෝව 02 : ශ්‍රී ලංකා පුරාවිද්‍යා හා ඉතිහාසය | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.