විශාලතම ඕසෝන් සිදුර සුව අතට?

April 30, 2020

ඕසෝන් ස්ථරය කියන්නෙ සූර්යයාගෙන් පෘතුවියට නිකුත් වෙන අහිතකර පාරජම්බුල කිරණ අවශෝෂණය කරලා, පෘතුවියේ ජීවීන්ව ආරක්ෂා කරන පෘථිවියට ඉහළ අහසේ තියෙන ස්ථරයක් සහ කලාපයක්. මීට සති කිහිපයකට උඩදි උතුරු අර්ධගෝලයේ ඉහළ අහසේ තියෙන ඕසෝන් වියනේ අතිවිශාල සිදුරක් නිර්මාණය වුණා. ඒ සිදුවීමේ ප්‍රතිපලයක් විදිහට උතුරු අර්ධගෝලයේ අයිස් දියවීම සීඝ්‍රයෙන් වර්ධනය වුණා වගේම ජල මට්ටමේ ඉහළ යෑමකුත් වාර්තා වුණා.

විද්‍යාඥයන්ට අනුව මේ විදිහට අසාමාන්‍ය කුහරයක් නිර්මාණය වෙන්න බලපාලා තියෙන්නෙ අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් මිසක් මිනිස් ක්‍රියාකාරකම් නෙවේ. ඒ කියන්නෙ සීතල උෂ්ණත්වය සහ දැඩි සුළං හරහා හට ගන්න “ධ්‍රැවීය සුළි සුළං”.

ඒ විදිහට ඒ කලාපයේ ක්ෂණිකව ඇති වුණු අසාමාන්‍ය සිදුර ක්‍රමයෙන් වැසීගෙන යන බව කොපර්නිකස් වායුගෝලීය අධීක්ෂණ සේවය (CAMS) පහුගිය සතියේ නිළ වශයෙන් ප්‍රකාශ කළා.

මේ දවස් වල තියෙන කොරෝනා තත්වය සහ ඇදිරි නීති ඔස්සේ කර්මාන්තශාලා සහ ප්‍රවාහන සේවා අක්‍රියවීම් හරහා චීනය, ඉන්දියාව වගේ රටවල වාතයේ කැපී පෙනෙන ධනාත්මක වෙනසක් සිදු වුණා. ඒ නිසා ගොඩක් අය විශ්වාස කළා, උතුරු අර්ධගෝලයේ ඉහළ අහසේ තියෙන මේ ඕසෝන් සිදුර සුව අතට හැරීමට බලපෑවෙත් මිනිස් ක්‍රියාකාරකම් අඩු වුණ නිසා කියලා. ඒත් විද්‍යාඥයන් ප්‍රකාශ කරන විදිහට මේ සිදුවීම් දෙක අතරේ කිසිම සම්බන්ධයක් නෑ.

ඒ වගේම විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා ඕසෝන් ස්ථරය සිදුරු වෙන්න බලපාපු විශාල සුළි සුළඟ තවමත් නිමාවට පත්වෙලා නෑ කියලා. ඉදිරි සති කිහිපයෙත් ඒ සුළි සුළඟ සක්‍රියව පවතින්න පුලුවන්කම තිබුණත්, ඉදිරි සති කිහිපයේ හමන සුළි සුළගෙන් ඕසෝන් ස්ථරයට බලපෑමක් වෙන්නෙ නෑ කියන එකයි ඒ අයගේ අදහස.

* වැඩි විස්තර සඳහා : https://www.opindia.com/2020/04/largest-ozone-hole-formed-over-the-arctic-heals-scientists-say-coronavirus-lockdown-has-nothing-to-do-with-it/


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.opindia.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.