විශ්වයේ හදුනාගත් දැවැන්තම පිපිරීම?

March 25, 2020

තාරකා විද්‍යාඥයන් පිරිසක් මේ වෙනකොට විශ්වයේ වුණු පිපිරීම් අතරේ “හදුනාගත්” විශාලම පිපිරීම හොයාගෙන තියෙනවා. තාරකා විද්‍යාඥයන් කියන විදිහට මේක විශ්වයේ වුණු අසාමාන්‍ය පිපිරීමක්. මොකද මේ පිපිරීමෙන් නිකුත් වෙලා තියෙන ශක්තිය, අනිත් මන්දාකිණි වල වෙන පිපිරීම් වලට වඩා සිය දහස් ගුණයක් ප්‍රබලයි. ඒ විතරක් නෙවේ, මේ පිපිරීම කලින් හදුනාගත්ත විශාලම පිපිරීම වගේ පස් ගුණයක් විශාලයි කියලා තමයි මාධ්‍ය නිවේදන වල දැක්වෙන්නෙ.

මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නෙ පෘතුවියේ ඉදලා ආලෝක වර්ෂ මිලියන 390 ක් විතර දුරින් පිහිටලා තියෙන Ophiuchus Cluster කියලා හදුන්වන අති විශාල මන්දාකිණියකයි. ගොඩක් ඉස්සර කෘතිම චන්ද්‍රිකා වලින් මේ කොටසේ ලබා ගත්ත පින්තූර පරික්ෂා කරපු තාරකා විද්‍යාඥයන්, මේ ඇදහිය නොහැකි විශාල පිපිරීම ගැන මුලින්ම පරීක්ෂණ කරන්න පටන්ගෙන තියෙන්නෙ 2016 අවුරුද්දෙදියි.

ඒ, මේ පින්තූර වල තියෙන අමුතු වක්‍රාකාර දාරයක් ගැන සැකයක් ඇති වුණු නිසයි. මොකද ඒ අමුතු වක්‍රාකාර දාරය පිපිරීමක් නිසා ඇති වුණු කුහරයක වටේ තියෙන කොටසක් වෙන්න පුලුවන් කියලා සමහරක් තාරකා විද්‍යාඥයන් තර්ක කරන්න ගත්තා.

2016 අවුරුද්දෙ ඉදලා කෘතිම චන්ද්‍රිකා වල පින්තූර වලින් සෑහීමකට පත් වෙන්නෙ නැතුව, පෘතුවියේ එක එක තැන් වල ස්ථාපනය කරලා තියෙන දුරේක්ෂ වලින් ගත්ත පින්තූරත් යොදා ගෙන අවුරුදු ගණනාවක් කරපු පරීක්ෂණ වලින් ඒ තියෙන්නෙ පිපිරීමක් නිසා ඇති වුණු විශාල කළු කුහරයක් කියලා තාරකා විද්‍යාඥයන් මෑතකදි ඔප්පු කර ගත්තා.

විද්‍යාඥයන් ගණනය කරලා තියෙන විදිහට මේ පිපිරීමෙන් ඇති වෙලා තියෙන ආවාටය, එහෙමත් නැත්නම් කළු කුහරය ඇතුළට මන්දාකිණි 15ක් බස්සන්න පුලුවන්කම තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.space.com/biggest-cosmic-explosion-universe-discovery.html


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.space.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.