සතුටින් ජීවත් වෙමින් සාර්ථක වන්නේ කෙසේද?

සිතන්න. මේ වසර 1960. ඔබ ඉන්දියාවේ සෙනග පිරුණු කෝච්චියක දිග ගමනක් යනවා. කෝච්චිය වද්නගර් කියන ස්ටේෂමේ නවත්තපු වෙලාවේ අවුරුදු දහයක පොඩි දරුවෙක් තම තාත්තා සමග “තේ..තේ..” කියමින් තේකක් විකුනන්න කොච්චි පෙට්ටියට ගොඩවෙනවා. ඔබට හීනෙන්වත් හිතේවිද මේ පුංචි දරුවා කවදාහරි ඒ ලංකාව වගේ පනස් ගුණයක් විශාල මහා ඉන්දියාවේ- මහා භාරතයේ අග්‍රාමාත්‍ය තනතුරට පත් වේවි කියලා? එහෙම දෙයක් ඔබට හීනෙන්වත් හිතෙන්නේ නෑ. එත් දශක ගණනාවකින් පසුව එය ඒ විදියටම සිදුවෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අද වෙනකොට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝධී.

1706 වසරේදී ඇමරිකාවේ උපන් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් 17 දෙනෙකු දරුවන් සිටි පවුලක පිරිමි දරුවෙක්. දුප්පත්කම නිසා වසර දෙකකට වඩා ඔහුව පාසල් යැවීමට දෙමවුපියන්ට හැකි වන්නේ නෑ. එනමුත් ස්වයං උත්සාහයෙන් අධ්‍යාපනය ලබන බෙන්ජමින් පසු කලෙක පෙනිස්ල්වෙනියා ජනපදයේ 6 වන ජනාධිපතිවරයා බවට පත්ව ඇමරිකාවේ නිදහස වෙනුවෙන් ප්‍රධාන ලෙස දායක වූ දේශපාලනඥයෙකු එනම් ජාතියේ පියවරයෙකු (founding fathers) බවට පත්වෙනවාක් පමණක් නොව මහා උගතෙකු හා ග්‍රන්ථ කතුවරයෙකු බවට පත් වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරක් හුසේන් ඔබාමා සුවිශේෂී චරිතයක්. ඔහුගේ පියා කළු ජාතිකයෙක් මුස්ලිම්වරයෙක් . අදත් කල්ලන් පහත කොට සලකන ආකල්ප ඇති , මුස්ලිම් විරෝධී ආකල්ප ඇති ඇමරිකාවේ, කලු හමක් ඇති , හුසේන් නම් මුස්ලිම් නමක් ඇත්තෙකුට ජනපති වීම ලෙසේ නෑ. එත් බරක් හුසේන් ඔබාමා ඒ අභියෝගය ජය ගත්තා. දෙවරක්ම ජනපති පදවිය හෙබවූවා. ඔබ දන්නවාද ඔහුගේ පළමු රස්සාව උනේ කුමක්ද කියා? අයිස් ක්‍රීම් විකිණීමයි. ඔහු කලක් මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වී සිටියෙක්. දුප්පත්කම හා එබඳු දුර්වලතා ජය ගනිමින්, ලොව බලවත්ම මිනිසා බවට පත් වන්නට කෙතරම් කැප කිරීම් ඔහු කරන්නට ඇද්ද?

ලෝකයේ මේ විදියට දුක දිනා විජයග්‍රහණය කල විවිධ ක්ෂේත්‍රවල චරිත අසීමිත ලෙස අපට මුණ ගැහෙනවා. චුල්ලසෙට්ඨි ජාතකය කියන ජාතක කතාවේ මී කුණක් විකුණා තම ව්‍යාපාර දිවිය අරඹා කෝටිපතියෙකු වූ චරිතයක් ගැන කියවෙනවා. මෙබඳු චරිත හා අන් අය අතර තියෙන වෙනස මොකක්ද? මේ සුවිශේෂී ජයග්‍රහණයන් ඔවුන් ලැබුවේ වාසනාව නිසාද? කැපවීම-උත්සාහය හා අධිෂ්ඨානය නිසාද? ඔව්. වාසනාව-කැපවීම-උත්සාහය-අධිෂ්ඨානය, මේ සියල්ල අඩු වැඩි වශයෙන් මේ චරිත වල ජයග්‍රහණයට බලපෑවා.

එනමුත් මේ චරිත ගැඹුරින් අධ්‍යයනය කරන විට වඩාත් පැහැදිලිව පෙනෙන්නේ තමන් තමන්ගේ ආත්මික රිද්මය හඳුනාගෙන, එම රිද්මයට ගැලපෙන භූමිකාව තෝරාගෙන, එම භූමිකාව මනාව රඟ දැක්වීම හේතුවෙන් සමාජයේ ඉහලම තැනකට පැමිණීමට මේ චරිත වලට හැකි වූ බවයි. කොටින්ම තමා ස්වභාවයෙන්ම දක්ෂ කුමනාකාර ජීවිකාවක් මනාව කිරීමටදැයි හඳුනාගෙන ඒ දක්ෂතාව ඇති track එකේ ඉදිරියට යාම ඊට හේතුවයි. “make your passion your profession” යන ඉංග්‍රීසි කියමනෙහි කියවෙන්නේ එයයි. “ඔබේ දක්ෂතාව – ආශාව ඇති මාර්ගය තෝරාගෙන එය ජීවිකාව බවට පත් කර ගන්න” යන්න එහි තේරුමයි.

යමෙකු අන්න ඒ විදියට තමන්ගේ වීරත්වය- නැතිනම් දක්ෂකම ඇති ජීවිකා මාර්ගය( carrier path ) තෝරාගෙන, කාර්යශුරත්වය-කැපවීම-උත්සාහය-ඉවසීම- අධිෂ්ඨානය හා තැනට සුදුසු නුවණ ඇතිව, බාධා,අභියෝග ඉදිරියෙහි පසු නොබසිමින්, එම ජීවිකාව ප්‍රගුණ කරමින් ඉදිරියට ගියහොත් නිසැකවම ජීවිතය ජය ගත හැකියි. සතුටින් ජීවත් විය හැකියි. තමන් තුල ඇති වීරයා හඳුනාගෙන, ඒ වීරයා ගොඩනැගිය හැකියි.

හිතන්න.. කිඹුලෙකු ශක්තිමත් ජලයේදී. වතුරට බසින සිංහයෙකුට වුනත් ජලයේදී කිඹුලා පරද්දන්න අමාරුයි. එත් ගොඩබිමට ආවාම උගේ බලය ගොඩක් අඩු වෙනවා. ගොඩබිම ඉන්න කිඹුලාව කොටියෙකුට ලේසියෙන්ම මරලා දාන්න පුළුවන්.

සිංහයෙකුගේ ශක්තිය තියෙන්නේ ඌ ගොඩබිම ඉදිද්දේ. ගොඩබිමේදී ඌව පරද්දන්න ලේසිපාසු සතෙකුට බෑ. එත් ජලයට බැස්සාම උගේ ශක්තිය පිරිහෙනවා.

අන්න ඒ වගේ මේ ලෝකේ උපදින සෑම ළමයෙකුටම සංසාරේ පුරුද්දෙන් තමන් දක්ෂ ක්ෂේත්‍රයක් තියෙනවා. “ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත’ කියල කියන්නේ එකයි. මේ ලෝකේ හුඟ දෙනෙක් හුඟක් දක්ෂකම් දක්වන්නේ තමන්ට ආවේනික එක ක්ෂේත්‍රයක. ගොඩක් ක්ෂේත්‍ර වල දක්ෂකම් ඇතිව උපදින අය අඩුයි.

මොසාට් කියන ලෝකයේ සුප්‍රසිද්ධ සංගීතවේදියා තම මුල්ම සිම්ෆනි එක නිර්මාණය කරන්නේ වයස අවුරුදු හතරේදී. ඔහුගේ සහජ දක්ෂකම කුඩා කාලයේදීම මතු වුනා.

එත් ගොඩක් දෙනාගේ සහජ දක්ෂකම් සැඟවිලා තියෙන්නේ. ඒ වගේම දෙමවුපියන්ගේ, සමාජයේ බලපෑමට බොහෝ දෙනා යොමුවෙන්නේ තමන්ගේ සහජ දක්ෂතා ඇති ක්ෂේත්‍රවලට නොවෙයි. උදාහරණයක් විදියට අපේ රටේ සාමාන්‍යපෙළ උසස් ප්‍රතිපල ලබන සාතිශය බහුතරයක් විද්‍යා හෝ ගණිත ක්ෂේත්‍ර උසස් පෙලට තෝරා ගන්නවා. ඒ වුනත් ඒ අයගෙන් බොහෝ දෙනා ඒ ක්ෂේත්‍ර වල සාර්ථක වෙන්නේ නෑ.

එහෙනම් තම සහජ දක්ෂකම ඇති ක්ෂේත්‍රය හඳුනාගන්නේ කෙසේද? නොඑසේ නම් තමන් තමාගේ වීරයා හඳුනාගන්නේ කෙසේද?

තමන් හඳුනා ගැනීම යනු තම ආත්මික රිද්මය හදුනා ගැනීමයි. එය අධ්‍යාත්මික කර්තව්‍යයකි. මේ දේ සිදු කරන්නේ කෙසේද?

යමෙකුට තමන්ගේ ආත්මික රිද්මය හඳුනාගත හැක්කේ, බාහිර සමාජයේ මිනිසුන්ගේ මතිමතාන්දර බැහැර කොට, තම අභ්‍යන්තර හෘද සාක්ෂියේ හඬට හොඳින් සවන් දීමෙන් හා බාහිර සමාජයේ එක එක්කෙනාගේ මතිමතාන්තර නොසලකා නොබියව තම අභ්‍යන්තර හෘද සාක්ෂියේ හඬ අනුව ක්‍රියා කිරීමෙන් පමණකි.

ඒ උදෙසා ඔබ මෙසේ කරන්න.

1. හිස් කොලයක් ගන්න. එහි මුලින්ම තම ජීවිතයේ අරමුණ ලියන්න. එය ලොකු අරමුණක් වන තරමට හොඳයි. තරු වලට යන්න සැලසුම් කරලා වැඩ කළොත් තමයි හඳට හරි යන්න පුළුවන් වෙන්නේ. මේ අරමුණ ලඟා වුවහොත් ඔබ සතුටින් ජීවත් වේවිද කියා සිතන්න. එසේ සතුටින් ජීවත් වේවි කියා සිතනවා නම් දැන් ඔබ ඔබේ අරමුණ වෙත යන්නට සක්‍රීය වැඩ සැලැස්මක් ලිවිය යුතුයි. ඔබ අපතේ හරින කාලය ඔබ ඔබේ අරමුණින් ඈතට යවනවා. ඔබ සැලසුමකට වැඩ කිරීම අතපසු කරන විට සැබවින්ම සිදු වන්නේ ඔබ අසමත් වීමට ඉබේ සැලසුම් කිරීමයි. (When you fail to plan: you are planning to fail) ඔබේ අරමුණ හා ඔබ දැන් සිටින තැන අතර පරතරය ඔබට පියවිය හැක්කේ නිර්මාණශීලී චින්තනයෙන් යුතු සක්‍රීය ක්‍රියාවන්ගෙන් පමණයි.

එනමුත් මතක තබා ගන්න, ඔබ මේ සක්‍රීය වැඩ සැලැස්ම ක්‍රියාත්මක කරන අතරවාරයේදී සතුටින් සිටිය යුතු බව.

අපේ සතුට නැති වන ප්‍රධාන දේ තමයි අපි අනුන් සමග අපව සංසන්දනය කිරීම. අනුන්ට තියෙන අපිට නැති දේවල් ගැන හිතල දුක් වෙන එක. ඒක අත හරින්න. අනුන්ගේ ජීවිත ගැන ඔබ දන්නේ කුමක්ද?

ඔබ ඔබට ලැබිල තියෙන දේවල් ගැන සතුටු වෙන්න. ඔබ උත්සාහයෙන් ලබාගත් දේවල් ගැන ආඩම්බර වෙන්න. අහිමි වූ දේවල් /අතීතය ගැන දුක් වෙන එක අත හරන්න. මේ මොහොත තමයි ඔබේ ජීවිතයේ එකම යතාර්ථය. ඒ මොහොත ගැන සතුටු වෙන්න. එක ගැන හොඳ කතාවක් තියෙනවා.

දවසක්දා රස්තියාදුකාර කොල්ලෙක් තාප්පයක් උඩට වෙලා සිගරට් එකක් බිබී හිටියලු.

අන්කල් කෙනෙක් ඇවිත් කොල්ලට මෙහෙම කිව්වලු. පුතා ඔහොම රස්තියාදු ගහන්න එපා. හොඳට ඉගෙන ගන්න.

කොල්ල ඇහුවලු ‘ඉගෙන ගෙන, ඊට පස්සේ?”

ඊට පස්සේ හොඳ රස්සාවක් කරන්න.

“ඊට පස්සේ?”

ඊට පස්සේ කසාදයක් බදින්න. . ගෙයක් දොරක් හදා ගන්න. ළමයි හදන්න”

“ඊට පස්සේ?”

ඊට පස්සේ සතුටින් නිකන් ඉන්න පුළුවන්නේ?

“එක තමයි මම මේ කරන්නේ. ඔය ඔක්කොම රෙද්දවල් කරන්නේ අන්තිමට සතුටින් නිකන් ඉන්න නම් මුලින්ම එක කරාම ඉවරයිනේ.”

දැන් මේ කතාව ගැනත් හිතන්න දේවල් තියෙනවා. එක පැත්තකින් කොල්ල කියන එක ඇත්ත. ජීවිතේ අරමුණ සතුටින් ඉන්න එක නම් දැන්ම එහෙම හිටියම ඉවරයිනේ. අනිත් පැත්තෙන් අන්කල් කියන එක ඇත්ත. ජීවිතේ කියන්නේ අරමුණු වලට වැඩ කරන්න ඕන දෙයක්. නිකන් නාස්ති කල යුත්තක් නෙවෙයි. එහෙම කලාම තමයි කල් පවතින සතුටක් ලැබෙන්නේ. අවසානේ කරන්න ඕන දේ මුලින් කරලා හරි යන්නේ නෑ. වහල ගහන්න ඕන අත්තිවාරම ගහල බිත්ති බැඳලා ඉවර වෙලා. මුලින්ම වහල ගහල හරි යන්නේ නෑ. එත් සතුට කියන්නේ ගමනේ අවසානයේදී ලැබෙන දෙයක් කියල හිතුවොත් දවසින් දවස මිරිගුවක් වගේ සතුට ඈතට යනවා. සතුට කියන්නේ ගමනාන්තයෙදී ලැබෙන දෙයක් කියලා හිතන්න එපා. ඔබේ මුළු ගමනම ඔබ සතුටින් යා යුතුයි. ඔබේ අරමුණ උදෙසා ඇත පය වෙහෙසවද්දී, හිත සතුටින් ඒක කරන්න. එමෙන්ම නිසි විවේකයෙන් ලබා ගෙන ජීවිතේ විඳන්න. විඳවන්න එපා. ඔබේ සිතේ ඇති සතුටට වඩාත් බලපාන්නේ ඔබ සිතන සිතුවිලි බව මතක තබා ගන්න.

2. SWOT analysis එකක් සිදු කරන්න. එනම් ඔබේ ශක්තීන් (Strengths) ලියන්න. දුර්වලකම් ( weaknesses) ලියන්න. ඔබට ඇති අවස්ථා හා වාසීන් ලියන්න. (Opportunities) ඔබට ඇති බාධක හා තර්ජන හඳුනාගෙන ලියන්න. ( threats )

ඔබ ඔබේ දුර්වලකම් ශක්තීන් බවටත්, බාධක අවස්ථා බවටත් හරවා ගැනීමට දක්ෂ විය යුතුය. ඒ උදෙසා කාර්යශූරව,වගකීම්සහගතව හා උපායශීලීව කටයුතු කල යුතුය. කිසිවෙකුට දොස් නොපවරා ඔබේම වීරියෙන් නැගී සිටින්න. පරාජයේදී වීර්යවත් වන්න. ජයග්‍රහණයේදී උඩගු නොවී, සතුරාට සමාව දී, නිහතමානී වන්න. (විපති ධර්යම්- සම්පති ක්ෂමා)

අත්තකාර සූත්‍රයේ බුද්ධ දේශනාව අනුව යමෙකුට යම් කාර්යයක සාර්ථක වන්නට නම් පහත ගුණාංග ඔහු හෝ ඇය සතු විය යුතුය.

1.ආරම්භක ධාතුව (ක්‍රියා කිරීමෙහි පළමු උපදනා වීර්‍ය්‍යය)
යම් ක්‍රියාවක් ආරම්භ කරන්නට තම සිතින් විධාන කිරීමේ ශක්තිය

2.නික්ඛම ධාතු
යම් ක්‍රියාවක් ඉදිරියට වෙහෙසින් යුතුව කරගෙන යෑම් ශක්තිය

3.පරක්කමධාතු
වඩාත් වීර්යයෙන් හා පරාක්‍රමයෙන් යුතුව ක්‍රියා කිරීමේ ශක්තිය

4. ස්ථාම ධාතු
අචල විශ්වාසයෙන් ස්ථිරව කරගෙන යාමේ ශක්තිය

5. ඨිති ධාතු
බාධා ඉදිරියේ අප්‍රතිහත ධෛර්යය ඇතිව කාර්ය කරගෙන යාමේ ශක්තිය

6. උපක්කම ධාතු
උපාය උපක්‍රම මාර්ගයෙන් කාර්ය සාර්ථක කර ගැනීමේ ස්ථානොචිත ප්‍රඥාව ඇති ශක්තිය

3. ඔබ උත්සාහයෙන් ඔබට හැකි සියල්ල ධාර්මික ලෙස සිදු කරන විට වාසනාව ඔබේ පැත්තට කැරකීම විශ්වයේ ස්වභාවයි. (Do your best and the rest will happen for your best.) සජීවී විශ්වයේ විශ්ව ශක්තිය කෙරෙහි විශ්වාසය තබන්න. ආගම් වල විවිධ දෙවිවරුන්ගෙන් නිරූපණය කෙරෙන්නේ විශ්ව ශක්තියේ විවිධ ස්වරූපයන්ය. අනිත් අතින් සමහරු අධාර්මික ලෙස දියුණු වුවද ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් ඔවුනට ගැලවිය නොහැක. අනිත් අතින් නීතිය හෝ කර්මය ක්‍රියාත්මක වී අවසානයේදී ඔවුන් විනාශ වේ. චිරස්ථායී සතුටක් ලද හැක්කේ ධාර්මික දියුණුවෙන් පමණි.

4 .ඔබට හමුවෙන බාධාවන් හා ඔබේ තරග කරුවන් ගැන ඍනාත්මක නොවන්න. ඒවා ඔබව ශක්තිමත් කරන සාධක ලෙස සිතන්න. මනා වානේ නිමවෙන්නේ ගින්දරෙන් ලබන පන්නරයෙන් පමණක් බැව් මෙනෙහි කරන්න. (Only the test of fire makes fine steel) වැරදීම් හමුවේ අධෛරයයට පත් නොවන්න. ඒවා අත්දැකීම් ලෙස සිතන්න. සිතින් කිසිදා නොවැටෙන්න. (Don’t lose your heart) ආත්මවිශ්වාසය ඇති කර ගන්න. අහුබුදුවන්ගේ ‘දකුණ නැගෙනහිර ‘ ගීතයේ කියවෙන ලෙසම වැටුනත් නැගිටින්න. වැටී වැටී නැගිටින්න. නැග නැග දියුණුව කරා යන්න. බාධාවන්ටද බාධා ගෙන එන්න. අන්‍යයන් ඔබට උදවු නොකළේ යයි දුක් නොවන්න. කිසිදා සටනින් පලා නොයන්න. වීරයෙකු මෙන් සටනට මුහුණ දෙන්න.

“ගල් පර දැක පෙරමුණේ- මොන නදියද නැවතුනේ?”

මරු සිටියොත් පෙරමුණේ
මරු අමුනමු කඩු මුනේ
මරුවාටත් මරු වුණේ
සිංහලයා පෙර දිනේ.
– කුමරතුඟු

සෙන් බෞද්ධ කතාවකට අනුව වරක් මීයන් දෙදෙනෙකු ක්‍රීම් භාජනයකට වැටුණා. ඉන් එක මීයෙකු ඉක්මනින් ගොඩ ආ නොහැකි යයි අධෛර්යයට පත්ව ක්‍රීම් භාජනයේ ගිලී මිය ගියා. අනිත් මීයා දිගින් දිගටම උපරිම උත්සාහයෙන් දැඟලුවා. ප්‍රතිපලය වූයේ ඌගේ දැගලීම නිසාම ක්‍රීම් බටර් බවට හැරීමයි. ඒ අනුව භාජනයෙන් පිටතට පැනීමට ඌට හැකි වුනා.

මෙය සැබෑ ලෝකයේද සිදු වෙනවා. 80 ජූලි වැඩවර්ජනයෙන් රැකියා අහිමිවූවන්ගෙන් සමහරක් සියදිවි නසාගත්තා. ඒත් ඇතැමුන් තමන්ගේම ව්‍යාපාර අරඹා වීරියෙන් පෙරට ගොස් පසුකලෙක කෝටිපතියෙක් බවට පත්වුණා.

5. අනවශ්‍ය ලෙස කාලය නාස්ති වන ක්‍රියාකාරකම් (උදා facebook ) හා ඔබේ ශරීර සෞඛ්‍යය පිරිහවන මත්පැන්/සිගරට් බීම වැනි පුරුදු වලින් ඈත වන්න. නිතර ව්‍යායාම කිරීම,පිරිසිදුව සිටීම වැනි ශරීර සෞඛ්‍යය නංවන යහපත් පුරුදු ඇති කර ගන්න. පාපමිත්‍රයන් ඇසුරින් ඉවත්ව කල්‍යාන මිත්‍රයන් ඇති කර ගන්න.

6. පොතපත බහුල ලෙස කියවන්න. දැනුම ගොඩනගා ගන්න. චාල්ස් බේකන් කියූ ලෙසම “දැනුම බලය වේ. ”

මුදල් වලට යම් බලයක් ඇත්තාක් මෙන්ම යමෙකු හොඳින් පත පොත කියවා දැනුමින් හා අදහස් වලින් සන්නද්ධව හිදී නම් ඔහුට සමාජයේ සුවිශේෂී පිළිගැනීමක් හිමි වේ. එම පිළිගැනීම මුදල් වලින් මිලදී ගත නොහැක.

7. බාහිර සමාජයේ මිනිසුන්ගේ විවේචන හෝ ඔබ ගැන ආකල්ප ගැන ඕනවට වඩා වධ නොවන්න. ඔබට කිසිදා සියල්ලන් සතුටු කල නොහැක. උත්සාහයෙන් ඔබ ඔබගේ ගමන යන්න. අනිත් අතින් ඔබ අනුන් විවේචනය, අනුන්ගේ දොස් සෙවීම අඩු කර තමන්ගේ වැරදි නිවැරදි කර ගන්න.

තමාට අන් අය යම් යහපත් ආකාරයකින් අනුන් සලකනවාට කැමති නම්, එලෙසින්ම අනුන්ට සැලකිය යුතුය. තමාට අයහපත් ආකාරයෙන් සලකනවාට අකමැති නම් අනුන්ට එලෙස නොසැලකිය යුතුය. තමුන් පිළිනොපදින ගුණදහම් අනුන්ගෙන් අපේක්ෂා නොකළ යුතුය. වචන වලට වඩා ක්‍රියාවෙන් ආදර්ශය සැපයිය යුතුය. ලෝකය වෙනස් කල හැක්කේ එලෙසය. සැනසීම ඇති කර ගත හැක්කේද එමගින් පමණි.

8. සතුටු වීම උදෙසා ජීවිකාවකින් මුදල් ඉපයිය යුතු වුවද, සතුට මුලින්ම මිලදී ගත නොහැකි බව මතක තබා ගන්න.

ආර්ථික විද්‍යාවට අනුව ඕනෑම ජීවිකාවක් එක්කෝ නිෂ්පාදනයේ යෙදීමක්, නැතිනම් සේවා සැපයීමක් කියන කොටස් දෙකට වැටෙනවා. යමෙකු යම් නිෂ්පාදනයක් කරන්නේ නම් එම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහල නැංවීමට උපරිම අවධානය යොමු කළ යුතු අතර යම් සේවාවක් සපයන්නේ නම් පාරිභෝගික සංතෘෂ්ටිය උපරිමයෙන් ජනිත වන පරිදී එම සේවාව සැපයිය යුතුයි. ඒ වගේම තම නිෂ්පාදන හෝ සේවා සැපයීම් ගැන, නිර්මානාත්මක ප්‍රචාරණය(Creative Marketing ) ඉතා වැදගත්.

උදාහරණයක් විදියට දේශපාලනය වෘත්තියකි. එය සේවා සැපයීමක්. ප්‍රජාතන්ත්‍රවාදයේ දී සියලුම දෙනාට එකවර ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට දායක විය නොහැකි නිසා ඔවුන් අතරින් ඉදිරියට එන නායකයන්ගෙන් ජන්දයෙන් නියෝජතයන් තෝරාගෙන, ජනතා පරමාධිපත්‍ය බලය භාරයක් (trust ) ලෙස ඔවුන් වෙත පවරා, දේශපාලනය ක්‍රියාත්මක කරනවා. එහිදී දේශපාලනඥයා ජනතාව වෙත සපයන්නේ සේවයක්.

යමෙකු සේවා සැපයීමේදී ඇති කර ගත යුතු ආකල්පය මහත්මා ගාන්ධි තුමා මෙලෙස විග්‍රහ කරනවා.

A customer is the most important visitor on our premises. He is not dependent on us. We are dependent on him. He is not an interruption in our work. He is the purpose of it. He is not an outsider in our business. He is part of it. We are not doing him a favor by serving him. He is doing us a favor by giving us an opportunity to do so.

පාරිභෝගිකයා අපගේ ආයතනයට පැමිණෙන වැදගත්ම අමුත්තාය. ඔහු හෝ ඇය අපගෙන් යැපෙන්නෙකු නොවේ. අපි ඔවුන්ගෙන් යැපෙන්නෝ වෙමු. ඔහු අපගේ කටයුතු වලට බාධාවක් නොවේ. ඔහු අපගේ කටයුතු වල අරමුනයි. ඔහු අපගේ ව්‍යාපාරයට පරිබාහිකයෙකු නොවේ. ඔහු එහි කොටස්කරුවෙකි. අපි ඔහුට සේවා සැපයීමෙන් උදව්වක් නොකරමු. ඔහු ඔහුට සේවාවන් සැපයීමට අපට අවස්තාවක් සැලසීමෙන් අපට කරන්නේ උදවුවකි.

යමෙකුට මෙබඳු ගුණාත්මක ආකල්ප ඇති කර ගෙන ක්‍රියාකිරීමෙන් ඉතා පහසුවෙන් පාරිභෝගික විශ්වාසය දිනා ගෙන සාර්ථක විය හැක.

අවසාන වශයෙන් ඔබට ඔබේ වීරයා සොයා ගැනීමට නැති නම් ඔබේ ආත්මික රිද්මය සොයා ගැනීමට අවශ්‍ය නම් ඊට මග පෙන්වන හොඳම මහා කාව්‍ය කෘතියක් ලෙස හින්දු වේදාන්ත ග්‍රන්ථයක් වූ ව්‍යාස ඍෂිවරයා විසින් රචිත මහාභාරතය දැක්විය හැකිය. එම කාව්‍යයේ ශ්‍රී ක්‍රිශ්නා කුරුක්ෂේත්‍ර සංග්‍රාම භූමියේදී අර්ජුනට උගන්වන්නේ , (“භගවත් ගීතාවේ”) තම යුතුකම මැනැවින් ඉටු කරන මෙනි.

ඔබට අධිකාරී බලයක් ඇත්තේ ඔබට අයත් කාර්යය ඉටු කිරීමට පමණි. කිසිකලෙක ප්‍රතිඵල කෙරෙහි එවැනි අධිකාරී බලයක් ඔබට හිමිවන්නේ නැත. (ඔබ කැමති ලෙසම ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ. ) ප්‍රතිඵල කෙරෙහි ඇති ආශාව තම ක්‍රියාවන්හි හේතුව කරනොගන්න. ඔබේ යුතුකම ගැන සලකා ඔබේ කර්තව්‍යය මැනවින් ඉටු කරන්න. තවද කිසිකලෙක අක්‍රීයව සිටීමට ප්‍රතිඵල හේතුවක් කර නොගන්න. අකර්මණ්‍යභාවය හෙවත් අලසභාවය කෙරෙහි නොඇලෙන්න.

-ශ්‍රී ක්‍රිෂ්ණා (භගවත් ගීතාව 2: 47)

පණිවිඩය:

ඔබට කළ හැකි උපරිමය කරන්න. ඉන් එහාට වධ නොවන්න. ඔබ අසාර්ථක වුවද දුක් නොවන්න. බොහෝ දේ ඔබගේ පාලනයෙන් ඔබ්බෙහි ඇති බව නුවණින් වටහා ගන්න. උත්සාහ කර ලද දෙයින් සතුටු වී එය භුක්ති විඳින්න.

ආදි ශන්කරාචාර්ය ඒ අනුව යමින් උගන්වන්නේ තමා කරන ඕනෑම රක්ශාවක් අභිමානවත්ව(මා කුරු ), මනා ලෙස සේවය සපයමින් ඉටු කිරීම මහා පුන්ය ක්‍රියාවක් බවයි.

තමා නිරතව සිටින කවර හෝ ජීවිකාව (භාණ්ඩ නිෂ්පාදනය හෝ සේවාවක් සැපයීම ) කාරුණික හා යුක්තිසගත නම්, එය නිසි අවධානයෙන්, දැඩි කැපවීමෙන්, පාරිභෝගික සන්තෘප්තිය උපරිමයෙන් ලැබෙන ලෙස ඉටු කළ යුතු යැයි හින්දු දහම දැඩිව අවධාරණය කරයි. යමෙකු එය එසේ සිදු කරන්නේ නම් ඔහු දෙවියන්ට සේවය කරන අතර එසේ නොකරන්නේ නම් ඔහු දෙවියන්ට ද්‍රෝහී වෙයි. තම රාජකාරිය මනා චිත්ත එකාග්‍රතාවෙන් ඉටු කිරීම භාවනාවක්ද වෙයි.(යෝග ධ්‍යාන වැඩීමක්)

භගවත් ගීතා අටුවාවේ මෙසේ කියැවේ.

හිමාල වනයේ ගල් ගුහාවක වෙසෙන යෝගියෙකු තම සිත අයාලේ යාමට හැර සිටියි. හන්දියේ වාඩි වී සිටින සපත්තු සෙරෙප්පු මසන්නෙකු සිය මුළු අවධානය යොදා සිය රාජකාරිය ඉටු කරයි. මොවුන් දෙදෙනා අතුරින් නියම යෝගියා වන්නේ සපත්තු මසන්නා මිසෙක හිමාල වනයේ සිටින්නා නොවේ.

මාර්ටින් ලූතර් කිං ගේ කියමනකින් මෙම ලිපිය සමාප්ත කරන්නෙමි.

“If a man is called to be a street sweeper, he should sweep streets even as a Michaelangelo painted, or Beethoven composed music or Shakespeare wrote poetry. He should sweep streets so well that all the hosts of heaven and earth will pause to say, ‘Here lived a great street sweeper who did his job well.”

” යම් පුද්ගලයෙකුට පාර අතු ගාන්නට පැවරූ විටදී ඔහු එය කළ යුත්තේ, මයිකල් ආන්ජලෝ සිතුවම් අඳින ලෙසත්, බිතෝවන් සංගීත රචනාවක් කරන ලෙසත්, ශේක්ස්පියර් කවියක් ලියන ලෙසත්, මනා කොටය. ඔහු තම පාර අතු ගෑම කෙතරම් හොඳින් කළ යුතුද යත්, යම් දිනෙක දිවය ලෝකයේ සියලු දෙවිවරු සහ මහපොළොව පවා නැවතී, මෙහි තම රාජකාරිය මනාව ඉටු කළ පාර අමදින්නෙකු විසූ බව පවසනු ඇත ..”


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.prokerala.com
* ඡායාරූපය 02 : www.benfranklinsworld.com
* ඡායාරූපය 03 : www.time.com
* ඡායාරූපය 04 : Facebook.com / Jathaka Katha
* ඡායාරූපය 05 : www.impactgospelcentre.org
* ඡායාරූපය 06 : Unknown
* ඡායාරූපය 07 : www.mylocalnewsus.com
* ඡායාරූපය 08 : www.staticflickr.com
* ඡායාරූපය 09 : www.educba.com
* ඡායාරූපය 10 : www.istockphoto.com
* ඡායාරූපය 11 : www.dailytimes.com.pk
* ඡායාරූපය 12 : www.ymcacolumbus.org
* ඡායාරූපය 13 : www.sucess.com
* ඡායාරූපය 14 : Central Press
* ඡායාරූපය 15 : www.sadhguru.org
* ඡායාරූපය 16 : www.cnn.com

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.