සුසාන භූමි වෙනුවට අනුස්මරණ ගස්?

January 28, 2020

ලෝකයේ ගොඩක් රටවල මිනිසුන් මිය ගියාට පස්සෙ ආදාහනය කරන්නෙ නෑ. ඒ අයව භූමදානය කරනවා. ගොඩාක් සුසාන භූමිවල තණකොල කපලා ලස්සනට තියාගෙන හිටියත්, සුසාන භූමි පවත්වාගෙන යන අය, මේ භූමදානය කරපු බිම් ප්‍රදේශවල රුක් රෝපණය කරන්න පෙළඹෙන්නෙ නෑ. අක්කර ගණන් යනකන් එහෙම එළි පෙහෙළි කරලා තියෙන සුසාන භූමි වල රුක් රෝපනය කළා නම්, සමහර විට ඒ මැරුණු කෙනා වෙනුවෙන් කරන්න පුලුවන් ඉහළම දේ ඒක වෙන්නත් පුලුවන්.

මොකද අපි ජීවත් වෙන්නෙ ගස් වලින් නිකුත් වෙන ඔක්සිජන් වායුව නිසයි. මේ නිසාම පරිසරයට ආදරය කරන පිරිසක් එකතු වෙලා සුසාන භූමි වෙනුවට සුසාන ගස් ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. විස්තර වාර්තා වෙන විදිහට, මේ ව්‍යාපෘතියට සංකල්පය ඇවිත් තියෙන්නෙ 2003 අවුරුද්දෙදියි.

මෙයාලා මේ වෙනුවෙන් බිත්තරයක හැඩයක් තියෙන කැප්සියූලයක් නිර්මාණය කරලා තියෙනවා. මේක හදලා තියෙන්නෙ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් විනාශයට පත් වෙන ද්‍රව්‍ය වලින්. කෙනෙක් මිය ගියාට පස්සෙ එයාගෙ ශරීරය වකුටු කරලා, මේ කැප්සියූලය ඇතුළට දමන්න පුලුවන්. කැප්සියූලයේ උඩ ගසක ඇටයක් හරි, පැළයක් හරි හිටවලා තියනවා. ඊට පස්සෙ ගසක ඇටයක් හිටවනවා වගේ, මේ කැප්සියුලය පොළව යට වළලන්න තමයි තියෙන්නෙ.

ටික කාලයක් යන කොට මේවා පැළ වෙලා, ක්‍රමයෙන් විශාල ගස් බවට පත් වෙනවා. මිය ගිය කෙනාගේ ශරීර කොටස් වලින් පස සරු වෙලා, මේ ගස් වල මුල් සහ අනෙකුත් කොටස් පෝෂණය වෙනවා. මේ ව්‍යාපෘතියේ තවත් අරමුණක් තමයි මිනී පෙට්ටි වලට තිත තබන එක. මොකද අපි දන්නවා මිනී පෙට්ටියකට අවශ්‍ය කරන ලී සපයන්නෙත් ගස් කපලා කියලා.

මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් බොහෝ දෙනෙක්ට මිය ගිය තම ආදරණීයයන් එක්ක එකතු වෙන්න ඉඩකඩ ලැබෙනවා, ගසක් රැක බලා ගැනීම මගින්. ඒ වගේම අනාගතයේදී සෑම සුසාන භූමියක්ම රූස්ස ගස් වලින් පිරුණු සෞභාග්‍යමත් වනාන්තර බවට පත් වේවි.

* වැඩි විස්තර සඳහා : https://www.healthyfoodhouse.com/organic-burial-pods-aim-to-replace-coffins-and-transform-graves-into-trees/


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.healthyfoodhouse.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.